Thursday, August 18, 2016

ඔබේ සිතත්, මගේ සිතත්, දෙකම එකක් කළ අපට රහස් නැත.....







පසුගිය සටහනින් පොරොන්දු වූ පරිදි අද ලියන්නේ ද බණ්ඩාර ගැනය. නැත. බණ්ඩාර ගේ ගී ගැනය.

මේ බණ්ඩාර කවුරුන්දැයි ඔබට මතක ඇත. පෙර සටහන නොකියවූ කෙනෙක් වේ නම් ඒ පැත්තට ගොඩ වී ආවොත් මැනැවැයි සිතේ. පහතින් එහි පිවිසුම සඳහන් කරණුයේ එබැවිනි.


මේ බණාඩාර ගේ සැබෑ නාමය වන්නේ සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජයතුංග යන්නය. එය පසුව බණ්ඩාර කේ. විජයතුංග ලෙසින් කෙටි කොට ගත්තේ ඒ දිගු නම ය. බණ්ඩාර කේ. විජයතුංග, බණ්ඩාර විජයතුංග, ආනන්ද කේ. විජයතුංග ආදී නම් වලින්ද තමන්ව හඳුන්වා ඇත. එබැවින් ඔහු ලියූ සමහර ගී ඉදිරියේ, මේ නම් භාවිතා වන අවස්ථා මා දැක ඇත.



1939 ජනවාරි 28 දින ඔහු උපත ලද්දේ විජේතුංග මුදියන්සේලාගේ පුංචි බණ්ඩා විජේතුංග සහ හේරත් මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ හේරත් යන මවු පිය දෙපළට දාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, වෑ උඩ කෝරළයේ, පල්ලේගම, වැලිගන්වත්තේදීය. 

මූලික අධ්‍යාපනය බදුල්ලේ සාන්ත බීඩ් විද්‍යාලයෙන් ලද ඔහු අනතුරුව පිවිසියේ කොළඹ ආනන්ද විද්‍යාලයටය. ආනන්දය බණ්ඩාර විද්‍යා විෂයයන්ට දක්ෂ සිසුවෙකු කළා සේම බණ්ඩාර සතුව තිබූ විවිධ කලා හැකියාවන්ද ඔප මට්ටම් කළේය. 


තෝරා ගැනීම බණ්ඩාර සතු අයිතියක් විය. විද්‍යා විෂයයන් ඔස්සේ මතු නොව කලා විෂයයන් ඔස්සේ හෝ සෛද්ධාන්තික ඉහළ අධ්‍යාපනයකට යොමු වෙනවාට වඩා, විවිධ කලා ක්ෂේත්‍රයන්හි විවිධ භූමිකා නියෝජනය කරමින් කලා කෙත සිය ප්‍රායෝගිකත්වයේ සරසවිය කරගන්නටය ඔහු තිරණය කරුණු ලබන්නේ. එතැන් සිටය ඔහු ඒ විවිධ භූමිකාවන්ට පණ දෙන්නේ. 

ඔහුගේ ඉහළම ප්‍රතිභානය පෙන්වන්නේ කවරෙකු විලසින්ද යන්න මට තවමත් ගැටළුවකි. ඒ නිවේදක වෘත්තියෙන්ද? ප්‍රචාරක වෘත්තියෙන්ද? නැති නම් ගීත රචකයෙකු විලසින්ද? වඩා වටින්නේ කුමකින් වුවද, මට ඔහු වඩා දැනෙන්නේ ගීත රචකයෙකු විලසිනි.
 
බණ්ඩාර කේ. විජයතුංගයන්ගේ ගීත ගැන කතා කිරීමේදී ඒවා තුළ හඳුනා ගත හැකි යම් යම් විෂය ධාරාවන් වෙයි. ප්‍රේමය පිළිබඳ සරල සුන්දර දැක්ම, එහිම ගැඹුරු දැක්ම සහ ප්‍රේමයේ ඵල නෙළන කල දැනෙන එහි මිහිර මතු නොව තිත්ත, ඇඹුුල ආදිය ගැන ගැඹුරින් දුටු අයුරද හඳුනා ගත හැකි වෙයි. දැන් වෑයම ඒ අවස්ථාවන් සනිටුහන් වන ගී විමසීමයි.

කෙසේ වෙතත්, ඔහුගේ ගී පද රචනා විමිසීමේදී අපට වඩාත් හඳුනා ගත හැක්කේ මා ඉහත සුළු බෙදුම් අතරින් අවසනටම පැවසූ ප්‍රේමයේ ඵල නෙළන කල දැනෙන එහි මිහිර මතු නොව තිත්ත, ඇඹුුල ආදිය ගැන ගැඹුරින් දුටු අයුර සඳහන් වන ගීතයන්ය. එහෙත් ඊට පෙර එහිම වෙනත් ස්වරූපයන් ඔහුගේ පන්හිඳෙන් ලියැවුණු අයුරු බලා සිටිමු.

