Sunday, September 16, 2018

යහළුවනේ ඔබ ඉන්නේ එන්නට හැකි දුරද




මිතුරු හමුවක ආරම්බක දසුනක් මවා ගන්න.

එකෙකුට පසු එකෙක්ද, දෙතුන් දෙනාගේ කණ්ඩායම් වශයෙන්ද මිතුරන් පැමිණෙනු පෙනේ.

සමහරු ආයුබෝවන් කියාගෙන පැමිණෙයි. සමහරුන් හායි මචං හව් ආර් යූ කියාගෙන පැමිණෙයි. 

තවත් සමහරු ඉතින් ලොක්කා කොහොමද කියාගෙන පැමිණෙයි.

සමහරු පැමිණ මිතුරන් අතින්  අත ගෙන මදක් ආ ගිය තොරතුරු කතා කරති. තවත් සමහරු සිප වැඳගෙන ආ ගිය තොරතුරු කතා කරති. අනතුරුව වට මේසයේ වාඩි වෙති.
මා මෙහි වට මේසයක වාඩි වෙනවා යැයි කීවාට එය එවැනි තැනක්ම විය යුතුම නැත.

සමහර විට ඒ ගං ඉවුරක හෝ  ඒ වැව් පිටියක හෝ විය හැකිය.

වන රොදක හෝ ගල් තලාවක හෝ විය හැකිය.

මිතුරන් විවිධය. 

මිතුරු ඇසුරු කිරීම් ද විවිධය. 

ඇසුරු කරණ මිතුරන් අතරේ වන මේ හමුවීම් ද විවිධය. 

මේ විවිධ හමු වීම් අතරේ මධු සාද එතරම් දුලබ නොවේ. එමෙන්ම මධු සාද ම නොවුණත් සාදයකට මධුවිතකුත් එකතුවීම ද දුලබ දෙයක් නොවෙයි.

මිතුරන් හමු වී පවත්වන මෙවන් සාදයකදී මධු විතකුත් ඇති නම් සමහරු ඊට බොහෝ ප්‍රිය වෙයි. එහෙත් සමහරුන්ට එය අප්‍රිය ය. 

මධුවතට ප්‍රිය නොකරණ  අයට වුව රැඳී හිටියාට පාඩුවක් නොවෙන දෙයක් මධුවිතද මුසු සාදයක් ගැන කතා කරමින් අරඹන මේ සටහනේ යම් තැනකදී ඔබ වෙත දෙන බවට මම මෙතැන දී පොරොන්දුවක් දෙමි. එහෙත් ඒ පොරොන්දු පිළිබඳ විශ්වාස නොකරන්නෝ මෙහි දී මධු විතෙහි ආදිනව පිළිබඳ පාඩම් කියා නොදෙත්වා. එය සැවොම දන්නා බැවිනි. මේ නොදැන කතා කිරීමක් නොවේ. ඒවා දැනගෙන කථා කිරීමකි. එසේ අවැසි මහත්වරුන් සිටී නම්, මහත්වරුණි, මගේ වේදිකාවේ මේ මොහොතේ මට කතා කිරීමට අවැසි වන්නේ එය නොවේ. එබැවින් ඒ කත පසුවට තබා මේ කතාවට සවන් යොමන්න.

මධු විත තොළ ගාන්නෝ එය කරන්නේ එහි අන්තයට ගියහොත් වෙන ආදිනව නොදැන වේ යැයි මම නොසිතමි. එහි කොතෙකුත් ආදිනව තිබුණද ඔවුන් ඉන් හොයන යම් දෙයකුත් වන බැවිනි. ඒ යම් දෙය කුමක්ද යන්න මෙහිදී පහදා දීමට නොයමි. එය පහදා දීමටත් අපහසුය.

ඔවුන් හොයන ඒ දේ ඇත්තටම එහි වේද නොවේද යන්න ගැන ඔබේ තර්කයක් වේ නම් මම එයට ගරු කරමි. නමුත් මේ ඒ ගැන තර්ක විතරක් කිරීමට අවස්ථාව නොවේ. එය හොඳය කීමට හෝ නොහොඳය කීමට මම මෙවේලේ වචන එකතු නොකරමි. මට කීමට අවැසිව ඇත්තේ වෙනත්ම කතාවකි.

ඒ අර හමුවීම් ගැනය. එහි විවිධ පැතිකඩයන් ගැනය. ඒද, ඒ ගැනම කතා කිරීමට නොවේ. වෙනත් කතාවකට එය අවැසිම වන බැවිනි.

