මීවිතේ මී බිඳු පිරේ
මගෙ ජීවිතේ මිහිරාක් දැනේ..
දෙන්න මීවිත එන්න මා වෙත
බොන්න මී බිඳු ආදරෙන්.....
මගේ අවධානයේ එතරමි නොතිබුණු, එහෙත් යන්තම් අසා පුරුද්දක් තිබුණු මේ ගීතය ගැන වැඩි අවධානයක් යොමු වූයේ එක්තරා පුද්ගලයෙකු නිසාවෙනි. ඒ අන් පුද්ගලයෙකු නොව මේ ගීතයේ රචකයා නිසාවෙනි.
මල්ලි හෝ පුතා හෝ යසනාත් හෝ යන නමින් අමතමින් මෙන්න මේක මගේ ගීතයක්. ටිකක් අසා බලන්න කී නිසා ඇසූවා නොවේ. මට ඔහු ගැන ඔහුගේ ගී ගැන යමක් ලියන්නට අවැසිම යැයි හැඟුනු බැවින් කළ සොයා බැලීමේදී යළි අවධානය දිනා ගත් ගීයකි එය.
ඉතින් මෙහි ගීත රචකයා කවුරුන්ද?
ඔහු ගැන අපි කතා කළ යුත්තේ මොනවාද?
ඔහු ගැන අපි කතා කළ යුත්තේ ඇයිද?
යන පැණ වැලට පිලිතුරු සොයමින් ඉදිරියට යාම වටී. මට නම් ඔහු ගැන කතා කළ යුතුව ඇත්තේ ඔහු අපේ ගීත රචනා ක්ෂේත්‍රයේ ප්‍රවීනතමයෙකු වීම නිසාවෙනි. සමහර ගායකයින්ට සිය දිවි මග බොහෝ වස්තු රැස් කළ හැකි ආකාරයේ ගීත ලියා දෙමින්, පෙරලා තමන් ඊට සරිලන දෙයක් නොලැබූ මිනිසෙකු වන නිසාවෙනි. ඒ කිසිවකටත් වඩා, විවිධ අවස්ථාවන් හිදී විවිධ රස සොයන අපට, මහත් රසයක් ගෙන දුන් ගීත රැසක් රචනා කළ රසකාමියෙකු වූ නිසාවෙනි.
කතා බහට බට මේ ගීතය අප්‍රකට වන්නා සේම මේ ගීතයේ රචකයා කවුරුන්ද යන්නද අප්‍රකට විය හැකි වුව, ඔහු අප්‍රකට පුද්ගලයෙකු නොවේ. ඔහුගේ ප්‍රකට බවද අප තාවකාලිකව පැත්තකින් තබමු. එහෙත් ඔහු ලියා ඇති අනෙකුත් ගීතයක් විමසන්නට ගියහොත් ඔහු කෙසේ වත් අප්‍රකට නොවන වග ඔබ වටහා ගනු ඇත. එහෙත්, ඒ අනෙකුත් ගීතයක් ගැන කියන කෙත් ඔහුගේ නම මෙහි නොලියා කතා කරන්නට මම සිතමි.
මීවිතේ මී බිඳු පිරේ
මගෙ ජීවිතේ මිහිරාක් දැනේ..
දෙන්න මීවිත එන්න මා වෙත
බොන්න මී බිඳු ආදරෙන්....
ලෙසින් ලියැවෙන කල, මේ ජීවිතේ සතුට උතුරන්නේ මී විතේ මී බිඳු පිරෙණ නිසා යැයි කෙනෙකු අනුමාන කරණු ඇත. එමෙන්ම, කපුගේ ගැයූ නිසාමද එය එසේ යැයි සිතන සමහරුන් සිටිය හැකිය. එහෙත්, ගීතයක කොටසක් පමණක් ඉදිරිපත්කිරීමෙන් හෝ විමසීමෙන් ඒ ගැන නිෂ්චිත අදහස් නොදැක්විය යුතු වන්නේ මේ කියනුයේ අන් මී විතක් ගැන වන නිසාය. එනම් ඒ ආදරේ මීවිත වන නිසා ය.
මීවිතේ මී බිඳු පිරේ
මගෙ ජීවිතේ මිහිරාක් දැනේ..
දෙන්න මීවිත එන්න මා වෙත
බොන්න මී බිඳු ආදරෙන්..