මහද පෙව් විලේ - නිබඳ නුරා රැගුම් රඟා
සුසුම් රැළි නඟාලා - පොපියන පියුම් පිය ලඳේ

මෙය විසල් ගීතයකි. එය විසල් වන්නේ වදන් වලින් නොව්. විශේෂයෙන්ම එහි තනුව සහ ගැයුම හේතුවෙනි. එ් පිළිබඳව සංගීතඥයා සහ ගායකයා වෙසෙසින් පැසසිය යුතුම ය.

එයින් අදහස් කරණුයේ රචකයා පැසසිය යුතු නොවේ යන්නද? කිසි සේත්ම නැත. මෙහි සරල ආර දකින්නේ වදන් වෙනම ගත් කල ය. ගීතය තුළ රැඳෙද්දී එහි සරල බව ප්‍රකට නොවේ. මේ විසල් තනුව ඉල්ලන්නේ ඒ ඔහු ලියූ වදන් රටාවෙනි. එබැවින් රචකයා කිසි සේත් දෙවෙනි තැනට ඇද දැමිය නොහැකි වෙයි.

සසර සැරි සරා - යුගෙන් යුගේ උපත් ලබා
නිතොර ඔබ පතාලා - දෙව් දුනු දෙබැම ඔබ නැගේ

ගීතය ලියැවුණු රටාව සරල වුව, එය හදිසියේ දැක හදිසියේ බැඳි පෙමක් ගැන නම් නොවේ. සංසාරය පුරා සරමින්, සරනතර හමුවෙමින් බැඳුනු එකකි එය.

නයන යුග ඔබේ - දිළෙන මැණික් විලස දිසේ
නළල් සඳ නවාලා - දෙව් දුනු දෙබැම ඔප නැගේ

ආදරියක වනන මේ වදන්, යෙදුම් සරල මුත් ව්‍යක්තය. රසය. අපුලක් ගෙන නොදෙයි. ඒ වදන්, යෙදුම් මත උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් ශික්ෂණය ලත් 


මහාචාර්ය, සංගීත නිපුන්, සනත් නන්දසිරි  
විසින් අතුරා ඇති සංගීත රටාවන් සිය සංගීත දැණුම තරම් සංකීර්ණ නොවෙයි. එහෙත් එයින්, ගීතය වෙසෙස්, සුන්දර, සේම මා පෙර කියූ ලෙස විසල් එකක් බවට පත් කරයි. තමන්ම සුන්දර කළ ඒ සංගීත රටාවන්ට අනුගත වෙන තමන්ගේම හඬ පෞරුෂය එය මහා රසභාවයන් සහිත ගීතයක් බවට පත් කර ඇති අයුර විශ්මිතය.

ගීතය අසා එහි සොඳුරු බව විඳගන්න.



මේ ගීතයත් සමගම මගේ මතකය කළඹන්නේ බණ්ඩාර කේ. විජයතුංගයන් ලියූ, මහාචාර්ය, සංගීත නිපුන්, සනත් නන්දසිරි සංගීතඥයා අතින් හැඩවුණු තවත් ගීතයක් වෙතය. එම ගීතය ගයා ඇත්තේ ගායන ශිල්පී, 


මහාචාර්ය, සංගීත නිපුන්, සනත් නන්දසිරි 
වීමද විශේෂත්වයකි. විශේෂත්වය වන්නේ ඔහු ගීතය ගැයීම නොවේ. ඔහුගේ ගැයුමය. ඔහුගේ එම ගැයුම සමහර රසිකයින්ගේ චිත්ත සන්තානය පහුරු ගාන, පහුරු ගා අතීත මතකස්ථාන මතු කරණ, මතු කර රිදවන, හැඟුම් බර ගීයක් බවට පත් කරයි.

දිනෙන් දින ඔබ මා වෙතින්
දුරස් වන විට මගේ මනස ට
තවත් ළං වනු පමණකිය ඔබ
දිනෙන් දින ඔබ මා වෙතින්

මේ ගීතය අමතක කාටද? මේ ගීතය නොරිසි කාටද? මේ ගීතය අසා රිදුම් නොදෙන්නේ කාටද? 

ඈ තාම වෙන්ව ගොස් නැත. එහෙත් ඈ වෙන් වන්නට ඔන්න මෙන්න බව ඔහු වටහාගෙන සිටී. ඈ දිනෙන් දින, ටිකින් ටික ඔහුගෙන් දුරස් වෙයි. 

සැනෙන් දුරස් නොවී, ටිකෙන් ටික දුරස් වන්නේ ඇයිද යන්න විමසා බැලීම වටී. ඔහු පෙම අනවැසි වුව ඇයට, ඈ පෙම ඔහුට කොතෙක් අවැසිව තිබුණේද යන්න ඈ දන්නා නිසා විය හැකිය. මේ සිතුවිලි සමුදාය වචන වලින් මනාව ගොනු කොට ඇත්තා සේම රිද්ම තුළින් ස්වර තුළින් තවත් මනාකොට නිමවන්නට සංගීතඥයා දරා ඇත්තේ කිනම් වෑයමක්ද? ඒ ගැන මා දෙන පිලිතුරට වඩා එතුමන්ගේම අදහස් පළ කිරීම වඩා සුදුසු යැයි හඟිමි. එහෙත් ඊට පෙර එහි ඉතිරි පද මෙතැන අමුණමි.

රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ
බිහිරි වී ඇත මගේ දෙසවන
රැයෙහි තරු මල් කිනිති නොපෙනේ
අන්ධ වී ඇත මගේ දෙනයන
දිනෙන් දින ඔබ මා වෙතින්...

මලානික හද විලේ ඉවුරේ
ඔබේ පියවර ලකුණු අහුරකි
මිලින කුසුමෙක කඳුළු මල් පිනි
ඔබෙන් නො හැළෙන කඳුළු බිඳු වැනි
දිනෙන් දින ඔබ මා වෙතින්...

ඔබේ හසරැල් සිහින අතරේ
යළිත් මා මන පුබුදු වන්නට
සතුටු සයුරෙන් නැඟෙන සිරිකත
විලස මා වෙත නැවත එනු මැන
දිනෙන් දින ඔබ මා වෙතින්...

ආදරයේ විරහව ඉතා දැඩිව දනවන මේ පදමාලාව මගේ හිත සසල කළ එකක්. ඒ මගෙත් තරුණ කාලයේ මේ ආදරයේ වියෝගය හොඳින් අත්විඳලා තිබුණු නිසා. ඉතින් මේ පදවැල අතට ගත්තම මගේ හදවතට හොඳින් දැනුණා.

මේ ගීතය මටම ලීවාදෝ කියලත් විටෙක සිතුණා. රචකයාත් මාත් හොඳ සමීප මිතුරන්. ඒ නිසා ගී පබැඳුමත් මට මිතුරෙක් වගේ වුණා. මගේ හදවතට සමීපව පැවැති විරහව, ඒ සංවේදනාව ඇසුරු කරමින්ම මා ඊට ඉතා ගැඹුරු මිහිරි තනුවක් යෙදුවා.

මගේ ගීතවලට ඒ කාලේ හොඳ රසික පිරිසක් හිටියා. අදත් මේ වගේ ගීත ශ‍්‍රාවකයන් අතර රැඳෙන්නෙ එවන් බුද්ධිමත් රසික පිරිසක් ඒ කාලෙ සිටිය නිසයි. අද වගේ යුගයක මේ ගීතය ගැයුවා නම් උසස් ශ‍්‍රාවක ප‍්‍රතිචාරයක් ඊට ලැබෙන්නේ නැහැ.

‘දිනෙන් දින ඔබ මා වෙතින්’ වැනි ගීත අප කෙරෙන් නිර්මාණය වුණේ සිංහල සංගීතයේ හොඳ යුගයකයි.

මේ ගීතයෙ තනුවට සංගීත කොටස් තුනක් මා යෙදුවා. ස්ථායි කොටසට එක තනුවක්. අන්තරා කොටස්වලට තනු වෙනස් විදිහටයි මා යෙදුවේ. මා ඒ විදියට නිර්මාණයක් කළේ මෙහි එන අදහසට අනුවයි.

‘රුදුරු රළ පෙළ හඬක් නොනැඟේ” කියන ගී කොටසේ තාලය එකක්. අනික් අන්තරා කොටස් ගැයෙන්නේ ඊට වෙනස් තනුවලට. සමස්ත ගීතයේම ස්වර රචනාව දෙස බැලීමේ දී “ඛමාජ් මේලගත ගොරක් කල්‍යාණ” රාගයේ ඡායාව ගීතය පුරාම විසිර ඇති අයුරු දක්නට ලැබෙනවා.

විශේෂයෙන් දිනෙන් දින මා ඔබ වෙතින් යනුවෙන් ගැයෙන ස්ථායි කොටසේ අල්ප වශයෙන් ශුද්ධ ගාන්ධාරය යෙදී තිබෙනවා. ගීතයේ දෙවන අන්තරා කොටස වන “මලානික හදවිලේ ඉවුරේ” යන පද සලකා බලන විට එහි කෝමල රිෂභයේ ප‍්‍රයෝගය ද සිදුවී තිබෙනවා. එහෙයින් සුළු වශයෙන් ‘අහීර් භෛරව‘ රාගයේ ඡායාව ද දකින්නට පුළුවන්. එහිම ‘මිලින කුසුමක’ යන පදවල ස්වර රචනයෙහි ‘භෛරව රාගයේ ඡායාව ද මතු වෙනවා.

මෙලෙසින් බලන කල මේ ගීතයේ ගායනාව හා සංගීතය රාග කීපයක සංකලනයෙන් යුක්තයි. එහෙත් සමස්ත ගීතය ඇසුරේ වඩාත්ම උද්දීපනය වන්නේ පෙර කී පරිදි ‘ඛමාජ් මේලගත ගොරක් කල්‍යාණ රාගය බව කිය යුතුයි.