එක් වූ රොක් වූ මිතුරන් කතා බහේ යෙදෙද්දී සමහරුන් මිතුරෙකුය කියන සමහරුන් සතුරෙකිය කියන අර සාමාජිකයා මෙහි වඩී. 

ඒ සාමාජිකයා නම් මධුවිතය.

එකමුතුවේ සමහරුන් සිය බඳුන් මධු විතෙන් පුරවා ගනී.  සමහරුන් මධු විත නොගෙන ඒ සදහා ගෙනා මුසුවෙන් සිය බඳුන් පුරවා ගනී.

සමහරුන් දෙකම ප්‍රතික්ෂේප කරමින් මිතුරු ඇසුර පමණක් ලබමින් සතුටු වෙයි.

පළමු වඩියට පෙර සැමට සුබ පතා ගනු ඇත. සමහර විට දෙවන තුන්වන වඩියද එකට ගනිමින් පොදු මාතෘතාවක් පිළිබඳව කතා බහ කරණු ඇත. අනතුරුව ඇරඹෙන්නේ කුඩා කණ්ඩායම් සැදෙමින් කෙරෙන කතා බස්ය. ඒවාට මිතුරන් කියන්නේ මීටිම අස්සේ පොකට් මීටින් කියායි.

කෙනෙකු රැකියාවේ ඇති ගැටළු සහ එහි ඉදිරිය ගැන කතා කරණු ඇත. එහි ඉහළට යන්නේ කෙසේද? පහළට ඇද දමන්නට වලිකන වුන් පරාජය කරුණුයේ කෙසේද ආදිය පිළිබඳව විමසමින් විසඳුම් සොයනු ඇත.

තවත් කෙනෙකු රට ජාතිය ආගම ලැබූ පරාජයන් සහ ඉන් එ්වා මුදවාගත හැක්කේ කාටද කෙලෙසද ආදිය ගැන කතා කරමින් වාද විවාද වලද යෙදෙනු ඇත.

තවත් පිරිසක් ගේහසිත දිවියේ තමන් ලබන විවිධ අත්දැකීම් ගැන කියනු ඇත. 

පෙමින් බැඳී සිහින මැවූ දිවිය කොළයකට අත්සනක් යෙදූ සැනින් අතුරුදන්ව ඇන බැණ ගැනීම් වලින් වැසී ඇති සැටි සමහර විට එහි කියැවෙනු ඇත. තවත් සමහරෙක් ඒ අන් කතාවල ජීවත් වන බිරියන්ට වඩා සොඳුරු බිරියක් තමන්ට ලැබීම පිළිබඳව සිය සතුට පළ කරණු ඇත.

ව්‍යාපාරවලට ළැදි පිරිසක් එහි නව ප්‍රවනතා බිඳවැටීම් ආදිය පිළිබඳව කතා කරමින් අනාගත ඉලක්ක ජය ගනු හැක්කේ කෙසේදැයි කතා කරණු ඇත.

මේ අතරේ තවත් පිරිසක්, අකල්හි මිය ගිය සිය කුළුඳුල් පෙම හෝ ජය ගත නොහැකි වුණු පළමු පෙම නොවූවද තමන්ට වඩා දැනුනු ප්‍රේමය පිළිබඳව කතා කිරීමට කාලයක් ගනු ඇත.

තවත් පිරිසක් මද පමණින් මත්ව කුල්මත්ව ගීයක් මුමුණනු ඇත. එහි ඇති තට්ටු කළ විට සංගීත නාදයක් ඉපැද්දවිය හැකි කුමණ හෝ දෙයක් යොදා ගෙන එය සංගීතයෙන් හැඩ කරණු ඇත. ටිකෙන් ටික අන් පිරිස් ද අනතුරුව ඊට එක් වනු ඇත.

තවත් මධුවිත පිරෙනු ඇත. රස විත් උතුරනු ඇත. රිද්මය වැඩි වනු ඇත. ගැයුම් මැද වැයුම් මැද රැඟුම්ද ඇරඹෙනු ඇත.

මේ අත්දැකීම් නොලද්දෙක් වේද? නොවින්දෙක් වේද? තමන් ඊට සහභාගි වන මට්ටම මිස එවන් අත්දැකීමක් නොලද්දෙක් නොසිටුනු ඇත.

