Tuesday, September 11, 2018

සිංහල සුභාවිත ගීතයේ කෝඩුකාර ආල හැඟුම් රචකයා - යසනාත් ධම්මික බණ්ඩාර




සිංහල සුභාවිත ගීතයේ කෝඩුකාර ආල හැඟුම් රචකයා- යසනාත් ධම්මික බණ්ඩාර යන්න මවිසින් මටම කියා ගනු ලද්දක් නොවේ. එය අන් සහෘදයෙක් විසින් ලියන ලද්දකි. ඒ කොතැනකදීද යන්න ඔබට පසුව අවබෝධ වනු ඇත.

මෙහි ප්‍රධාන වශයෙන් කලු අකුරින් ලියැවුණු යමක් වේ නම් ඒ, ඒ සහෘදයාගේ අදහස්ය. ඒ අතරේ දුඹුරු පැහැති අකුරින් ලියැවුණු දේ මවිසින් එක් කරණ ලද ඒවාය. එලෙස ඔහුගේ සටහනට මවිසින් යම් යම් දේ එකතු කරන්නට යෙදුණේ ෆේස් බුක් සටහනක් බ්ලොග් සටහනක් වශයෙන් පළ කිරීමේදී රසිකයාගේ කියවීමේ පහසුව පිණිස ම ය.

පලමුවැන්න ( වශයෙන් ) 

රාත්‍රිය - උවමනා කර තිබේ
නිදන්නට නොව - ලොවින් සැඟවෙන්න
කනාමැදිරියණි - එපා ගෙට එන්න
රාත්‍රිය - උවමනා කර තිබේ - වැලපෙන්න...


ගායක අමල් පෙරේරා 
ගයන එම ගීතයේ ගායන පාර්ශ්වය ගැන කතා කරන්න ඕන නෑ. 

ඒක ඒ තරම් පරිපූර්ණයිිි. 

පදවැල් ගැනයි මම දකින්නේ. 

වැලපෙන්න රාත්‍රිය හොයන තනිවෙන්න රාත්‍රිය හොයන තරුණයෙක් ඒ ගමන දෙමගකට හැරුණු හැටි ඒ කතා බස් මුණිවතට හැරුණු හැටි මතක් කරගන්න රාත්‍රිය හොයමින් රාත්‍රියට අඬගසන ඒ වචන වැල අද්විතීයයි. 

ඒ හැඟීම ලියැවුණු එකම ගීතය මේක. ඒ විදියට. 

වික්ටර් රත්නායක කියනවා ප්‍රේමයේ ප්‍රහර්ශයට වඩා විරහවේ වේදනාව සුන්දරයි කියලා. අන්න ඒ විප්‍රලම්භ ශ්‍රැංගාරය ඉතා කදිමට දනවනවා ඒ වචන ටික

මේ වචන දිගේ ගලා හැලෙන්නේ ආදරය. සෙනෙහස. ඒක දැනෙනවා. 

මට මේකත් එක්ක අජිත් ආරියරත්න මතක් වුනා.

තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි
වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි

හිත ලඟම තිබුනා රාත්‍රිය උවමනා කරනකොටම. 

රාත්‍රිය උවමණාකර තිබේ ගීතයේ ඉතිරි පද මෙසේයි.

එකට ආ මාවතේ
ළං ළං ව
රැඳුනු ඇඳුනු සිව් පිය ලකුණු
එක පෙළට
දෙමගකට හැරුණු හැටි දැනගන්න
රාත්‍රිය - උවමනා කර තිබේ - වැලපෙන්න...

නිසල තුරු මානයේ
මල් මල් අතර
පිරූ පිරූ පෙම් ගී සොඳුරු
මුණු මුණු ව
ගොලුවතට හැරුණු හැටි දැන ගන්න
රාත්‍රිය - උවමනා කර තිබේ - වැලපෙන්න....

පද - යසනාත් ධම්මික බණ්ඩාර


ස්වර - දර්ශන රුවන් දිසානායක
හඬ - අමල් පෙරේරා

රාත්‍රිය උවමණා කර තිබේ ගීතය මෙතැනින් අසමු.