මේ සියලු ප‍්‍රයෝග මා මීට ඇතුළු කළේ ගීතයේ පද රචනාවෙන් මතුවන විරහව හොඳින් උද්දීපනය කොට දක්වන්නයි.

එමෙන්ම සංගීත භාණ්ඩ මා යොදා ගත්තේ ද ඒ අනුවයි. විශේෂයෙන්ම සිතාරය මෙහිදී උපයෝගී කරගෙන තියෙනවා. අතුරු සංගීත ඛණ්ඩවලින් ද වැඩියෙන් මතු කළේ විරහ වේදනාවේ අයුර දනවන ස්වර සංයුතියක්.
-      මහාචාර්ය, සංගීත නිපුන්, සනත් නන්දසිරි   ගේ අදහසකි. - -

මෙවන් අදහසකින් අනතුරුව ඒ ගීතය ගැන තවත් වදන් ඇමිණීම මවිසින් නොකටයුත්තකැයි සිතන බැවින් ගීතය ඇසීම මැනැවැයි සිතමි.



මේ අතර යළිත් සිහියට නැඟෙන්නේ අර දෙදෙනාගේම ගීයකි. ඒ කියන්නේ බණ්ඩාර කේ විජයතුංග ලියූ සනත් නන්දසිරි සංගීතඥයාගේ සංගීතයට, සනත් නන්දසිරි ගායකයා විසින් ගැයූ ගීයකි. එයද හරිම සුන්දර ගීයකි. ඒ මෙතෙකැයි කිව නොහැක්කේ අද එය අසන විට නොවේ. එදා අප එය ඇසූ විට දැනුනු දේ යළි මතකයට නැඟෙන විටය.

කිසිවක් නොකියන කිසිවක් නොඅසන
මුනිවත රකිනා ළඳුනි පබා
කල්පිතයක් මැද තනිවූ පමණින්
මුවගුළු ලාගෙන හිදිනු එපා

බණ්ඩාර කේ. විජයතුංග ගේ බොහෝ ගීතයන්හි, ප්‍රේමයෙහි සහ යුග දිවියෙහි ඇති වන විවිධ හැල හැප්පීම් අඩංගුව ඇත. මෙහි ඇත්තේ එවන් යම් හැල හැප්පීමක් පිළිබඳව ප්‍රේමයෙන් බැඳුනු දෙදෙනෙකු අතර වන කතා බහකි. ඇත්තටම කතා බහක්ම නොවේ. විමසුමකි. එසේ කියනුයේ, ඈ මුනිවත රකින බව ගීයෙහිම කියන බැවිනි. ඇය මුනිවත රකින්නේ කුමක් නිසාද? යම් කල්පිතයකින් ගොඩ ඒමට ඈ තනිව උත්සාහ කරණ බැවිනි. එහෙත් සමහර ගැටළු ඈට එලෙස තනිව විසඳා ගැන්මට බැරි වග ඔහු දනී. මුවගුළු ලා ගෙන හිඳුනු එපා යැයි පවසන්නේ එබැවිනි.

කියා ගන්න බැරි දහසක් දේ ඇත ජීවිතයට
සිතාගන්න බැරි දහසක් දේ ඇත ඔබ අප වට
ඉඳුනිල් ලෙලැසිය
ඔබේ සිතත් - මගේ සිතත්
දෙකම එකක් කළ අපට රහස් නැත
මුවඟුළු ලාගෙන හිඳිනු එපා

මෙහි අරුත් ලිහා ලියන්නට දෙයක් නැත. ලියා ඇත්තේම අරුත ලිහාය. එහෙත් ඒ ගැන  කීමට වෙනත් දෙයක් ඇත. මේ ගීතයේ එන 

ඔබේ සිතත් - මගේ සිතත්
දෙකම එකක් කළ අපට රහස් නැත
මුවඟුළු ලාගෙන හිඳිනු එපා

යන කොටස දොඩන්න දහසක් දේ ඇතිව කිසිවක් නොදොඩන කුමාරියකට පෙම් බැඳි ප්‍රේමවන්තයෙකුගේ චිත්ත සන්තානයේ ඇති චංචල බව පෙන්වන අවස්ථාවකි. මේ චංචල බව විඳි අයෙකුට එය වඩාත් දැනෙනු නිසැක බව මට සහතික ය.

තනි වුණු මොහොතක කුණාටුවක් මැද සාගරයක
එක් වුණු මොහොතක තරු වියනක් යට මල් යායක
එනමුදු කුමුදුනියේ
ඔබේ සිතත් - මගේ සිතත්
දෙකම එකක් කළ අපට රහස් නැත
මුවඟුළු ලාගෙන හිඳිනු එපා

ඈට මුවඟුළු ලාගෙන හිඳින්නට ඉඩ දී. අපි, ඈට මුවගුළු ලාගෙන නොසිටින ලෙස අයදින ගීතය අසමු. 



බණ්ඩාර කේ. විජයතුංග ගී මතකය තුළ යළි කිමිදෙන්නට, යළිත් එන තෙක්,
-      






-    යසනාත් ධම්මික බණ්ඩාර   -

Saturday, August 6, 2016

මිලින කුසුමෙක මිලින සිහිනෙක මගේ සිහියද සැඟව ගත් කල....