මට මේ විදිහට මිතුරු හමුවක් පිළිබඳ කතා කරන්නට සිත් වූයේ මෑතකදී අසන්නට යෙදුනු අපූරු ගීතයක් හේතුවෙනි. එහි කියැවෙන්නේද මෙවැනිම වූ අතීත මිතුරු හමුවක සුන්දර මතකයක් පිළිබඳවය. නමුත් ඒ අතීත සුන්දර මතකය වර්තමානයේදී මතකයක් පමණක්ම වන බැවින් එය සිතට ගෙන එන්නේ එක්තරා ශෝකාකූල බවකි.

ගීතය ඇසූ මුල් වතාවේම එය මගේ සිත තදින් පැහැර ගත් අතර සුන්දර මතකයන් මැද මගේ සිත මොහොතකට වේදනාවෙන් පුරවා අතහැරියේය. අනතුරුව එළඹුනේ එය යළි යළිත් ඇසීමේ කැමැත්තය.

මා මේ ගීතය මුළින්ම ඇසුවේ මගේ ප්‍රිය මිතුරෙකු සමග ගල් සීතල බීර බඳුනක් තොළ ගාන අතරේමය. බීර ( හෝ මධුවිතට ) අප්‍රිය අය කමත්වා. මම නම් ගල් වෙන තරම් සීතල බීර බඳුනක් තොළ ගාන්නට ප්‍රිය අයෙක්මි.

අපටද මෙවන් මිතුරු සමාගම් යම් යම් අවදිවල සිට ඇත. විවිධ හේතූන් මත ඒවා විසිර ගොස් ද ඇත. මා කී ඒ මිතුරා මට සිටි එවන් අවසන් මිතුරු සමාගමෙන් ඉතිරි වූ තුන් හතර දෙනාගෙන් කෙනෙකි. එදින මිතුරු සමාගමෙන් ඉතිරි කිහිප දෙනම කැඳවීමේ අවස්ථාව නොලද්දෙන් එහි මතකයන් අවදි කරමින් අප දෙදෙනා හෝරාවන් කිහිපයක් ගෙවා දමන විටදීය, ගල් සීතල බීර වඩි කිහිපයක් හිස් කරණ විටදීය ඔහු මට මේ ගීය අසන්නට ලබා දුන්නේ.

එම ගීතයේ මිතුරු හමුව අවන්හලකදී හෝ මිතුරෙකුගේ නිවසකදී හෝ සිදු වූවක් නොවේ. එක් අතිශය සුන්දර එළිමහනක සිදුවූවකි. ගීත රචකයාට ගීය ලිවීමට නිමිත්ත වූ අත්දැකීම ඔහුට ලබා දුන් ඒ අති සුන්දර එළිමහණ අන් තැනක් නොවේ. සුන්දර කලා වැව් ඉවුරයි. කාලය රාත්‍රියයි. 

රාත්‍රි කාලයේ කලා වැව් ඉවුරේ මිතුරු පිරිස් සමග මෙවන් සැඳෑවන් වරක් දෙවරක් නොව කිහිප විටක් විඳීමේ අවස්ථාව මා ලද්දේ, එහි අසිරිය පිළිබඳව මට නම් අරුමයක් නොවේ. කලා වැව සේම සුන්දර නොවුණත්, කලා වැවේ සහෝදර රාජාංගනය වැව මට එම රස පහස දුන් වාර ගණන කීයක්දැයි මට අමතකය. එහි සුන්දරත්වය කෙසේද කලා වැවේ සුන්දරත්වය ඊට වඩා බොහෝ ය.

එහෙත් එය නොවිඳි අයෙකුට එය විඳින්නට හිතෙන තරමින් ගීතය රසවත්ව ලිව්වේ එම පරිසරයේම පහස ලැබූ කවියෙකි. ඔහු නමින් ප්‍රසන්න ආරියරත්න ය. ඒ සොඳුරු පරිසරය ඔහුට කවි කම්ද සංවේදී කම්ද දුන් බව නොකියාම බැරිය. ඒ පරිසරයේ ඇති වුණු මිතුරු බැඳීම් කොපමණ නම් සුන්දර වන්නට ඇතිද? කොතරම් නම් රසවත් වන්නට ඇතිද? යම් හේතූන් මත ඒ බැඳීම් දුරස් වූ දා සමහර විට එය වැඩියෙන්ම දැනුනේ ඔහුට විය හැකිය. ඒ අන් දෙයක් නිසා නොවේ. ඔහු කවියෙකුද වූ බැවිනි.