ඔබ වෙතට ළං වෙමි ආදරෙන්..
මීවිතේ මී බිඳු පිරේ
මගෙ ජීවිතේ මිහිරාක් දැනේ..
ඒ අයුර දැන් ඔබට පැහැදිලිය.
මට මේ ගීතය වෙසෙස් වන අන් කරුණ නම්, මේ රචකයාගේ මෙවැනි එකම ගීය මෙය දැයි මට හැඟෙන බැවිනි. මක් නිසාද යත්, ඔහුගේ සාමාන්‍ය රචනා ශෛලිය මීට වඩා බොහෝ වෙනස් එකක් වන බැවිනි.
ඔහුගේ සාමාන්‍ය රචනා ශෛලිය අතිශය සරල සහ සෘජු එකක් වෙයි. බොහෝ විට එය ජනප්‍රිය ගීතාංගයක් වශයෙන්, එහි පැවැත්ම සනාථ කරන්නක් වෙයි. සමහර විට එය ගායකයාගේ හෝ සංගීතඥයාගේ ඉල්ලීම මත පෙර නිර්මිත තනුවකට අතිශය සරලව ලියූ අදහස් සමුදායක් වෙයි. එයින් මතුකරණුයේ යම් සරල රසයක් වුව, ඒ ගී විමසුවහොත්, අප ඒවාගෙන් කොපමණ රසයක් විඳ ඇති දැයි ඔබ වටහා ගනු ඇත.
එහෙත් ඊට පෙර මේ ගීයේ ඉතිරි පද විමසා ගීතය ශ්‍රවණය කර යා යුතුය.
මලක් පරවී යනු බලා
බඹරු හැඬුවද දුක් වෙලා..
නව මලක් විකසිත වෙලා
නෙළනු මැන බඹරිඳු ඔයා
නෙළනු මැන බඹරිඳු ඔයා..
මීවිතේ මී බිඳු පිරේ
මගෙ ජීවිතේ මිහිරාක් දැනේ..
මීවිතේ මී බිඳු පිරේ...
සුවඳ සිහිනෙන් තැවරුනා
මහද රසයෙන් මත් වුණා
සුහද ඔබ තුරුලට වෙලා
හිඳිනු මැන පැතුමන් පුරා
හිඳිනු මැන පැතුමන් පුරා..
මීවිතේ මී බිඳු පිරේ
මගෙ ජීවිතේ මිහිරාක් දැනේ..
අපි ගීතය අසමු. නමුත් එහි හඬ පටය අතිශය දුර්වල එකකි. මීට වඩා හොඳ ශ්‍රවණ තත්ත්වයෙන් යුතුව ගීතය සතු යමෙකු වෙතොත් කරුණාකර මවෙත යොමු කරණු මැණවි.
ගීතයේ ගැයුම
විශාරද ගුණදාස කපුගේ
ගේ සහ
විශාරද නීලා වික්‍රමසිංහ
ගේ හඬිනි. ගීතය රචනා වී ඇති ශෛලියද යෙදී ඇති තනුව සහ සංගීත සංයෝජනයද විමසූ විට එය විශාරද ගුණදාස කපුගේගේම යැයි අනුමාන කළ හැකි වෙයි. එහෙත් අනුමානය නිවැරදි නොවන්නේ එය සංගීතවත් කර ඇත්තේ විශාරද ඩබ්ලිව්. එෆ්. විමලසිරි විසින් වන බැවිනි.
අප කතා බහ කරණ ගීත රචකයාගේ රචනයක් විශාරද කපුගේ ගැයූ එකම අවස්ථාව මෙයද යන්න ගැනද මට පැහැදිලි අදහසක් නැත. නමුත් මා අසා ඇති කපුගේ ගයන ඔහුගේ එකම ගීතය එයය.
ඔහුගේ රචනා බොහෝ විට ගයා ඇත්තේද, අප මේ අඩවිය තුළ නිතර කතා කරණ ගායක ගායිකාවන් විසින් නොවේ. වෙනත් කුලකයක් විසිනි. එහි වැඩි වශයෙන් මතු වන සාමාජිකයින් කවුරුන්දැයි පසුව හෙළි වනු ඇත. එහෙත් තවමත් අපි ගෙවන්නේ ආරම්භක ගීතය වෙනුවෙන් වෙන් කළ කාලාවකාශය තුළ ය.