කතාකළ යුත්තේ ඔහු ගැනය. එහෙත් කතා කරන්නේ කවි ගැනය. කවි වලිනුත් කෙටි කවි ගැනය.

අප මේ කෙටි කවි ලෙස හඳුන්වන ආකාරයේ කෙටි කවි සම්ප්‍රදායක් ජපානයෙහි ඇත. ඒවා හයිකු නම් වේ. හයිකු සැබැවින්ම හයිකුවක් වන්නේ ජපන් බසින්ම ලියැවුණ විටය. එය අන් බසකින් අරුත් ගැන්වූ විට හයිකුවක් නොවේ. එහි අරුත නම් හයිකුවක් ලිවීමේදී එය යම් රීතියකට අනුව ලියැවෙන බවයි. 

එහි එන පේලි සංඛ්‍යාව, ආකෘතිය, දරණ අදහස් ඈ දේ වලින් විශේෂත්වයක් දක්වයි. අන් බසකට පරිවර්තනය කළ විට එහි ඒ රීතීන් අඩංගු කළ නොහැකි වෙයි. නමුත් අර්ථය නම් එම බසට පෙරලිය හැකි වෙයි.

ඒ නිසා ලංකාවේ පබඳින මේ කෙටි කවි හයිකු ලෙස හැඳින්විය නොහැකි වෙයි. නමුත් සමහර විට ඒවා බිහිවීමට ජපන් හයිකු ඉවහල් වෙන්නට ඇත.

මේ බලන්න ඉන් එකක්.

මදුරුවෝ
නොතකති
හයිකු කවි
හපා කයි
යටිපතුල්.....

ඒ, 



ආරියවංශ රණවීරයන් කිවිඳුන් 
ලියූ කෙටි කවියකි. රණවීර කිවිඳුන් මෙවැනි කෙටි කවි රැසක් ලියා ඇත. මා ඔහුගේ එවැනි කෙටි කවි වලට බෙහෙවින් ප්‍රිය කළ බව සඳහන් කළ යුතුමය.

ඔහුගේ තවත් කෙටි කවියක් මෙහි ලියන්නට ඇත් නම් මැනැවැයි සිතේ. එහෙත් මේ කෙටි කවි ගැන සටහනක් නොවන බව ඒ හා සමඟම මතකයට නැඟේ. එබැවින් තවත් කවියෙකුගේ කෙටි කවියක් දෙසට හැරෙමි.

දැලි පිහියක් තබා
තුරුපතක බෙල්ලට
කෑ ගහනවා සුළඟ
”දෙනවද නැද්ද පිනිබිඳ...“

මේ කවිය මෙවන් කවි වලට බුහුටි සම්මාන ලාභී තරුණ කවියෙකුගෙනි. ඔහු නම්,  

 රුවන් බන්දුජීව  
ය.  
රුවන් බන්දුජීව කවියා සතුව මෙවන් කෙටි කවි රැසක් ඇත. ඔහුගේ ඒ කෙටි කවි බොහෝමයක මහත් උත්ප්‍රාසයක් ගැබ්ව පවතී.

මේ රුවන් බන්දුජීව කවියාගේ එවන් තවත් කවකි.

ඇළ හොඳින් හැඳ පැළඳ
ඇවිද යයි කුඹුරු මැද

වැව අරෙහෙ නිදි නැතුව
මේ ඇඳුම් මහපු බව
කිසිම වී කරලකට
ඇළ තවම කියා නැත

රුවන් බන්දුජීව ගේ කෙටි කවි මෙතැනින් නවතම්ද? නැති නම් තවත් එකක් දෙයක් කියම්ද? ඔහු ගැන වෙනම සටහනක් ලිවිය යුතුය. එහෙත් එසේ ලියනා දවස තව ටිකක් ඉදිරියට විය හැකි වන බැවින්, තවත් එකක් දෙකක් ලියා තබමි. වැඩි විස්තර කතා නොකරමි.

තැනිතලා බිම් සිසාරා යන
බැල්මකින් ඇස් දෙක පුරෝගෙන
තනිව මුමුණන ශේෂ කඳු වෙති
වළාකුළු ගැන තැකීමක් නැති

මසිත පැහැරගත් ඔහුගේ තවත් එවන් තවක් මෙසේය.


කවුරු මොනවා කීවත්

පතුල නොපෙනෙන
පාළු ළිං වැළඳගෙන
දෝංකාරය විඳ දරාගෙන
සිනාසෙනවා - මීවන ..



කලක් මෙකී කෙටි කවි වටා ලොකු රසික පිරිසක් ගොනුව සිටියහ. එහෙත් සමහර ප්‍රවීන කවියන් සහ විචාරකයන් මේ කවිදෙස බැළුවේ අන් බැල්මකිනි. ඔවුන්ගේ අදහස වූයේ මේවා කවි නොවේ, වාගාලාපයන්ය, වැනි එකකි.