දෙවැන්න මට කියාගන්න බැරි වුනාට ගීතය.

මට කියා ගන්න බැරි වුණාට
හිතා ගන්න බැරි වුණාද
නුඹෙ හිත ළඟ
හිත ගොලු වී
මට කියා ගන්න බැරි වුණාට

මුතු බෙල්ලිය මම
ආදරයේ වැලි කැට
හිත යට දරාන
මුතු වෙනතුරු පෙරුම් පිරූ
දිදුළන මුුතු කැට විනිවිද
ආදරයේ වැලි කැට
ඔබ නොදුටූ

දිය කිඳුරිය මම
ආදරයේ සියපත
හද විල දරාන
පුබුදින තුරු පෙරුම්පිරූ
සුසිනිඳු දළ පෙති සිඳ බිඳ
ආදරයේ සියපත.
ඔබ වැනසූ

පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - තිස්සසිරි පෙරේරා
හඬ - නිරෝෂා විරාජිනී


තිස්සසිරි පෙරේරාගේ ගයන්න අපහසු තනුවක් ඒක. ඒ වගේම සංගීතයට වඩා වචන උද්දීපනය වන තනුවක්. 
 
රත්න ශ්‍රී විජේසිංහ පලවෙනි වතාවට සඳ මත සා ලපයට සාවි කියලා අමතනවා
චන්ද්‍ර මණ්ඩලේ සැතපුනු පුංචි සාවියේ ගීතයෙන්. 

ඔබ ගීත සාහිත්‍යයේ පලමු වතාවට මුතු බෙල්ලි යන වචනය යොදනවා. මේක හරි අමුතුයි. හැබැයි රසවින්දනයට බාධාවක් නෑ. නිරෝෂා ඉතා හැගුම්බරව ගයනවා. ඇය අහනවා මගේ හිතේ තිබුණු දේ කියාගන්නඑ මට බැරිවුනාට ඇයි ඔබ එය ඇහුවේ නැත්තේ කියලා. එ්ක හරි වේදනාත්මක පැනයක්. හරියට " මම කියනකම්ම ඉන්න ඕනද ඕක අහන්න" වගේ ප්‍රශ්ණයක්. හරි අසරණකමින් අහන්නේ ඒක. මොකද ඒ වෙද්දි අහිමි විය යුතු දේ අහිමි වෙලා ඉවරයි. යමක් වැටහෙන වෙලාව එද්දි සියල්ල සිදුව හමාරයි. ඒ වෙලාවට අහනවා මට කියාගන්න බැරිවුනාට තේරුණේ නැද්ද ඔයාට කියලා. 

නිරෝෂා විරාජිනී ගයන මට කියාගන්න බැරි වුණාට ගීතය අසමු.



මේ ගීතය පටිගත වුණේ නිරෝෂා විරාජිනීගේ සංයුක්ත තැටියකට. මතක හැටියට ඒ පුන්සඳ රෑට වගේ. එහෙත් අවසන් මොහොතේ එක්තරා මාධ්‍ය සගයෙක්ද වන ගීත රචකයෙකුගේ ගීතයක් එයට ඇතුළත් කිරීම පිණිස නිරෝෂාට යම් ගීතයක් ගබ්සා කරන්නට වෙනවා. වඩාත් පහසු ගීත ගබ්සාව වුණේ මගේ මේ ගීය. 

ඒක කළේ නිරෝෂා ම කියා මම කියන්නේ නෑ. සමහර විට ඒ අවශ්‍යතාව ආවේ නිෂ්පාදකයාට වෙන්නට පුළුවන්. 

කලල ගබ්සාවකදී ගබ්සාකරුවා ගබ්සාවට ලක්වන මවගේ හිතේ ගින්දර දකින්නේ නෑ. උගුල්ලා දානවා පමණයි ගැබින්. ඒ වගේමයි.

ගීත ගබ්සාවකදී එහි අනෙක් නිර්මාණකරුවන්ගේ චිත්ත වේදනාව තකන්නේ නෑ ඔවුන්. උගුල්ලා දානවා පමණයි. 

මේත් එහෙම එකක්.

