Sunday, February 14, 2016

මුහුණුවර දෙකකින්....




මට කියා ගන්න බැරි වුණාට
හිතා ගන්න බැරි වුණාද
නුඹෙ හිත ළඟ
හිත ගොළුවී
මට කියා ගන්න බැරි වුණාට...

මුතු බෙල්ලිය මම 
ආදරයේ වැලි කැට 
හිත යට දරාන
මුතු වෙන තුරු පෙරුම් පිරූ
දිදුලන 
මුතු කැට විනිවිද
ආදරයේ
වැලි කැට ඔබ නොදුටූ...

දිය කිඳුරිය මම 
ආදරයේ සියපත 
හිත යට දරාන
පුබුදිනතුරු පෙරුම් පිරූ
සුසිනිඳු 
දළ පෙති සිඳ බිඳ
ආදරයේ
සියපත ඔබ වැනසූ...

මේ මා ලියූ ගී අතුරින් මා වඩාත් ම කැමැති ම එකකි. එහෙත් ඒ ගීතය ගැන යම් සැඟවුණු කතාවකුත් තිබෙනවා කියන්නට.
මේ ගීතය ගායනා කොට එයින් ප්‍රයෝජනයක් ගත්තේ 

 විශාරද ශානිකා සුමනසේකර  
ගායිකාවයි.
ගීතය ගායනා කොට එයින් ප්‍රයෝජනයක් ගත්තාය යන කියමන තුළ සමහරෙකුට යම් යම් ගැටළු ඇති විය හැකිය. එනම්, මේ ගීතය ගායනා කිරීම තුළින් 

ඇයට මහත් ආලෝකයක් ලැබුණිද? 

ඇයට මහත් ජනප්‍රියත්වයක් ලැබුණිද? 

ඇය මේ නිසාම ක්ෂේත්‍රෙය් ස්ථාවර වීද? 

වැනි පැණයන් එහි තිබිය හැකිය. එහෙත් මා කියන්නේ එවැන්නක් නොවේ. මගේ ගීතයකුත් ඇගේ නිර්මාණ එකතුවට අවැසිව තිබූ වට පිටාවක, එමෙන්ම ඈට හුරු හැඟුම් බර අඩු වේග සරල ශාස්ත්‍රීය ගීතාවලියට පිටින් වෙනත් යම් වේගයක් සහිත රිද්මයකින් වැයෙන ගීතයක් අවශ්‍යයැයි හිතුනු විට ඇගේ ඒ අවශ්‍යතාවයෙන් යම් කොටසක් ඉටු වුණේ මේ ගීතයෙන් වූ බැවිනි. නොමැතිව මේ ගීතය නිසා ඇයට මහාමෙරක් මෙන් දේ ලැබුණු නිසා නොවේ.
මේ ගීතයෙන් ඇයට ඉහත කී ලැබීම් හැර අන් සතුටක් ලැබුණි නම් ඇය ම මෙහි කොතැනක හෝ එය සඳහන් කරණු ඇත. එහෙත් මම මින් ලද දේ වෙයි. ඒ අනෙකක් නම් නොව මා කැමැතිම රචනයක් ගීතයක් ව, එය ගීත එකතුවක් තුළට ගොනු වීමේ සතුටයි. එම රචනයට මහා සංගීතඥයෙකු වන 


ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ 
ඇල්ම බැල්ම ලැබ, මා නොසිතූ, එම රචනය තුළ මා නොදුටු මානයකින් සංගීතවත් වීමයි. එමෙන්ම ඇගේ මුල් ගීත කිහිපය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව මා බොහෝ සෙයින් ප්‍රිය කළ, එමෙන්ම වර්තමානයේදී සුභාවිත ගීතයට විසල් සේවාවක් ඉටු කරණු ඇතැයි අප මහත් ප්‍රමෝදයෙන් බලා සිටින ගායිකාවක් වන විශාරද ශානිකා සුමනසේකරගේ ගේ සුවිශේෂ හඬින් ගැයුනු බැවිනුයි. ඇගේ නිර්මාණ එකතුවට දායක වන්නට මටද අවස්ථාවක් ලැබුණු බැවිනුයි.
මේ එම ගීතයට පිවිසුමයි. 