මේවා කවිමයැයි මම තර්ක නොකරමි. වාගාලාප යන නාමය ඒවාට දුන්නා වුව මට නම් කම් නැත. එහෙත්, මෙවන් කෙටි වචන සැරසුමක ගැබ්ව ඇති අදහසේ ප්‍රබලත්වය සහ සමහර විට මතුකරණු ලබන උත්ප්‍රාසය මුසු රසය ඉන් අවතක්සේරුවට ලක් කළ නොහැකිය.

මෙවන් කවි ලියූ ඒ කවිවලටම ප්‍රසිද්ධිය ලැබූ කවියන් කිහිප දෙනෙකි. නම් වශයෙන් නොකියමි. අපද වරින් වර එවන් කවි යැයි හඳුන්වාගත් දේ ලියා ඇත. ඒ කුමක් දැයි උදාහරණ පිණිස මා ලියූ එවැන්නක් දෙකක් මෙහි ලියමි.

කැමරාකරුවාගේ පෙම්වතිය

දුර සේයා කාචයෙන් මා දකින
ප්‍රතිබිම්බයක් වගේ නුඹ
පෙනුනාට බොහෝ සේ ළං වෙලා
අනේ නුඹ කොයි තරම් ඈතකද?

අරුත ලිහන්නට නොයමි. එහෙත් දුර සේයා කාචය පිළිබඳව යම් තාක්ෂනික කරුණක් ඉදිරිපත් කරමි. එවිට අරුත තවත් පැහැදිලිය.

ඡායාරූපකරණයෙහිදී දුර සේයා කාචය භාවිතා කරනුයේ ඈත තිබෙන දෙයක් ළඟින් ඇත්තාක් සේ පෙනෙන ලෙසින් ඡායාරූපය ගන්නටය. එවිට ඒ ප්‍රතිභිම්බය අපට ළං වුවද, සත්‍ය වශයෙන්ම ඒ ළඟ සේ දකින වස්තුව ඇත්තේ ඈතමය.

එවන් මවිසින් ලියන්නට යෙදුණු තවත් කවියක් මට මතක් වෙයි. එහි මාතෘකාව වූයේ ඇය යන්නය. ඇය යන චරිතයට ගැලපෙන කෙනෙක් එකල මා දැන හැඳින සිටියේය.

ඇය

අනේ,
අත්තටු නොමැති නුඹ
අත්දෙකින් ඉගිලෙන්න හදන
දුර.....

ඉතින් අපේ කෙටි කවි ගැන කතා කිරීම නවත්වමි. ඔහු ගැන කතා කළ යුතු බැවිනි. ඔහු ගැන කතා කරන්නට යන විටද මුළින්ම සිහි වන්නේ කෙටි කවියකි.

ඔහු කවියෙකි. ගීත රචකයෙකි. චිත්‍රශිල්පියෙකි. නිවේදකයෙකි. රසවතෙකි.
ඒ ඔහු කවුද?

ඔහු ලියූ කවි අතුරින්, එක් කෙටි කවියක් මෙහි ලියමි.

මමයි දුම්රිය
ඇයි ඔබ පිපුණේ
රේල් පීලි මත......

මේ කව අයිති බණ්ඩාර කෙනෙකුටය. ඒ බණ්ඩාර කෝ?

ඒ බණ්ඩාර කයින් අප හැර ගොසිනි. ඒ 1990වෙහි ජනවාරි මස ඇරඹුමත් සමගය. එහෙත් ඒ බණ්ඩාර අප අතරම සිටී. කවි විලසින්, ගී විලසින් සිටී.

මේ, ඒ බණ්ඩාර ලියූ තවත් කෙටි කවකි.

ඊට පස්සෙ කීවා ඔබ
පිස්සුද ඔයාට...?
ඔබෙ වදන සැබෑ බව
අදත් මම පිලිගනිමි
නමුත් ඔබ නොදන්නෙහි
මගේ ඒ පිස්සුවට
මුල් වුණේ ඔබම බව

මේ බණ්ඩාර කොයි බණ්ඩාර ද? ඔහු නම්  

 බණ්ඩාර කේ. විජයතුංග  
ය.

බණ්ඩාර කේ. විජයතුංග යනු වෙසෙස් හැකියාවන් සහිත නිර්මාණකරුවෙකි. ඔහු කවියෙකු ගීත රචකයෙකු වෙනවාට අමතරව දක්ෂ චිත්‍ර ශිල්පියෙකුද විය. ඒ හැකියාව අනුව ඔහු පොත් කවර නිර්මාණ කලාවේද පිටු සැකසුම් කලාවේද නිරත විය. එහෙත්, නිරන්තර අධ්‍යයනයෙන් සහ අභ්‍යාසයෙන් සිය චිත්‍රණ හැකියාව වඩා ගැනීමට ඔහු උත්සුක නොවූ හැඩයකි. 