අවම වශයෙන් එම ගීය එකී සංයුක්ත තැටියට ගීතය ඇතුළත් නොකරන්නේ නම්, එය එහි ගීත රචකයාට හෝ යම් නිර්මාණ කාර්යයක් සඳහා යොදා ගැනීමට දෙන්නට තිබුණා. නමුත් එය සිදු වුණේත් නෑ.

මෙසේ කල් ගත වූවා. මගේ ඉල්ලීම් කිසිවක් ඵල ගැණුනේ නෑ. එය අස්ථානගතවූ ගීතයක් පමණක් බවට පත් වුණා. අනතුරුව යම් වේදනාත්මක මතකයක් හිත පෑරුවා මේ වචන දකිද්දී. 

මේ අතරේ විශාරද ගායිකා ශානිකා සුමනසේකර නැගෙණියට සිය සංයුක්ත තැටියට මගේ ගීතයක් අවශ්‍ය වෙනවා. එහි අරුත සලකන අතරේ තරමක් වැඩි රිද්මයෙන් වැයෙන, නමුත් එහි හැඟීම්බර බව නොමැරුණු ගීතයකුයි ඔවුනගේ අවශ්‍යතාව වූයේ.
මම ඇයට මේ ගීත රචනය ලබා දෙනවා. ඇය එය ආචාර්ය රෝහණ වීරසිංහයන්ට ලබා දෙනවා.

වරක් දෙරවක් එය කියවූ සැනින් ඔහුගේ මුවින් පිටවුණා යැයි කියන වදන් පෙළක් ඇය මගේ කණේ තබනවා. 

ඒක මරු. දැක්ක ගමන් මෙලඩියක් ඔළුවට ආවා.

අන්න එලෙස මේ ගීතය වෙනත් තනු සහ සංගීත නිර්මාණයක් සමග ශානිකාගේ හඬින් ගැයෙනවා. එම ගීතය යූ ටියුබයට යොමු කළ බව මට දැණුම් දෙනවා. එය යූ ටියුබයේ හොයද්දී මෙන්න නිරෝෂා ගැයූ මට කියාගන්න බැරි වුණාට ගීතයත් මට හමුවෙනවා.

අපි ශානිකා ගැයූ ගැයූ මට කියාගන්න බැරි වුණාට ගීතයත් අසමු.


දැන් ආයෙම අප සහෘදයාගේ අදහස් වෙත යොමු වෙමු.

චිත්‍රපටියක්ම සිංදුවක් ඇතුලේ හිරවුනා වගේ.

ඒක තුලිනුත් වැගිරෙන පෙම් රස දහරාව නිමක් නෑ. 

* * *

රෝහණ ධර්මකීර්ති ගයන කුමුදිනි ගීතය මට අනුව නම් ලස්සන වචන ටිකක් වුනාට හොඳ තනුවක් නෙමෙයි. 

කුමුදිනී රුවට පිපී
නිල් විල් තලේ සඳ යහනතේ
සෙනෙහසේ සුවඳ දැනී
බමරුන් ඇදේ සඳ සිහිනයේ
හා හා කුමුදිනී

ඔය ඉලන්දාරි බමර කතා
රස රිසි ගී පද සේමයි
සිත සිහින සදාලයි
මුව සිහින් සිනිඳු කෝල සිනා
ඇස ආල නුරාවයි
හරි සාර සුබාවයි
හා හා කුමුදිනී

ඔය බාල බොළඳ චාටු කතා
හිරු දුටු පිනි බිඳු සේමයි
නෙතු කඳුළු පුරාලයි
සඳ රැසේ පිපෙන බමර සිනා
රස සිහිනෙක සේමැයි
එය සැබෑ නොවේමැයි
හා හා කුමුදිනී

ඒ වචන වලට ඊට වඩා මිහිර කවන්න තිබුනා. 

ඔහු කියන්නේ ඔහුට දැනුණු දේ. ඒ නිසා යමෙක් අප ගීතයක් ගැන තමන්ට අවංකව දැනුනු දේ කිව්වාම අපට එයට එරෙහි වෙන්නට බෑ ඒ ඔහුට දැනුනු දේ නිසා. කෙසේ වෙතත්, රෝහණ ( ධර්මකීර්ති ) අයියාගේ ඒ තනුවත් ගැයුමත් පෞද්ගලිකව මට ප්‍රියයි. මා නිතර අසන, මගේ නිර්මාණ අතුරින් වැඩි ප්‍රිය ගීතයක් එය.