ඔහු සිය මිතුරු සමාගමෙන් වරෙක පැණයක් අසයි. තවත් විටෙක ඇරියුමක් කරයි. මේ සෑම අයුරකින්ම ඔහුගෙන් පළ වන්නේ එකම දෙයකි. ඒ එවන් මිතුරු සමාජයකින් දුරස් වීමේ සොවයි. 



හඳපානක කලා වැවේ අසිරිය මතකයිද
අද හවසට මුණගැහෙන්න වෑකන්දට එමුද
යහළුවනේ ඔබ ඉන්නේ එන්නට හැකි දුරද
එදා වගේ ගෙදරින් පැන ගන්නට හැකිවේද


පුළුවන් නම් අද හවසටත් ඔවුන් එහි එනවා නම් ඔහු ඊට සූදානම්ය. එහෙත් එදා මෙන් අද ඔවුනට ඒමේ හැකියාව ඇතිද, නැති නම් ඒ මන්ද?

ඒ පැණයන් ද්වයට ඇත්තේ විවිධ වූ පිලිතුරුය. එකක් දෙකක් නොවේ.

එක පිලිතුරක් වීමට ඇත්තේ අද වන විට ගමෙන් නගරයට හෝ කොළොම් තොටට ගිය ඈයින්ට මෙතරම් දුරක් ගෙවා පැමිණිය නොහැකි වීමය.

තවත් කෙනෙක් සිය රැකියාව හෝ ව්‍යාපාරය හෝ නිසා බොහෝ සෙයින් බිසී වී ඇත.
තවත් කෙනෙක් වැටී සිටිනුයේ ආර්ථික අවපාතයකය.

තවත් කෙනෙකුගේ දරුවන්ට ක්ලාස් නිසා එන්සෑම් නිසා ස්පෝර්ට්ස් ටූන්මන්ට් නිසා, ඩාන්සින්, මියුසික් ප්‍රැක්ටිස් නිසා පැමිණිය නොහැකි විය හැකිය.

මවු පියන්ගේ අසනීපයන් නිසා පැමිණිය නොහැකි අයද සිටිය හැකිය.

තවත් කොකෙතුත් පිලිතුරු නම් ඊට සෙවිය හැකි? ඒ සියල්ලම නැතත්, බිරිඳගේ අවසරය සීමාකාරී සාධකය වන අවස්ථාවන් කොතෙක්ද? 

මෙවන් මිතුරු හමිවීම් වල ඇති සුන්දරත්වයෙන් දුරස්ථ මනසකින් යුතු බොහෝ බිරින්දෑවරු ඔවුනට ලබා දෙනු ඇත්තේ හිත රිදවන පිලිතුරුය. බිරිඳගේ නොකැමැත්ත පිට පැමිනීම දින කිහිපයක් නිවසේ සාමය අහෝසි වීමට ඇති ඉඩ කඩට බිය බොහෝ සැමියන් තමන්ට එසේ නැතත් අර ඉහත පිලිතුරු වලින් එකක් හෝ කිහිපයක් කියා අවස්ථාව මගහරිනු ඇත.

ඒත් හැම බිරිඳක්ම එමෙ නැති බව කියන්නේ මගේ බිරිඳගෙන් බේරීමට නොවන බවද කියමි.

යහළුවනේ ඔබ ඉන්නේ එන්නට හැකි දුරද

යන්නෙන් මේ අනුව අදහස් වන්නේ ගමනේ දුරම නොවන බව අපට වැටහේ.

එදා නම් ඔවුනට ගෙදරින් පැන ගන්නට ඒ තරම් අඩවු ඇල්විය යුතු නොවුණි. එහෙත් අද නිවසින් පැන ගන්නට එලෙසින්ම හැකි වේද? එබැවින්ම අල්ලපු වැටේ සිටියත් ඔවුන් මහ දුරක සිටින්නන් බවට නිතැතින්ම පත් වෙයි.

යහළුවනේ ඔබ ඉන්නේ එන්නට හැකි දුරද
එදා වගේ ගෙදරින් පැන ගන්නට හැකිවේද

යනුවෙන් ඔහුට අසන්නට සිතූ කාරණයේ ඇති ගැඹුර මතුවන්නේ එබැවිනි. නැති නම් නිකන්ම දුර නිසා එන්නට බැරිය යන සමාව තුළ ඔහු එය අමතක කරන්නට තතනනවා නොවේ.