මට ඔහු පළමු වතාවට මුණ ගැහෙන්නේ ගීත රචනා ක්ෂේත්‍රයට පිවිස මගේ රචනා වලින් ගීත පටිගත වන්නට ඇරඹි මුල්ම සමයේම ය. ඒ ගංගොඩවිල, විජේරාම හංදියේ පිහිටි සොනික් ශබ්දාගාරයේදීය. එකල මම ජ/පුර සරසවියේ වෛද්‍ය සිසුවෙකුද විය. සරසවියට යන පාරේ ශබ්දාගාරය පිහිටි බැවින්ද, වෛද්‍යාධ්‍යාපනයට වඩා එකල, මේ ගීත සංගීත ක්ෂේත්‍රයේ කටයුතු වලට ප්‍රියතාවයක් දැක්වූ හෙයින්ද, සරසවියට යන අතරේ පා එසවුනේ සොනික් ශබ්දාගාරය වෙතය.
ඔහු උස සිහින් මිනිසෙකු විය. කලිසමට යට නොකළ කමිසයකින් සැරසී සිටි සරල අයෙකු විය. මට මතක හැටියට ඔහු එහි පැමිණියේ පැරණි, කුඩා මෝටර් සයිකලයක නැගීය. ඔහු ගීත රචකයෙකු ලෙසින් එහි සිටි අනුර, ලාල් අයියා ඇතුළු පිරිස මට හඳුන්වා දුන්හ. මට එහි තිබුණු විශේෂත්වය වූයේ මා වෛද්‍ය සිසුවෙකු ලෙස හඳුන්වා දීමට අමතරව, මාද ගීත රචකයෙකු යැයි ඔවුන් විසින් ඔහුට හඳුන්වාදීම ය. අනතුරුව අප අතර සරල කතා බහක් ඇති විය. මට විමසන්නට ඇවැසි වූයේ ඔහු විසින් ලියූ ගී මොනවාද?, කොපමණ ගී ලියුවේද? ආදී දේ දැන ගැනීම සඳහාය. එමෙන්ම ඔහු අද මෙහි ගැවසෙන්නේ කුමණ කරුණක් නිසාද යන්න දැන ගැනීමේ අවශ්‍යතාවද නොවුණා නොවේ.
ඔහු ගීත සිය ගණනින් ලියා ඇත. මේ ගී අතරින් වඩාත් ජනප්‍රියම ගීත කිහිපයක නම්ද ඒ අතර අසන්නට ලැබුණි. එහි බහුතර ගීත කවරාකාරද යන්න ගැන මට අවබෝධයක් නොවුණේ වුව, ඒ ගීත සිය ගණන අතුරින් අතිශය ජනප්‍රිය ගීත කිහිපයක් පිළිබඳව හැඟීමක් මට තිබුණි. එහෙත්, මා කිව යුතුම කරුණ නම්, එකල, විවිධ අයගේ රුචි අරුචි කම් මත, නිර්දේශ මත අපේ රුචි අරුචි කම්ද, සමීප වන ගීත ධාරාවද තීරණය වී තිබුණු බැවින්, ඒ සමහර ගීත, කොතරම් ජනප්‍රිය යැයි කීවද, ඒවා කෙරෙහි මා තුළ එතරම් නැඹුරුවක් නොවූ බවයි. ඒ ගීත කෙරෙහි ඇල්මක් හට ගන්නට වන්නේ වඩාත් ස්වාධීනව ගමන් කරන්නට වන් කල්හිය. රසිකත්වය යන්නෙහි තවත් යා හැකි ඉසව් ඇති බව පසක් කරගත් කල්හිය. රසයේ විවිධ ගැඹුරු තැන් ඇති බව වැටහුණු විට ය. නො එසේ නම්, සෑම විටම ගැඹුරු රසය මතු නොව, සරල රසභාවයන්ද ස්පර්ශ කිරීමෙන් රසික දිවිය වඩාත් රසවත් වන බව වටහා ගත් විටය.