කුමුදිනී රුවට පිපී ගීතය අසමු.



ඒ වගේමයි කරුණාරත්න විජේවර්ධන හදපු ප්‍රදීපා ධර්මදාස ( සමගින් කරූ ම ) ගයන අහස මමයි ගීතය. 

අහස මමයි නුඹට නිදන යහන තනනු බැරී
පොලොව මමයි නුඹට ගලන නිම්න සදනු බැරී
අහස මමයි
පොලොව මමයි

සිතිජ ඉමේ පෙම් උයනත සොඳුරු කතා බෝමා
කෝල සිනා බෝමා
උයනට ගොස් බලන කලට ලං වෙන්නේ කෝමා
නුඹට දුරයි බෝමා

නිලට නිලයි විල් වියනත රුවැති දසුන් බෝමා
ගයති විහඑඟ සේනා
රුවට රුවයි ඒ රුව යට වැසුනු කඳුළු බෝමා
හිනැහෙන්නේ කෝමා

ඔහු ඒ ගැන දරණ අදහස් වලට යළි යොමු වෙමු.

ඒක හරි ඕලාරික තනුවක්. සමාවෙන්න මේ මගේ මතය. ඒකේ වචන හරි තීව්‍රැයි. ඒ වචන වල හැඟීම රිද්මයෙන් ගැයෙන්නෙ නැහැ.

අපි අහස මමයි ගීතය අසා සිටිමු.


මෙන්න මා මුසපත් කල ගීය. 

රශ්මි ( සංගීතා ) ගයන රෝහණ වීරසිංහ හදපු සිහිනයක් දුටුවා.

සිහිනයක් දුටුවා - නුඹත් එහි සිටියා
හැඳිනගන්නට බැරි තරම් නුඹ - වෙනස් බව දැනුනා
මට සිහිනෙනුත් හැඬුනා

මේකෙ ඔබ ලියනවා මට සිහිනෙනුත් හැඬුණා කියලා. ඔව් එහෙම අඬපු අය අතරින් කෙනෙක් මම. මේ ගීතය මාව රිද්දුවා. නැවත නැවත රිද්දුවා. පියවි සිහියෙන් විඳින අසීමාන්තික චිත්ත පීඩාව විසින් හිත ඇතුලෙ කරක්ගහන හැඬුම් රැයේදි එලියට එනවා සිහිනෙන් පවා. ඔබ ප්‍රේමයේ නිම් වළලු පුළුල් කරමින් ලියපු ඒ හැඟීම ආදරණීයම රිදුමක්.

මට ඉකිගසා හැඬුණා
ඔබ එහෙත් ගී ගැයුවා
අරුමයකී එහි නුඹේ කටහඩ
නොමැති බව දැනුණා
මට සිහිනෙනුත් හැඬුණා.

මේ වචන අස්සේ මට වික්ටර්ගෙ නුඹේ නමින් මා දුක්වී ගීය මතක් වුනා. සුනිල් සර් ලියනවා

මා හැර ගිය දුකින් වෙලී
නුඹට සාප කරනු බැරී
නුඹේ නපුරු කමට කිපී
සිතේ වෛර බඳිනු බැරි 

කියලා.

එහෙම පෙම්වතෙක් ගීත සාහිත්‍යයේ හිටියට එහෙම පෙම්වතියක් හිටි බව ලියන්නේ යසේ ඔයා. 

සිහින සමග බැඳුනු ගී එමටයි. ඒ අතර මට මේ ගීය අරුමයක්.