මා පෙර කී සොඳුරු මිතුරු හමුවන්ගේ ඇති සියළු අංග ඔහු මෙම ගීතයට ඇතුළත් කර ඇත්තේ විශ්මය දනවන අයුරිනි. යම් දෙයක සිද්ධියක සුන්දරත්වය විඳින සැමටම එය අන් කෙනෙකුට දැනෙන අයුරින් නැවත කීමේ හැකියාවෙන් යුතු නොවේ. එහෙත් අප කවියා එය ඉතාම සොඳුරු මට සිලිටි අයුරින් එක් අංගයක් නෑර නියමෙට විස්තර වන අයුරින් කවි කර ඇත.

විසුළු කතා කවට සිනා දෝර ගැලූ ඉවුරේ
පමණට මත් වූ බමරුන් ගී මිමිණුව අඳුරේ
රජ වෙන හැටි කතා කළා දකින සිහින මැදුරේ
කුළුඳුල් පෙම ගැන දෙඩුවා සමහරු ඒ අතරේ

මා පෙර කළ විස්තරයට මෙය කොතෙක් නම් ගැලපේදැයි ඔබම සිතන්න. මෙවන් මිතුරු හමු වලින් යම් කලක හෝ ඔබේ ජීවිත පිරී තිබෙන්නට ඇත. ඒවාගේ ඒ සියල්ල තිබුණේ නොවේද?

මෙවන් මිතුරු හමු බහුල යුගයන් කිහිපයක් මගේ ජීවිතයේ හඳුනාගත හැකිය. ඔබේ ජීවිතයේත් එවන් හමු මෙනෙහි කරන්න. වරක් පමණක් ඇසීමෙන් මා මේ ගීතයේ යාවජීව රසිකයෙකු බවට පත් කළේ එවන් හමුවලින් මා විඳි සොඳුරු හැඟීම් සමුදාය නිසාවෙනි. ඒ සර නිසාවෙනි. ඔබ එයට බැඳුනේ නම් ඒත් ඒ නිසාම විය යුතුය.

උසස් පෙළ නිමා කොට යම් කාලයක් මා ගුරු වෘත්තියට පිවිසීමේ අදහසින් ආ ගිය සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨය එවන් එක් තැනකි. එහි නීතියට අනුව මෙවන් හමු තරණම් වුව, තහණම නොතකා අපිට එවන් හමු උදා විය. සියනෑව තුළමද, ඉන් පිටතදීද එවන් හමු හමුවිනි.

ඊ ළඟ කාලය උදාවෙන්නේ සියනෑව තුළ සිටියදී හොරෙන් හොරෙන් පංති ගොස් යළි උසස් පෙළ කොට වෛද්‍ය විද්‍යාලයට ප්‍රවේශ වන්නට වරම් ලබා අනතුරුව එළඹි සමයේදීය. එයද අති සුන්දර කාල වකවානුවකි. 

අපේ හමුවීමේ ප්‍රධානම තැන වූයේ කුරුණෑගල නගර මධ්‍යෙය් පිහිටා තිබෙන වැව රවුමය. 


එකල එය එතරම් ජනාකීර්ණ වටපිටාවක් නොවුණි. 

රාත්‍රියට ඒ පැත්තට ගිය අය බොහෝ අඩුය. ගියා නම් ගමනක් ගොස් රෑ බෝවී ඒ හරහා ගෙදරට ගිය වුන්ය. නැති නම් අපි වැනි විනෝද වන්නට ගිය පිරිස්ය. නැති නම් හොරුන් මං පහරන්නන්ය. අද නම් තත්ත්වය ඊට වඩා වෙනස්ය.

හොරු හොරු කියා සමහරුන් විසින් පන්නා දැමූ අය ආණ්ඩු කළ සමයක බොහෝ දුරට වැඩ අවසන්කොට තිබූ පසුව ඉතිරි සොච්චම නිම කර අලුත් අය සිය නම් ගම් තබා බෝඩ් ගැසූ අති සුන්දර වැව රවුමකි අද එය.

පසුව රාගම වෛද්‍ය පීඨයේදීද ජ-පුර සරසවියේදීද මෙවන් කුලකයන් හමු විය. ජ-පුර සරසවිය නිසා නුගේගොඩ අවට කරක්ගසන්නට යෙදුනු ඒ යුගයේ මමද කලාවට යම් මට්ටමක නෑකමක් ඇති කර ගන්නට සමක් වූ බැවින් අනතුරුව බොහො මෙවන් රසවක් සැඳෑවන් ගත කළේ කලාබර මිතුරන් සමගය.

පසුව මීගමුවේ මා සීමා වාසී කාලය ගෙවද්දීය. අනතුරුව තඹුත්තේගමද, කරවනැල්ලේද, යළි තඹුත්තේගමද සේවය කරද්දීය.