දැන් මා ඔහු ගැන කිව යුතුය. නැත. ඔහු කවුරුන්ද යන්න, මා නම කියන්නට පෙර ඔබම සොයා ගැනීම යෙහෙකැයි මට හිතේ. එබැවින්, ඒ කාරණය පහසු වනු පිණිස, ඔහුගේ අතිශය ජනප්‍රිය ගීයක පද පෙළක් පළමුව පාමි. එයින් ඔහුගේ නාමය සොයා ගැනීමට කොපමණ පිරිසකට හැකි වේදැයි මා නොදන්නේ වුව, මේ ගීතය අසා නැත්තෙක් නම් සිටිය නොහැකිම ය.
සුභාෂිනී ඔබ මගේ නමට එව්
ඇරයුම් පත ලැබුණා
මනාලියක වී සුබ නැකතින් හෙට
යන බව එහි තිබුණා
ගායක පුන්සිරි සොයිසා
විසින් ගයන මේ ගීතය අතිශය ජනප්‍රිය ගීයකි. අප නිතර අසන්නට කැමැති ආකාරයේ ගීත මේ අයුරේ නොවන්නේ වුව, මේ ගීයෙන් රසයක් නොලැබූවන් බොහෝ අඩුය. ඊට හේතුව නම්, අතිශය සරල බසින් වුව, එහි කියැවෙන අදහස නිසා උපදින සිතුවිලි සමුදායට සංවේදී බොහෝ අයට මෙයින් හැඟීමක් ජනිත කරණ බැවිනි.
සෑම රසිකයෙක්ම ගැඹුරු රසයකට උරුමකම් නොකියයි. සෑම රසිකයෙකුටම ගැඹුරු නිර්මාණ රස විඳිය නොහැකි වෙයි. එහෙත්, සෑම රසිකයෙකුටම, ගැඹුරු හැඟුම් ලබා දිය හැකි යම් විදිහක් වෙයි. මේ, ඒ හැඟීම ඔවුනට දිය හැකි හොඳම ක්‍රමය නොවන්නේද? කුමණ අයුරකින් හෝ සෑදිය යුත්තේ හැඟීම් දැකීම් සහිත මිනිසුන්ය. සෑම මිනිසෙකුගේම මතු කළ යුත්තේ මානුෂීය හැඟීම්ය. මේ ගීතයේ අත්දැකීම ඇති මිනිසුන් ඒ අත්දැකීමට මුහුණ දෙන විදිහ විවිධ ය. ඉන් සමහරු එයට ප්‍රතිචාර දක්වන්නේ අතිශය අමානුෂික, කුරිරු අයුරිනි. එහෙත්, මිනිසුන් වශයෙන් අප අපට එරෙහිවන අමානුෂික දේකට වුව, මිනිසුන් සේ මුහුණ දිය හැකි නම්, විය යුත්තේ එය ය. එබැවින් ය, එවැනි හැඟීම් මතු කරමින්, එහි ශෝකය විඳගැනීමට මිනිසා පුරුදු පුහුණු කළ යුත්තේ. ශෝකය විසින් ආවේගමත් කරණ මිනිසා, විකල් වූ මිනිසෙකු ලෙස පෙරළා ප්‍රතිචාර දැක්වීමට සූදානම් කිරීම නොවේ.
මෙවන් ගී ද අවැසි වන්නේ එබැවිනි. ගැඹුරු රසයකට හුරු රසිකයින්ද, මෙවැනි ගීයකින් රසවත් වන්නේ එබැවිනි. විරහ ගීයක් වන මෙවැනි ගීයකින් රසවත් වන්නේ කෙසේද යන්න කෙනෙක් පෙරලා ඇසුවහොත්, ශෝකය නිසාද රසයක් ලැබිය හැකි බව පමණක් මෙහි ලියා තබමි. එය ශෝක රසයයි. එවන් රසයක් නැතැයි යමෙක් කීවොත් ඒ අය සමග තර්ක කර කර නොසිටිමි. ශෝක රසය වැටෙන්නේ වෙනත් ප්‍රධාන රසයක් යටතටය.