සිහිනයක් දුටුවා - නුඹත් එහි සිටියා
හැඳිනගන්නට බැරි තරම් නුඹ - වෙනස් බව දැනුනා
මට සිහිනෙනුත් හැඬුනා

මම ඉකිගසා හැඬුවා
නුඹ එහෙත් ගී ගැයුවා
අරුමයකී එහි නුඹේ කටහඩ නොමැති බව දැනුනා
මට සිහිනෙනුත් හැඬුනා

නුඹ මලක් සේ පිපුණා
මම සිහිනයේ දුටුවා
අරුමයකි එහි නුඹේ කටහඬ
නොමැති බව දැනුනා
මට සිහිනෙනුත් හැඬුනා

පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - රෝහණ වීරසිංහ
හඬ - රශ්මි සංගීතා

අපි සිහිනයක් දුටුවා නුඹත් එහි සිටියා ගීතය අසමු.



ඒ වගේම ( ඔයාගෙ ) සුවඳ මල් රේණු ගීතයත් එහෙමයි. ඒ ගැන හුඟක් අය කතා කලා. 

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මදනල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා

සීත පිනි වතුළ සඳවත
මෝදුවී නිශා නුබ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දල පෙති
කොපුල් තලාවා


අරුණ දොරකඩින් නැග‍ එන
උදා හිරු කිරණ හදවත
පුබුදු කරාවා
නොබා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත
නුඹේ සිනාවා

පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - නවරත්න ගමගේ
හඬ - ඉමාන් පෙරේරා

සුවඳ මල් රේණු පිස එන ගීතය අසමු.


මේ සුවඳ මල් රේණු ගීතය බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. එය ඇත්තක්. ඒත් ඒ කතා බස් අස්සේ සහෝදර ගීත රචකයෙකු වන නාරද විජේසූරිය එය වින්ද ආකාරය පිළිබඳව ඇක්වූ අදහස් තමයි මගේ හිත වඩාත් පැහැර ගත්තේ. 

ඔහු ඒ පිළිබඳව දැක්වූ අදහස්හරිම රසවත්. ඔහු කොතෙක් රසවත්ව එය කිව්වේද යත්, යම් කෙනෙක් මගෙන් ඒ ගීතය ගැන ඇසුවත් මට ඒ මට්ටමට රසවත්ව යළි එය කියන්නට බෑ. ඒ නිසා මේ සටහන අස්සේ බොහෝ දෙනෙකු කතා කළ නිසා සඳහන් කිරිමකින් පමණක් නැවතුණු ඒ ගීතය ගැන නාරද කියූ අදහස් මෙහි එක් කරණවා.

https://www.youtube.com/watch?v=CMzKyZQYg3Y

වලාකුළු පෙලින් බසින්න ගීතය ඔබේ ආදර ගීතාවලියේ උත්කෘෂ්ඨය

ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ 

අඹගස් යට මල් හැලිලා
සුවඳේ බැරුවා හිඳින්න
ඒ අඹමල් සුවඳ දිගේ
වන බමරෝ රොනට එන්න 

ගීතය ගැන තැබූ තරමක් දිගු සටහනක සංවාද ස්වරූපයෙන් තැනුනු ආදර ගී ගැන උදාහරණයක් ලෙස මෙම ගීතය ගැන මෙලෙස සටහන් කර ඇත.

'මේ ලේඛකයන් යෙදූ ප්‍රියතම අලංකාරිකයක් නම් සංවාද රූප ගත්තකි. බොහෝ විට එහි ප්‍රශ්නයක් හා පිළිතුරක් ගැබ්වේ. ඒවායින් කවියා විසින් ප්‍රකාශිත වීමට අපේක්ෂා වූ අදහස එළිපිටම හෝ ව්‍යංගයෙන් පැවැසේ. [පරණවිතාන, සීගිරි ගී - වෙළුම 1, 270 පිට]'. සංස්කෘත අලංකාරිකයින්ට නොපෙනුන, අපූරු තැනෙක සිංහල ජනකවිය හා සරළ ගීය රැඳෙන බවට තවත් අපූරු උදාහරණයකි 'වලාකුළු පෙලින් බසින්න' යනුවෙන් ඇරඹෙන උයන්පල්ලා හා සඳ අතර ඇති වෙන සංවාදය. [තවත් බොහෝ කවි හා යුග ගී මේ ඇසුරින් කියැවීමට ඇරියුම් කරමි]


වළාකුළු පෙළින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මට ද ආදරේ

අසාවී මෙසේ තුන්යම
දිලී තරුකා මල්දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ
සුසුදු ආදරේ

දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුබ ගැබ
පතා ඉන්නෙමී සඳ වත
නුඹගෙ ආදරේ
නුඹට ආදරේ

අහස් ගං කුසින් බැසගෙන
මිහිමතට එම්ද කෙලෙසින
රැඳී ඉන්නෙමී සැමදින
අහස් ගං කුසේ
දෙව් ලියක් ලෙසේ

දේවදාර තුරු පාමුල
තාම මම හිඳිමි තනිවම
දිනා ගන්නෙ දෝ කෙලෙසින
නුඹගෙ ආදරේ
නැතිද ආදරේ

තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැම දින
සදා හිනැහෙමී හිඳගෙන
අහස් ගං කුසේ
නුඹට ආදරේ

මටද ආදරේ..
නුඹට ආදරේ
මටද ආදරේ..
නුඹට ආදරේ

පද: යසනාත් ධම්මික බණ්ඩාර
තනු: නවරත්න ගමගේ
හඬ: ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සහ රශ්මි සංගීතා

ගීතය අසමු.


මේ ගී වගේම ලක්ෂ්මන් විජේසකර ගයන නුඹේ නෙත් තරු යැයි  උවම් කොට ගීතය තුලත් ඔබ මතු කරන්නේ ප්‍රේමය. ඒ ප්‍රේමය නිරාමිස සුව දනවන ප්‍රේමයක්. ඒ ආලවන්ත ගැගීම් හමුවීම් වෙන්විම් ලැබීම් නොලැබීම් යන සියල්ල මත දෝලනය වන ආකාරය ඔබ දකින්නේ හරි ප්‍රේමණිය නිමුණු ඇසකින්. ඉතිං ඔබ සිංහල ගී කෙතේ ආල හැගුම් රචකයා වෙන්නේ අනවරතයෙන් යසේ අයියේ. 

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිනිගෙන දවන්නේ ...//

නුඹේ වත මලකැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද ...//
මගෙන් විමසාවී
මලක් නම් වත
ඇයිද කටු ලෙස ඇනෙන්නේ

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිනිගෙන දවන්නේ

නුඹේ සිත මෙලෙකැයි පසක් කොට
මා එදා ලියු කවි පද ම අද ...//
මගෙන් විමසාවී
මෙලෙක් නම් සිත
ඇයිද හිස වැද රිදෙන්නේ

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිනිගෙන දවන්නේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - යසනාත් ධම්මික බණ්ඩාර
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

ගීතය අසමු.
 

අනික ඒ ප්‍රේමය හරි ග්‍රාමීයයි. සේමා, අරුමෙකි, බෝමා, ඉලංදාරි බමර කතා, කෝල සිනා මේ වචන පරණයි වුනාට ගම්බදයි වුනාට හරි නැවුම් ගතියකින් ඔබේ ගීත වල යෙදෙනවා. ඉතිං ඔබට සුභ පතනවා. හැබැයි දැං ආදර ගීත ලිව්වා ඇති. ඔබේ ඒ සංකල්පනාවන් සහ ගී ආර ඉතාම වටිනවා හෙට දිනයේ බුද්ධිමත් රසික ප්‍රජාවට.
තටු සිඳී හඬන කිරිල්ලියේ ගීතය ගැන ඉතාම පුළුල්ව යමක් කිව යුතුමයි. ඒක මෙහෙමයි. 

ගුණදාස කපුගේ වෙනුවෙන් රත්න ශ්‍රී විජේසිංහ ලියපු 

ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව බර වැඩිද දෝණී
සෙනසුරුට පෙම් බඳින දෝණී

ගීතය තුල තමයි මම මුලින්ම කේන්දර කතාව ගීතයකින් අහන්නේ. ඒක දරිද්‍රතාවය කේන්ද්‍ර කරගෙන දේශපාලනික අර්ථයකින් ලියු ගීතයක් හැටියටයි මම දකින්නේ. මහාචාර්ය සුචරිත ගම්ලත් පවා "නව කවියේ චන්දෝද" කියන පොතේ සටහන් කරලා තියෙනවා. ඒ පිලිබඳ කතා කරනවා. 