එහෙත් ඒ බොහෝ සමාගමයන් අද නැත සමහරුන් අද එහි නැත. සමහර සමාගමයන් තුළ අප නැත.

කාලය අප වෙනස් කළා ගතත් සිතත් බැඳ දා
ළෙන්ගතු කම් දොඩමළු බස් යළි මැවේද කවදා
එක වරකටවත් හමුවෙමු එළඹෙන පුර පෝදා
වැව් කුමරිය බලා හිඳී අපි දකින්න සැමදා

මේ 

කාලය අප වෙනස් කළා ගතත් සිතත් බැඳ දා 

යන්න ගැන වුව කිව හැක්කේ පසුව අප බැඳුනු බොහෝ බැඳුම් වලින් අපගේ සමාජ ජීවිතය අවලංගු වුණු හෝ වන ආකාරයයි. ගේහසිත දිවිය වේවා, රැකියාව ව්‍යාපාරය වේවා අපව බැඳ තබමින් අපගේ නිදහස අහෝසි කරණ ආකාරයයි මේ. මේ තත්ත්වය අවාසනාවට වෙනස් කරන්නට අසීරු තරමින් වෙනස් වී හමාර යැයි මට සිතේ. බොහෝ අය ජීවිතය විඳිනු වෙනුවට විඳවන්නේ මෙවන් බැඳීම් වල අනවශ්‍ය දෘඩ ගති හේතුවෙනි.

කෙසේ වෙතත් එවන් සොඳුරු මිතුදම් යළි මතක් වන විට තවත් වරක් හෝ හමුවීමේ ඔහුගේ උවමණාව, අභිප්‍රාය

ළෙන්ගතු කම් දොඩමළු බස් යළි මැවේද කවදා

යන, ඔහු ප්‍රාර්ථනා කරණ, එහෙත් ඉටු වේද නොවේද අවිනිෂ්චිත උවමණාව විසින් ඔහු හදින් කවි වූ වැකි අප සිත්හිද ඒ පැතුම ජනිත කරණුයේ හද තුළ ශෝකයක්ද ජනිත කරමිනි. එවන් හමුවක් ජීවිතයට ඉක්මණින් අවැසි යැයි හිතෙන තරමට නිර්මාණය හරහා අපව ඇද බැඳ ගන්නට සමත්ව ඇත.

එකවරකටවත් හමුවෙමු එළඹෙන පුර පෝදා

යන්නෙන් කවියා අදහස් කරන්නට ඇත්තේ, ඊ ළඟ පොහෝ දින හැකි නම් සෙට් වන්නට අවැසි සංවිධාන කටයුතු තමන්ට කළ හැකිය යන්නය.

දැන් කෙනෙක් පොහෝ දින මිතුරු හමු පවත්වන්නට සුදුසුද යනුවෙන් අසන්නට හැකිය. එය සුදුසු වුව, නුසුදුසු වුව, දැන් දැන් බොහෝ එවන් මිතුරු හමු පැවැත්වෙන්නේ එවන් විශේෂ දිනවලය. එහි අදහස කවියා පොහෝ දිනයක්ද දා, අවුකනට පිටුපා, කලා වැව් ඉවුරේ මධු සාද පැවැත්වීමකැයි පටු විවරණයක් නොකළ යුතුය. ඔහු ඉන්ද අදහස් කරණුයේ අප හිරවී සිටින ආකාරයය. එවන් දිනයකම මිස අන් දිනයක් යොදා ගැනීමට අප විසින්ම නිදහස අහිමි කරගත් මේ සමාජයේ දැන් ඉඩක් නැත.

වැව් කුමරිය බලා හිඳී අපි එනතුරු සැමදා

මේ හමු වීම වේද නොව්ද යන්න කීම තරමක් අසීරුය. ඒ සඳහා බොහෝ කරුණු කාරණා ඉටු විය යුතු වෙයි. එහෙත් කවියා හැමදාමත් හිතන එක් දෙයක් වෙයි. එනම්,
ඒ අතීත හමු නිසා මේ වැව් කුමරිය පවා මහත් සතුටක් ලබන්නට ඇත....
යන්නය. 

එබැවින්ම ඔවුන් යළි කෙදිනක හෝ පැමිණෙන තුරු වැව් කුමරිය බලා සිටිනවා යැයි කීමේ වරදක් නැත.