සුභාෂිණී ඔබ මගේ නමට එවු
ඇරයුම්පත ලැබුණා
මනාලියක වී සුභ නැකතින් හෙට
යන බව එහි තිබුණා
ඊයේ වන තුරු මට පෙම් බැන්දේ
ඔබදැයි සැක සිතුණා
ඔබේ චපලකම හඳුණාගන්නට
සිව් වසරක් ගෙවුණා
යාළු මිතුරු කැල ඔබ ගැන කී දෙය
ගැන නෑ මා සිතුවේ
පාළු සිතට මගෙ එළියක් ඔබගෙන්
ලැබගන්නයි පැතුවේ
ලෝකය එරෙහිව ආවත් මා හැර
නොයන බවයි කීවේ
ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක
ඔබමයි මට ලීවේ
සුභාෂිණී ඔබ මගේ නමට එවු
ඇරයුම්පත ලැබුණා
මනාලියක වී සුභ නැකතින් හෙට
යන බව එහි තිබුණා
මංගල දිනයට ඇරයුම් කෙරුවත්
කෙළෙසද මා එන්නේ
පෙම් කල සිතකට වෛර කරන්නට
සිත නෑ ඉඩ දෙන්නේ
සිතට වහල් වී මා හැර යන මුත්
නෑ දොස් පවරන්නේ
ඔබ වැනි ළඳකට පෙම් කල මා ගැන
මම අද දුක්වෙන්නේ
ඔබේ ලෝකයේද මගේ ලෝකයේද මෙවැනි සුභාෂිනීලා සිට තිබෙන්නට හැකිය. සිටින්නට හැකිය. නොඑසේ නම් දන්නා සුභාෂිනී කෙනෙකු හෝ සිටිනු ඇත. එබැවින් මේ ගීය එවන් සැමට සංවේදී විය හැකිය.
අපි සුභාෂිනීට කන් දෙමු.
පුන්සිරි සොයාසාගේ එම ගීතයෙන් පසු ඉදිරිපත් කරන්නට සිතෙන්නේද පුන්සිරි සොයිසාගේම ගීයකි. එයද නොඇසූ අයෙකු සිටිය නොහැකිය.
මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුණු බව දැන උන්නේ
ඔබ සමුදුන් බව මා තනිවුණු බව
බස් නැවතුම තව නෑ දන්නේ
මේ ගීතයේ ඇති හැඟීමද එවැනිම නොවේද? පරාජිත පෙම්වතෙකුට මුහුණ දීමට සිදුවන්නේ ඇය අහිමි වීමේ දුක සෝකය පමණක් නොවේ. ඔහු සමාජය පැණසර වන විට ඊට පිලිතුරුද දිය යුතු වෙයි. එය කොතරම් දුෂ්කර ක්‍රියාවක්ද? සමහර විට අර සෝකය විඳ දරාගැනීමටත් වඩා එය දුෂ්කර වෙයි.
සදා ගත් හිත අනන්නත අපමණ වාර ගණනක් කඩා බිඳ ගන්නට සිදුවෙයි. වළලන්නට සැදූ මතකය යළි අවදි කොට හදවත සියුම් සැතින් පාරවන්නා දේ වේදනා ගෙන දෙයි.
මෙහි බස්නැවතුම යන්නෙන් කියන්නේ බස්නැවතුමමද? නැතිනම් එදා ඔවුනොවුන් ගැන දැන සිටි සමාජය ගැන නොවේද? එකිනෙකාට සමීපව සිටි ඔවුන් පමණක් දුටු සමාජයක්, අද ඈ නැති විට, ඒ ගැන විමසන්නේ ඔහු රිදවීමට ම නොවේ. එය විය නොහැක්කක් ඇදහිය නොහැකකක් සේ හඟිමිනි.
පොල්කිච්චන්, කොණ්ඩකුරුල්ලන් අපට දකිනන්නට ලැබෙන්නේම ජෝඩු වශයෙනි. මේ නිසා තනි පොල්කිච්චෙක්, තනි කොණ්ඩ කුරුල්ලෙකු දැකීම අසුබ නිමිත්තකැයි යන කියමණක් අප පැරණි සමාජයේ වෙයි. මේ යුවලද එසේ එකටම සිට දැක හුරු පුරුදු සමාජයකි එය. එබැවින් අද තනිව සරන ඔහු දුටු විට ඒ සමාජය ඈ ගැන විමසීම අකටයුත්තක් වන්නේ නොවේ.
ඔහු මෙම ගීතයෙන් ආමන්ත්‍රණය කරනුයේ ගීත රසිකයින් අතරේ එක්තරා මැද මට්ටමේ කුලකයකි. එහෙත් පුළුල් රස පරාසයක ගැවසෙන අයෙකු මෙවන් ගී රැසක් ගයා ඇති ප්‍රියා සූරියසේන, පුන්සිරි සොයිසා වැන්නන්ගේ තෝරා ගත් සමහර මෙවන් ගීත වලින් නොමද රසයක් ලබයි. එවිට එය ඇත්ත අරමුණුගත රසික සමාජයකට වඩා පුළුල් රසික සමාජයක් ග්‍රහණයට ලක් කර ගනී.