ඒ ගීතයේ තම දියණිය දීග දෙන්න බැරිව ලතවෙන පියෙක් අපට මුණ ගැහෙනවා. ඒ වගේම පුන්සිරි සොයිසාගේ

ඔබ එක තැනකය
මා තව තැනකය

කියන ගීතය. 

ඒකෙත් ඉන්නවා සරල පෙම්වතෙක් හඳහන් නොගැලපෙන විවාහයක් වෙනුවෙන් අරගල කරන. මේ ගීත දෙක අන්ත දෙකක්.
මේ අන්ත දෙක මැද රැඳෙන ගීතයක් තමයි තටු සිඳුනු කිරිල්ලි ගීතය.

තටු බිඳී හඬන කිරිල්ලියේ
නුඹ ළඟ තනියට
උණු කඳුළු බිංදු විතරක් නොව
ළයට තුරුළු වෙන
සිත රිදී හඬයි කුරුල්ලෙකුත්
නුඹ ගැන සිහි කරන

රජ වෙලා නීච ග්‍රහයන්
කොටු කේන්දරේ මැද
ගෙන එනා අපල බියකරු
සෙනෙහසට නපුරු වුණ
බැස ගිහින් සිකුරු තරුව හොරෙන්
පෙමත් උදුරගෙන

පැලහිලා දිලෙන වැලි කැට
මරු කතරකි හදවත
දුක දරා පිපෙන බිම්මල්
පොඩි කරන්නෙ කොහොමද
සුරඟනාවියන්වත් ඇවිදින්
කඳුළු පිසීවිද.......

පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - ආනන්ද පෙරේරා
හඬ - දයාන් විතාරණ

 
මේ තුල ඔබ සරල පෙම්වතෙක්ගෙන් ඉවත් වෙනවා. ඒ ගීතය ගයන පෙම්වතා ඉතාම ස්නේහයෙන් ඔහු මුහුණ දෙන සිදුවීම විඳ දරාගන්නවා. මම මේ ගීතය තුල අර පෙර කී කෝඩුකාර ආල හැඟුම් රචකයා වෙනුවට ඉතාම පරිණත රචකයෙක් දකිනවා. අන්න ඒ රචකයා වඩා වැඩියෙන් ඉස්මතු විය යුතුයි. මගේ මතය අනුව. 

යසනාත් ධම්මික බණ්ඩාරගේ ගීත සියල්ලම ආදරයෙන් පිරිලා. අන්න ඒ ගුණයම රඳවගෙන මේ ගීතය ඔබ වෙනස් මානයක රඳවනවා. ඔබ තවමත් තරුණ නිසාම වෙන්න ඇති මේ ආදර ගීතම ලියවෙන්නේ. ඒත් ගේහසිත ජීවිතය, දරිද්‍රතාවය, හුදෙකලාව, කුටුම්භ ජීවිතයේ යම් යම් මානයන් ඔබ අතින් ලියැවෙනවානම් එය වඩා වෙනස් නවමු අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා
.
යසනාත් ගැන සිංහල ගීතය තුල වෙනම ඉඩක් තිබිය යුතුයි. ඒ වගේම ඔබේ වචන වලට වඩා සාධාරණ ජීව ගුණය දිපු සංගීතඥයන් ලෙස මා හඳුනා ගන්නේ රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, ආනන්ද හා තිස්සසිරි පෙරේරා යන අයයි. මෙකී සටහන ඔබේ ගීත වලින් කුල්මත්ව තැබු සටහනක් මිස විදග්ධ විචාරයක් නොවේ. මාගේ මතයයි. වරදක් ඇත්නම් කමා කරත්වා.

යසේ අයියේ. බුදු සරණයි
-      Kasun Prabath Smkp   -
-       
මගේ ගීත කිහිපයක් ගැන, Kasun Prabath Smkp ( Prabhath Senarathne ) නම් සොහොයුරෙක් තැබූ ඉහත ලියූ සටහන මට හමු වූයේ ඔහුගේ ෆේස්බුක් පිටුවෙනි.

මා ඔහුට කෘතඥ විය යුතුය.
ඒකට හේතු කිහිපයකි.