 ප්‍රසන්න ආරියරත්න 
කවියා ගේ මේ සුන්දර ගීත රචනය හොඳින් වටහා ගන්නා සංගීතඥයා වන්නේ  


නාලක අංජන කුමාර 
ය. නාලක අංජන කුමාර ට ඔහුගේ හැඟීම් වටහා ගන්නට ඉතා පහසු වන්නේ ප්‍රසන්න ගේ මේ අත්දැකීම අනිවාර්යයයෙන්ම ඔහු ද විඳ ඇති නිසා විය යුතුමය. නාලක බොහෝ කලායක් හිටියේ රජරට අනුරාධපුරයේය. අවමයෙන් කලා වැවේ නැතත්, තිසා වැව් ඉවුරේදී, නුවර වැව් ඉවුරේදීවත් ඔහු මේ අත්දැකීම විඳ තිබිය යුතුමය. එබැවින් ඔහු කළ සංගීතයේ රචකයාගේ මේ හැඟීම වඩාත් හොඳින් මතුවීම අරුමයක් නොවේ.

මේ ගීතය ගයන්නේ විශාරද ගායක  

ආනන්ද තිලක් බණ්ඩාර 
ය. ආනන්ද තිලක් බණ්ඩාර ගේ ගැයුම ගැන කීමට පෙර මට ඔහු ගැන අන් යමක් කීමට ඇත.

ඔහු ගායකයෙකු වන විට මම ගීත රචකයෙකු නොවේ. ඔයු යම් යම් ගායනා පටිගත කරන්නට සූදානමින් සිටින අවධියේදී මා ගීත රචනයට අත් පොත් තබමින් සිටි අයෙක් විය. මා ලියූ ගී පද යැයි සැක කළ හැකි නිර්මාණ කිහිපයක්ම ඔහු වෙත යොමු කළ බවද මට මතකය. එහෙත් ඒවා ගී බවට පත් නොවුනි. ආනන්ද තිලක් බණ්ඩාර ගේ මේ ගීය ඇහෙද්දී, මට ඔහු ගැන මහත් කම්පාවක් ඇති වුණි. හිතට ගන්න. අනුකම්පාවක් නොවේ. කම්පාවකි. නිහඩව යමක් කරමින් සිටින මෙවැනි වෙසෙස් ගායන හැකියාවෙන් යුතු අයගේ සෝචනීය ඉරණම මෙය නොවේද යන්නය මා වඩාත් නොසන්සුන් කළේ. මගේ වැටහීමට විඳීමට අනුව නම් ඔහු මෙම ගීතය ඉතා හොඳින්, හැඟුම් බරව සහ රසවත්ව ගයා ඇත. මේ ගීය මතු නොව ඔහු ගැයූ අනෙකුත් ගීත වලද ගායන පාර්ශ්වය ඉතාමත් ඉහළය.

එහෙත් අපි සිටින්නේ දක්ෂතාවයට පමණක් තැනක් ලැබෙන වටපිටාවක නොවේ. ආනන්ද තිලක් බණ්ඩාර ට දෙයක් අඩු නම් ඒ දක්ෂතාවය හැර අවශ්‍ය වන ඒ අන් දේය.
මෙවන් ගීතද, නිර්මාණ ශිල්පීන්ද රැක ගැනීම අපගේ යුතුකමය. ඒ සඳහා අවමයෙන් ඔවුනගේ නිර්මාණ විඳ බෙදා හදා ගැනීම හෝ කළ යුතුය.

මට හැකි පමණින් මගේ යුතුකම ඉටු කළෙමි. ඔබ ඔබේ යුතුකම ඉටු කරනු ඇතැයි සිතමි.
අපි ගීතය අසමු.

හඳපානක කලා වැවේ අසිරිය මතකයිද
අද හවසට මුණගැහෙන්න වෑකන්දට එමුද
යහළුවනේ ඔබ ඉන්නේ එන්නට හැකි දුරද
එදා වගේ ගෙදරින් පැන ගන්නට හැකිවේද

විසුළු කතා කවට සිනා දෝර ගැලූ ඉවුරේ
පමණට මත් වූ බමරුන් ගී මිමිණුව අඳුරේ
රජ වෙන හැටි කතා කළා දකින සිහින මැදුරේ
කුළුඳුල් පෙම ගැන දෙඩුවා සමහරු ඒ අතරේ

කාලය අප වෙනස් කළා ගතත් සිතත් බැඳ දා
ළෙන්ගතු කම් දොඩමළු බස් යළි මැවේද කවදා
එක වරකටවත් හමුවෙමු එළඹෙන පුර පෝදා
වැව් කුමරිය බලා හිඳී අප දකින්න සැමදා


පද - ප්‍රසන්න ආරියරත්න
ස්වර - නාලක අංජන කුමාර
හඬ - ආනන්ද තිලක් බණ්ඩාර

ගීතයට යූ ටියුබ් පිවිසුමක් දැනට සොයා ගත නොහැකි බැවින් දැනට ෆේස් බුක් පිවිසුම සඳහන් කරමි. අපහසුතාවට කමන්න.