ඊ ළඟට ඔහුගේ කවියයි. කවියෙකු වශයෙන් වුව, ඔහු එහි දිගින් දිගටම සිටින්නට උත්සාහ දරා නොමැති බව අපට කියා පාන්නේ 1963 නෙත් දහස නමින් සිය මංගල කාව්‍ය සංග්‍රහය නිකුත් කිරීමෙන් අනතුරුව වෙනත් කාව්‍ය සංග්‍රහයක් නිකුත් කර නොමැති බැවිනි. එබැවින් ඊ ළඟට අප කතා කළ යුත්තේ ඔහු විසින් රචිත ගී පද ගැනය. එහෙත් ඊට පෙර, ඔහු වෙසෙස් ගුවන් විදුලි නිවේදකයෙක් වූ බවද කිව යුතුමය.

බණ්ඩාර කේ. විජයතුංග ගේ ගී පද රචනාවන් අතිශයින් විවිධය. විචිත්‍රය. එය සමහර එවන් රචකයින් තුළ දක්නට නොලැබෙන තරම්ය. මේ ගී  සරලම ගීතයක සිට ගැඹුරු අරුත් දනවන ගීත දක්වා විහිද යයි.

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මේ ගීතය  



සුනිල් එදිරිසිංහයන්ගේ 
මගේ සෙනෙහස සංයුක්ත තැටියට නම් දෙන්නටද සුදුසුකම් ලද ගීතයයි. මේ ගීතය බණ්ඩාර කේ. විජයතුංග ගේ ගීතයකි. එහෙත් ලියැවුණාට පසු එය ඔහුගේ අයිතියෙන් ගිලිහී අපගේ අයිතියට නතු වෙයි. අනතුරුව යම් නීතිමය අයිතියක් ඔහු සතු වුවද, රසික ලොවෙහිදී එහි වැඩි අයිතිය අපටමය.

බණ්ඩාර කේ. විජයතුංග මේ ගීය ලියුවේ සිය අත්දැකීමක් පාදක කොට ගෙනදැයි මම නොදනිමි. එහෙත්, මෙවැනි අත්දැකීමක් හෝ අත්විඳීමක් ඇති රසිකයාටය එය තමන්ගේම ගීතයක් වන්නේ.

වසර ගණනක යොදුන් ගණනක
ගමන්මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මේ මිය ගිය පෙමක් ගැන ද?
ඇත්තටම පෙමක් මිය යනවාද?
නැති නම් ඒ මිලිණ වුණු පෙමක් ගැනද?
ඇත්තටම පෙමක් මිලිණ වනවාද?

මට නම් හැඟුනේ එය තාමත් මිය ගොස් නැති බවයි. මිලිණ වී නැති බවයි. එහෙත් පණ අදිමින් සිටිනවා නම් විය හැකිය. ඉතා නොදුරේදී මිලිණ වේ යැයි හැඟෙන පෙමක් වෙනුවෙන් කෙනෙකු ජීවත් වේ නම් එය මැරි මැරී ඉපදීමකි. මේ ගීතයේ දෙවෙනි පාදයෙන් කියැවෙන්නේ එයයි. වසර ගණන කල් ඒ පෙම වෙනුවෙන් කල් හැරියද, යොදුන් ගණන් දුර ඇවිද ගියද ඈට ඔහු සිත ඇඳි පෙම මැණ ගනනට නිසි මිණුම් දඬු නොමැති නම්, ඉන් ඇති ඵලය කුමක්ද? එහි අවසානය කුමක්ද? එහි අවසානය කුමක් වනු ඇතිද යන්න ගීතයේ අවසන් පාදයේදී කියා දෙයි.

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මෙහි,
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල....
යන්නෙන් අදහස් කරන්නේ ඔහුගේ මරණයද? 

එය මරණය වේ නම් එහි අරුත සිය දිවි නසාගැනීමක් යන්නවත්ද? නැති නම් එහි කියන්නේ මිලිණ සිහින අතරේ, මිළිණ කුසුම් අතරේ, ඔහු පිළිබඳව වන මතකය ළැඟුම් ගත් පසු යන්නද? කෙසේ වෙතත් එය ඛේදනීය අවසානයකි. ඇයට ඔහු සිත ඇති සෙනෙහස වටහා ගැනීමට එවන් ඛේදනීය අවසානයක්ම අවැසි වූයේ මන්ද? ඊට පිලිතුරු නොමැති වුව, අවසන් වන්නට නියමිතව ඇත්තේ  එලෙසට සේය. ඇයට අවනත, ඇයට සැබැවින්ම පෙම් බැඳි හදක් මිහිමත පැවැති බව එවන් අවසානයකට පසු හෝ වටහා ගනීවිය යන්නය ඔහු තුළ වන පැතුමකි. එය එසේ යැයි දැන ගැන්ම හෝ ඔහුට සහනයක් වනු ඇත. එහෙත් සමහරුන්ට එවන් සහනයක් වත් ඉතිරි වේද?