මා ලියූ ප්‍රේමයේ විප්පයෝගය ගැන ලියැවුණු එම ගීතය තුළ වූ ඒ හැඟුම පවත්වාගෙන යන අතරේම, නැවුම්, යම් ජවයක් සහ වේගයක් සහිත රිද්මයක් සහ සංගිතයක් පවත්වාගෙන යාමට ආචාර්ය රෝහණ වීරසිංහයන් රැගෙන ඇති උත්සාහය මගේ ප්‍රශංසාවට පාත්‍ර වේ. එය සිය පුරුදු ශාස්ත්‍රීය ඌරුවේ හඬ වෙනස් දෙසකට යොමු කර ඉතා ආකර්ශනීයව ගැයුම ගැනද මගේ ප්‍රශංසාව ශානිකා වෙත හිමි කර දිය යුතුම ය. සියල්ලටම වඩා ගැයූ ගීතය ඉවත නොදමා එයට යම් වටිණාකමක් දීම ගැන ද ඈට ස්තුති විය යුතුය.
ගැයූ ගීතය ඉවත නොදමා එයට යම් වටිණාකමක් දීම ගැන ද ස්තුති විය යුතුය යන වැකිය තුළත් ඔබට යම් ගැටළු සහගත දේ ඇතිවා විය හැකිය.

ඔව්. ඔබ එහිදී නිවැරදිය. ඊට හේතුවක් ඇත.
මතු ඉදිරිපත් වෙන්නේ ඔබ මදකට පෙර ඇසූ මට කියා ගන්න බැරි වුණාට ගීතයෙහි දෙවැනි සංගීතවත් කිරීමයි. දෙවැනි පටිගත කිරීමයි. දෙවැනි ගැයුමයි. පළමු නිකුත්වීමයි. පළමු නිකුත්වීම යනුවෙන් පැවසුවේ එහි පළමු සංගීතවත් කිරීම, පළමු පටිගත කිරීම, පළමු ගැයුම මෙතෙක් පළ නොවීමයි.
ඒ කතාව මට මෙහි ලා ලියන්නට හිතුනේ හදිසියේමය. හදිසිය මතු කළේ එහි සංගීතඥයා වූ තිස්ස අයියායි. එනම්  


තිස්ස සිරි පෙරේරා 
සංගීතඥයායි. තිස්ස අයියා ජීවත්ව සිටියේ නම් මට තවම මේ ගැන යමක් කියන්නට සිත් නොදෙනු ඇත. එහෙත් ඔහු නොකියාම ගිය නිසා, මේ ගැනද යමක් කියන්නට මේ අවස්ථාවම සුදුසු යැයි සිතුවෙමි.
දැන් මම පළමුව, ඒ පළමුව පටිගත වූ ගීතය ගැන කතා කරණවාද නැතිනම් තිස්ස අයියා ගැන කතා කරණවාද යන්න සිතමි. තිස්ස අයියා ගැන බොහෝ අය පසු ගිය දිනවල කතා කළ නිසා මම අළුතින් මොනවා කියන්න ද යන්නත් කල්පනා කරමි. එහෙත් තිස්ස අයියා වැනි මිනිසෙකු ගැන කතා නොකරම බැරි නිසා ඒ ගැන සුළු දෙයක් පමණක් කතා කරමි.
තිස්සසිරි පෙරේරා ගැන මම පළමුව දැන සිටියේ සිරි ලක ගුවන් විදුලිය නිසාය. එකල එහි වාදක මණ්ඩලය ගැන කියැවෙන විට මට වඩාත්ම මතක නම් දෙක තුන අතරේ තිස්ස සිරි පෙරේරා යන නමත් විය. තිස්ස සිරි පෙරේරා, කළනි පෙරේරා වශයෙනි ඒ නම් ලැයිස්තුව ඇරඹෙන්නේ.
එකල මම දැන සිටියේ ඔහු වයලීන වාදකයෙකු ලෙසය. එහෙත් මා ඔහුව සජීවීව හඳුනා ගන්නේ විදුලි ඕගන වාදකයෙකු ලෙසිනි. ඒ මගේම ගීත පටිගත කිරීමකදීය.
මේ ගීත පටිගත කිරීම සංවිධානය කරන්නේ විශාරද ගුණදාස කපුගේ ය. ඔහු යොදා ගන්නා සංගීත කණ්ඩායම ට තිස්ස සිරි පෙරේරා , කළනි පෙරේරා ඇතුළු අර ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ අපි දන්නා ප්‍රබුද්ධ නම් සෑහෙන ගණනක් ඇතුළත් විය. තිස්ස අයියාව මට හඳුන්වා දෙන්නේ එදා පටිගත කිරීමේදී මා සමඟ හරි හරියට බර කරට ගත් නවා විසිනි. එනම් නවරත්න ගමගේ ය. 
මෙවන් පටිගත කිරීම් වලදී එම ගීතවල ස්වර ප්‍රස්ථාර තිස්ස අයියා වෙත ලබා දුන් විට ඔහු විසින් මිල මුදල් බලාපොරොත්තුවකින් තොරව නිර්මාණයේ යහපත සඳහා සිය කැමැත්තෙන්ම ඉටු කරණු ලබන බොහෝ කාර්යයන් වෙයි. එහෙත් ඒවා දන්නේ දන්නෝ පමණි. 