මේ බස් නැවතුම
පෙර හැම දිනකම
අප හමුවුන හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ
මේ බස් නැවතුම
පෙර හැම දිනකම
අප හමුවුන හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ
ඉස්සර හවසට
මා එනතුරු ඔබ
මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා
මේ බස් නැවතුම
පෙර හැම දිනකම
අප හමුවුන හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ
ප්‍රේමය නිමවුන
මා අද තනිවම
රියකට මෙතැනින් ගොඩවෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනේ ඉඳගෙන යනවා
මේ බස් නැවතුම
පෙර හැම දිනකම
අප හමුවුන හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ
මේ බස් නැවතුම
පෙර හැම දිනකම
අප හමුවුන හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ
මේ බස් නැවතුම ගීතය අසමු.
ජිප්සීස් නායක, ගායක සුනිල් පෙරේරා
ගයන
හැඩට වැඩට තිබුණු කොණ්ඩෙ
ටික ටික සුදු වෙනවා...
ගීතයද එවැනිම රසවත් ඔහු විසින් ලියන ලද්දාවූ ගීතයක් වෙයි.
සෑම ගීතයක්ම එකම විදිහේම විය යුතු යැයි අපට නීති රීති පැනවිය නොහැකිය. විවිධත්වය විචිත්‍රත්වය අවැසිමය. එය යම් ප්‍රමිතිගත කිරීමක් කිරීම කළ යුත්තේ සමාජය විසිනි. එහෙත්, වඩාත් විවෘත මාධ්‍ය අවකාශයක එය එලෙස පාලනය කළ හැකි නොවේ නම්, යම් නියාමන බලවේගයක් තිබුණාට කම් නැතැයි මට හිතේ. එහෙත්, ඒ නියාමන බලාව්ගය ද පෙරලා දැඩි නියාමනයකට ලක් විය යුතුය. ඒ සඳහා සුදුසු රිවීව් කමිටුවක් තිබීම වැදගත් වෙයි.
එහෙත්, මේ සියළු කමිටු වලට වඩා එය නිර්මාණකරුවන් අතින්ම සිදුවන්නේ නම් මැණැවැයි සිතේ.
ඔහු අපට වඩා වෙනත් ධාරාවක රචකයෙකු වුව ඔහු තමන් විසින්ම දමා ගත් මෙවන් සීමාවක් තුළ සිය නිර්මාණ කෘත්‍යය කර ඇති බව මේ නිර්මාණ ටික සාක්ෂි දරයි.
ඔහු ලියූ මේ මම මෙහි ඉදිරිපත් කරණ බොහෝ ගී අතිශයින් ජනප්‍රියය. ඒවා වර්තමානයේ අතිශයින් ජන්‍රපිය වී අතිශය ඉක්මණින් විසි වී යන ගීතවල හරයට වඩා වෙනස් එකකි. වෙනස් රසකි. එබැවින් මේ නිර්මාණ කුලක දෙක කිසිසේත්ම එකක් නොවේ. දෙකක්මය. එහෙත් බොහෝ අය පහසුවෙන් ප්‍රතික්ෂේප කිරීම පිණිස මේ නිර්මාණ කුලක දෙක එකක් සේ සලකා බැහැර කර ඇතැයි මට හැඟේ. නැති නම් නොසලකා හැර ඇතිදැයි සිතේ. මා කියන්නේ ගීත රසිකයින් ගැන නොවේ. මේ ගීත වලට ඇති තරම් රසිකයින් සිටී. මා කියන්නේ ගීත ගැන කතා කරණ අය ගැනය.
ඔහුගේ මෙම රචනාවන් තුළ ඇති අරුත් වලින් කාටවත් හානියක් නැත. කාටවත් රිදුමක් නැත. එහෙත් එහි විඳුමක් ඇත. ගැඹුරු රසිකත්වයම නොසොයන, ගීයෙහි විවිධ රස හොයන අයට එහි වඩාත් රසයක් දැනෙනු ඇත.