මම දැන් ගීත ලියන්න පටන් අරගෙන සෑහෙන කාලයකි.
වසර 25ක් විතර ඇත. 

ඒ කාලය තුළ මගේ යම් යම් ගීත ගැන යම් යම් අය අදහස් දක්වා තිබේ. නමුත් ගීත කිහිපයක් එක්ව ගෙන මේ තරම් විඳිමින් අදහස් දැක්වූ කෙනෙක් ගැන මගේ මතකයේ නැත.

ඒ එදා සිට ඊයේ දක්වා ලියා තිබූ සටහන් වලින් බොහෝමයක් සටහන් යම් පුවත්පතකට හරි වැඩසටහනකට හරි ලිව යුතුම වූ බැවින් ලියූ ඒවා. 

ඒ අතුරින් අතලොස්සකින් පමණක් ගීතයක හෝ කිහිපයක් සැබැවින්ම විඳ අවසන්ව ලියූ ඒවාය.

එහෙත් බොහෝ අදහස් එසේ විඳ අවසන්ව දැක්වූ අදහස් ම සේ මට හැඟුනේ නැත. ඒවා යම් මතුපිට ස්වරූපයක් ගත් ඒවාය. හදිසියේ වරක් දෙවරක් ගීතය අසා, පද රචනය කියවා කළ සටහන් සේ හැඟුන එවාය.  

නමුත්, කසුන් මේ ගී ගැන අදහස් දක්වා තිබෙන්නේ, කාගේ හෝ ඇරියුමක් මත නොවේ. තමන්ට දැණුනු දේ මත ඔහු සිතට ඔහු සිතම කළ බලපෑම නිසාවෙනි. ඒ නිසා ඒ සටහන මට බොහෝ වටී.

යම් නිර්මාණකරුවෙක් සිය නිර්මාණ ගැන තමන් ඒ නිර්මාණය කළ හැඟීමට සමීප හැඟීමක්ම සහිත රසිකයෙකුගේ අදහස් දැක්වීමකට සංවේදී වෙනවා. එය ඔහුට හෘදයංගමයි. වෙනත් සටහනක් ඔහුට වැදගත් වෙන්නේ යම් ප්‍රචාරකවාදී හේතුවක් මත පමණයි කියාය මට හිතෙන්නේ. ඒක දැනෙන්නේ හදවතට මෙහා යම් කිසි තැනකටය. එහෙත් මෙවැනි සටහනක් දැනෙන්නේ හදවත තුළම යම් තැනකටය.

ඊ ළඟට බොහෝ ප්‍රවීනයෙක් පවා, මගේ වැඩියෙන් ඇසුනු ගීයක් දෙකක් තුනක් ගැන මිස, අන් ගීයක් ගැන කතා කරණු මා දැක නැත. එවිට මා ලෝකයා ඉදිරියේ අර ගීත දෙක තුන ම මිස මා වෙනත් ගී ලියා නැතුවා සේ ය. 

එහෙම වටපිටාවකය ඔහුගේ මේ සටහන ලියවෙනුයේ.

ඇත්තටම මගේ ගී ගැන ඒ ගී විඳිමින් කතා කර ඇත්තේ අඩුවෙනි. කතාවෙනවා ද අඩුය. නමුත් මෙවන් අදහස් නිසාවෙන් එසේ කතා නොකර විසිකර දමන්නට බැරි නිර්මාණ කිහිපයක් වත් මමත් කර තිබෙනවාය කියා මට හිතේ.

ඒක මට අවංකව හිතෙන දෙයකි. දැනෙන දෙයකි.

ඔහුගේ සටහනට පසුව, මගේ මේ කෙටි සටහන දිගු කිරීමට අවැසි නැතැයි මට සිතේ
සැබෑවටම විඳි, විඳුම මත ලියූ, මේ සටහන ගැන මම සතුටට පත්ව සිටිමි. ඒ නිසාම බොහෝ සේ ස්තුතිවන්ත ද වෙමි. 



-      යසනාත් ධම්මික බණ්ඩාර    -

1 comment:

  1. ඔබට ජය පතමි ලස්සන අදහස් දිග හැරීමක්

    ReplyDelete