මම,

 
 -      යසනාත් ම්මික බණ්ඩාර    -


2 comments:

  1. මා ගීත රචනයේ අත් පොත් තැබුවා පමණි , ඔබ මට මේ දුන් ධහිර්ය අගයන්නට මගේ බස අපොහොසත් බවක් හැඟෙ . නමුත් මා දැරු උතසහයට මා සිතුවාටත් වඩා මට ප්‍රති ලාභයක් ලැබුණු බවක් හැඟෙ . ඒ ඔබ වැනි ප්‍රවීනයකුගේ ඇසුර මට ලැබීමයි . සොයුරු නාලක සහ තිලක් මට මුණ ගැසුනේ ද මේ මවාතෙදිමයි . දයාබර යසනාත් අය්යේ මා සැමදාමත් මගේ නිර්මාණ දිවියට ඔබේ ආශීර්වාදය පතමි. ඔබට ස්තූතියි කියා පසකට වන්නට බැහැ මට ඔබේ ඇසුර අමිලයි. (සුවඳ මල් රේණු පිසගෙන කලා දිවියේ ඉදිරියටම ගිය ඔබ වන්නෙකුගේ ඇසුර මට සබැ වූ සිහිනයකි )

    ඔබ ගීයේ පද කීපයක් හරහා මාගේ සිත මුළුමනින්ම කිය වුයේ කෙසේද ? උත්තරය මා සතුයි , ඔබට ඒ හැකියාව , ප්‍රතිභාවය නොතිබුනානම් ඔබ මේ සා ශ්‍රේෂ්ට කලා කරුවකු නොවනු ඇත

    ඔබ මගේ ගීයට එයට තවත් වර්ණවත් සළු පිලි අන්දවා හැඩ කලා යැයි මට හැඟෙ ...

    එකවරකටවත් හමුවෙමු එළඹෙන පුර පෝදා..... - මා මේ පදයට පෝ දා යොදා ගත්තේ , ටිකෙන් ටික අපේ කෙලි ලොල් බව ගිලිහී ගොස් අප කෙමෙන් අගම දහමට යොමු වෙන ප්‍රවනතාවය සහ ඒ වටා අපේ කතා බහ හමු වීම් වලදී සිදු වේයැයි යන කරුණ ගීයට මිශ්‍ර කිරීමටයි .

    නැවතත් මා පවසන්නේ ඔබ මෙසේ මුණ ගැසීම මා ලද මහඟු භාග්‍යක් . සැමදා ඔබේ ආශීර්වාදය පතමි
    මීට ප්‍රසන්න

    ReplyDelete
  2. මං හිතුවෙම ඔබ දැන් කුරුණාගල ඉන්න නිසා මිතුරට ඇරයුම් කරනවා කියායි.මට සමාවෙන්න මේ සිංදුවක් බව නොදැන සිටියාට.
    ඉතිං මං කලේ ඔබේ ලින්ක් එකට පිවිසීමයි.සැබවින්ම එහි ඔබ අකුරු කළ විස්තරය එක හුස්මට කියවන්නට තරම් රසාලිප්ත වූවා.ඔබේ බස් වහර මිහිරි,ආඅකර්ශනීය,පොහොසත්,එකක් බව මා කලිනම දන්නවා.ඒ ඔබේ ගී පද තුළින්.ඉතිං මා මේ ලියවිල්ල හරියට රස වින්දා.අතීතයට දිව ගියා.80දශකයේ දී මාත් මිතුරු මිතුරියන් පිරිවරාගෙන ඔය කුරුණාගල වැව රවුමේ ඇවිද ගියා.අද ඒ අය කොහේ දැයි නොදනී.නමුත් මිතුරියන් දෙදෙනෙක් අකාලේ මිය ගිහින් දැනටමත්.ඉතා අපූරුවට ඔබ ලියනවා.ජයවේවා!ඩොක්ටර් මල්ලී යසනාත්.......🙏🌷

    ReplyDelete