කීර්ති පැස්ක්වල්
ප්‍රවීන ගායන හා වාද්‍ය ශිල්පියාගේ ආදරේ හිත සනසන ආදරේ ගීතය අතිශයින් සෞම්‍ය සුන්දර ගීතයක් වෙයි. එය එසේ වීමට ඔහුගේ වචන සේම එහි යෙදෙන සංගීතයද, කීර්ති අයියාගේ මියුරු ගායනයද ඔහුගේ ගායන ශෛලියද හේතුවේ.
ආදරේ...සිත සනසන ආදරේ...
සද සිසිලේ
තරු එළියේ
මද පවනේ
හමු වෙනවද ආදරේ
ලොව නලවන ආදරේ....
ආදරේ රස වෑහෙනා ජීවිතේ සනසා
නිරන්තරේ යොවුන් හදේ
හගුමන් පුබුදාලා....
වසන්තයේ... කුසුම් විලේ... බිගුන් මුවේ...
මධු බිදුවකි ආදරේ
නිම් හිම් නැති ආදරේ ....
ආදරේ හිත යා වෙලා වේදනා මවනා
තෙමා නුවන් මවා සුසුම්
කදුලක සැගවෙනවා....
කදු මුදුනේ...මීදුම සේ... බොදවන්නේ...
නෙතු රවටන ආදරේ ....
ලොව හඩවන ආදරේ
මේ ගීතය ඔහු ලියන්නට ඇත්තේ පෙර නිමි තනුවකටය. පෙර නිමි තනුවකට මෙවැනි සෞම්‍ය වදන් ලිවීම අතිශය අමාරු සහ වෙහෙසකර කාර්යයක් බව අත්දැකීමෙන්ම දනිමි. ඒ වෙහෙස තුළ එහි වන සෞම්‍ය බව මැකී යා හැකි වන්නේ එසේ නොවන ලෙස එය කළ හැකි වන්නේ දක්ෂ ගීත රචකයෙකුටම පමණි.
ආදරේ සිත සනසන ආදරේ ගීතය අසමු.
ඔහු ලියූ බොහෝ ගීත ලියා ඇත්තේ තනුවලට බව මගේ අවබෝධය සහ හැඟීමයි.
ඒ ඒ තනුවේ හැඩය සහ රහ අනුව ඔහු සිය ගී පද රචනාව නිමවයි.
ගායන ශිල්පී උපාලි කන්නන්ගර
ගයන මේ ගීතය මම ඒ ඉහතින් කියූ අදහස සනාථ නොකරන්නේදැයි මට කියන්න.
ගෙලේ රන්මාල දා හැඩ වී..
කනේ රන්තෝඩු දා සැරසි..
මගේ මනමාලි වී නුඹ..
කවදාද මා වෙත...
එන්නේ කියන් මැණිකෝ....
රැන්දු සිනා සද වගේ මුහුණේ ..
දැක්කාම හිත බැදුනේ..
පෙන්නා අගේ හද රැදී සෙනෙහේ
ඉන්නම් බැදි එකසේ..
නැත දායාද ඕනේ..
කිසිදාක නෝනේ ඔබ දෑත හිමි වේනම්..
සුදු නෑනා මාගේ කරකාරේ බැදගෙන
පන වාගේ රැකගන්නම්..
මගේ පණ වාගේ රැකගන්නම්..
බැන්දා තෝරන් හැමටම කියලා..
හද්දා මගුල් කනවා..
කැන්දා අරන් යනදා..මැණිකා
ගම්මානේ එලි වෙනවා..
පැලේ රන් පහන වාගේ ඔබ ඉන්න ඕනේ
හැමදාම සන්තෝසේන්
සුදු නෑනා මගේ කරකාරේ බැදගෙන
පණ වාගේ රැකගන්නම්..
මගේ පන වාගේ රැකගන්නම්
ගීතය අසමු.
ඔහු අතින් නිමැවුණු මෙවැනි ගීත ගණන මෙතෙකැයි කියන්නට අසීරුය. අවමයෙන් ඔහුවත් ඒ ගැන හරියටම දන්වාදැයි නොදනිමි.