මේ හැඟිම මීටත් වඩා හොඳින් ලිවිය හැකිද? මෙහි අරුතේ සැඟවුනු බව අඩුය. එහෙත් එය සෘජුවම කියාපෑමක්ද නොවේ. මේ ගුණය හේතුවෙන් එහි රසික පිරිස වැඩි වෙතැයි මමට සිතේ. නැති නම්, එයට සංවේදී වන පිරිස වැඩි වෙතැයි මට සිතේ. 

මේ ගීතයට  

 ආචාර්ය රෝහණ වීරසිංහයන් 
යොදා ඇති තනුව සහ සංගීතයද අති විශේෂ ය. අති විශිෂ්ඨය. එහි ඇති සෑම වචනයකම අරුත මතුකරණු මතු නොව, ඒ වාච්‍යාර්ථ තුළ ඇති හැඟුම්ද මතු කරලීමට එම සංගීතය සමත් වෙයි. 

එය ගායනය කරන්නේ අමරදේවයන්ට පමණක් දෙවෙනි හෙළයේ භාවමය හඬිනි. එනම් විශාරද සුනිල් එදිරිසිංහයන් ගේ ගැඹුරු, මධුර, හැඟුම්බර, ශික්ෂිත හඬිනි.
අසා සිටිමු. දැහැන් ගතව. 




මේ ගැඹුරේ සිට ය අප මී ලඟ ගීතයට එළඹෙන්නේ.

සඳ උතුරා ගංගාවේ
ඔබෙ රුව දෝ මැවුනේ

ඇය නිදනා කුටිය කරා හමන මඳනලේ
මා තනි වී මේ ඔරුවේ ගෙවන තනි රැයේ
පවන ඇගේ හද නොසලා සවනැලූ මැනේ

දෙගොඩ තලා යන වතුරේ එගොඩ පෙනි පෙනී
ඇය නොලබා සිතිනි ලබා සිහින මැවි මැවී
ගඟ මැද්දේ තනි ඔරුවේ අදද රැය ගෙවේ

මෙහි ගැයුම 



මිල්ටන් මල්ලවාරච්චි 
ගායන ශිල්පියාගෙනි. සංගීතය නිර්මාණය කර ඇත්තේ 



සෝමපාල රත්නායක  
සංගීත ශිල්පියා විසිනි. ඔහු ආචාරය වික්ටර් රත්නායකයන්ගේ බාල සොහොයුරාය.

එය කුමන ගීත ගෝත්‍රයට ඇතුළත් කරම්ද? 

ජනප්‍රිය ගීත ඇතුළත් ගෝත්‍රයටද?

නැති නම් උසස් රසාස්වාදය සපයන ගීත ඇතුළත් ගෝත්‍රයටද? 

මට ඒ ගෝත්‍රවාදයමත කරණු ලබන බෙදීම අනුව මේ ගීතය ඇතුළත් කළ යුත්තේ කුමන ගෝත්‍රයටද යන්න නොවැටහේ. එය ඔබම කරන්න. මම ගීතය ගැන කරන්නට ඇති මගේ කතාව කෙටියෙන් කියන්නෙමි.

මෙය ඉතා අඩු ළයෙන් වැයෙන ගීතයකි. එහි එම අඩු ළය නිසාම හැඟුම්බරය. හැඟුම්බර සෑම ගීතයක්ම අඩු ළයෙන් වැයෙන බවක් හෝ, අඩු ළයෙන් වැයෙන හැම ගීතයක්ම හැඟුම්බරය යන්න නොවේ එය. එමෙන්ම එහි යෙදී ඇති සංගීත ඛණ්ඩයන් ඒ ගීතයෙන් කියැවෙන කාලවකවානුවටද, පරිසරයටද මනාව බද්ධව ඇත. මෙහිදී මිල්ටන් මල්ලවආරච්චිගේ ගැයුමද ඔහුගේ අන් ගැයුම් වලට වඩා හැඟුම් බර සහ සංයමයකින් යුක්ත වෙයි. සාමාන්‍යෙයන් ඔහුගේ ගීත වල ඇත්තේ මීට වඩා යම් වේගවත් රිද්මයක් වුව, මේ මද වේග රිද්මයට ඔහුගේ හඬ ගැලපීමද විශිෂ්ඨව සිදුව ඇත.

කෙසේ වෙතත් ගීතය පිළිබඳව මට සිතෙන තවත් කරුණක් වෙයි. ඒ නම් මට සිතෙන්නේම මෙය පෙර නිර්මිත තනුවකට වචන යෙදූ ගීතයක් වන බවයි. මක්නිසාද යත්, ඔහුගේ අනෙකුත් රචනාවන් දෙස විමසිල්ලෙන් බැලූ විට ඒවාගේ ඇති ව්‍යක්ත බව මෙහි යම් තරමකට ගිලිහී ඇති දැයි මට සිතෙන හෙයිනි.

ඒවා කෙසේ වුව, මේ ගීතය මහත් ජනප්‍රිය ගීතයකි.



බණ්ඩාර කේ. විජයතුංග ගේ ගීත සමගින් අපි ඉදිරියේදී යළිත් හමු වෙමු.





-      යසනාත් ධම්මික බණ්ඩාර   -