ඔහු ලියා ඇති සමහර ගී ලිවීම කෙනෙකුට ලෙහෙසෙි පහසු අභියෝගයක් නොවේ. ඔහු ගැන සටහනක් ලියන්නට මා පෙළඹවූ කාරණා රැසක් අතුරින් එකක් වෙයි එය. එවන් තනුවක් මා හට දුන්නේ නම්, ඇත්තටම ඒ තරම් අදාල ගායකයාට හෝ ගායිකාවට ගැලපෙන අයුරින් ලියා දෙන්නට මටනම් හැකි නොවනු ඇතැයි අවංකවම සිතේ. එපමණක් නොව, එවන් සමහර ගීයක් ජීවිතේටම ලියා ගන්නට නොහැකි වන්නටද හැකිය.
ජිප්සීස් සුනිල් හෙවත් ගායක සුනිල් පෙරේරා ගයන තාත්ත මට ඇනපු ටොක්ක ගීතය එවන් එකකට ගත හැකි බොහෝ උදාහරණ අතුරින් එකක් පමණකි.
තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා
ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා
එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ...//
ඉස්කෝලේ ගිහින් ඇවිත් පොතපත විසි කරලා
කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා
අහුවුණා ම බේරෙන්නට කිව්වම බොරු ගොතලා
දුන්නේ නැද්ද කණ පැලෙන්න කෙන්න්තියෙන් බැනලා...
එදා මට පෙනුණෙ ඔබව......
සංගීතෙන් ඉහළ යන්න අප උනන්දු කරලා
පුරුදු පුහුණු කෙරුවේ දරුණු නීති දමලා
අතපසුකම් උණොත් අපෙන් අඩිය පොළොවෙ ගහලා
කෑ ගැසූ හැටි මතකයි මට තරහෙන් ඔරවාලා...
එදා මට පෙනුණෙ ඔබව.....
කරපු කියපු දේවල් ගැන දැන් බැලුව ම හැරිලා
පේනව ඒ සේරම කලේ අපේ හොඳට යි කියලා
කොයි ලෝකෙක හිටිය ත් ඔබ අප හැමගෙන් මිදිලා
තාත්තෙ ඔබේ පිහිට අද ත් තියේ අපට ලැබිලා ..
තාත්තා මට ඇනපු ටොක්ක.....ගීතය අසමු.
මෙවන් තවත් බොහෝ ගීත ඔහු ලියා ඇති අතර, ඒ ගී හැම එකක්ම අතිශය ජන්‍රපිය ඒවාද වෙයි. එහි ඇත්තේ ඔහුගේ රටාවයි. ඔහුගේ ශෛලියයි. ඔහුගේ හැකියාවයි. ඔහුගේ දහදිය මහන්සියයි.
අප මෙතෙක් නමක් නොලියා ඔහු ඔහු යනුවෙන් හැඳින්වූ මේ ගීත රචකයා කවුද?
ඔහු නම්
චන්ද්‍රදාස ප්‍රනාන්දු
නම් වූ ප්‍රවීන ගීත රචකයාය.
ඔහු ගැන වෙසෙස් සටහනක් තබන්නට මේ ඇසූ ගීත කිහිපය වුව ප්‍රමාණවත් මුත්, ඔහු ගේ සුවිශේෂ තවත් ගී රැසක් ගැන අප යම් විමසුමක් කළ යුතුය. එහෙත් තනි සටහනකට දිග වැඩි හෙයින් දෙවැනි කොටසකට ඉඩ තබා අදට සටහන නවතමි. ඔහු ලියූ ගී සමගින්ම, ඉක්මණින් හමුවෙමි.
- යසනාත් ධම්මික බණ්ඩාර -
ඔබතුමාගේ මෙම blog අඩවිය හරිම අපූරුයි හරිම රසවත්,වගෙම විශල දැනුම් සම්භාරයකින් සුපෝෂිතයි. වෛද්‍යවරයෙකු ලෙස ඉතාමත් කර්ය බහුල හා වගකීම් අදික රකියාවක නියෙලෙමින් කලා නිර්මණකරණයේද යෙදෙමින් හා කලා නිර්මාන අගයමින් ඔබ කරන මේ සේවය පැසසිය යුතුයි. ඒබතුමා බදිරිපත් කර තිබු බොහො ගීත මම මගේ මුහුණුපොත මගින් සිංහල ගිත මුහය හරහා ඵල කලා මම හිතනවා ඒයට ඔබෙි විඑරද්ධත්වයක් නැතුව ඇති කියලා . බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.
ReplyDelete