ස්වර ප්‍රස්ථාරවල යම් යම් සංගීත ඛන්ඩයන් ඒ ඒ සංගීතඥයා වෙත බෙදා දීම, සමහර සංගීත ඛණ්ඩයන් වල යම් වෙනසක් ගැලපෙන අයුරින් සිදු කරමුද යන සොඳුරු යෝජනාවන් ගෙන ඒම මෙන්ම සමහර ගීතයන් හි මුල් රිද්මය සම්පූර්ණයෙන්ම වෙනස් කොට වඩා සුදුසු වෙනත් රිද්මයන් යෝජනා කිරීම වැනි සංවර්ධනාත්මක යෝජනා තිරය පිටුපස සිට ඔහු ඉටු කළ බව සමීපතමයින් හැර අන් බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. සමහර ගීත දෙවෙනි වර පටිගත කිරීම් සිදුවන විට තිස්ස අයියාගේ එවන් යෝජනාවන් හේතුවෙන් අතිශය ජනාදරයට පාත්‍ර වූ ගීත සෑහෙන ප්‍රමාණයක්ද වනව බව දන්නෝ දනී. වාද්‍ය වෘන්දයේ සම්බන්ධීකරණය බොහෝ විට සිදු වන්නේ ඔහු හරහාය.
මේ හැර වඩාත්ම මට දැනුනු දේ කුමක්ද? 

සැම විටම ප්‍රසන්න සිනහවකින් මුව සරසා ගෙන සිටින ඔහුය වාද්‍ය වෘන්දයේ සිටින අයගෙන් කෙනෙකුගේ හිත් පළමුවම ආකර්ශනය කර ගන්නා පුද්ගලයා ය යන්නයි. 

ඊ ළඟ දේ ඔහුගේ මනුස්සකමයි. ඔහු ප්‍රවීනයින්ට සේම ආධුනිකයින්ටත් මේ කාර්යයේදී එක සේ සේවය කරයි. හිතවත් කම් පායි. සලකයි. ඒ අනුව ඔහු හොඳ මිනිස්කම් පිරි පුද්ගලයෙකි. ඉතා ටික කලකින්ම ඔහු සහෝදරයෙක් වෙයි. හිතවතෙක් වෙයි. මේ ඔහු ගැන මට දැනුනු බිඳෙන් ද බිඳකි. ඔහු නික්ම ගිය හෙයින් බොහෝ දෙනෙක් බොහෝ දේ ලියා තිබුණද මා කිසිවක්ම නොලියූ නිසාය මේ වචන සොච්චම. 
ඔහුට නිවන් සුව අත්වේවා!යි කියනු හැර වෙන කුමක් කියම්ද?
දැන් නැවත ගීතයට හැරුණොත්, මේ රචනයෙන් කළ පළමු ගීතය සංගීතවත් කළේ ඒ තිස්ස අයියායි. තිස්ස අයියා ද මේ ගීතයට ඉතා මධුර මනෝහර නමුත් නව සංගීත රිද්මයට අනුව අඩු වේග හැඟුම් බර සංගීතයක් යොදා තිබුණි. මේ ගීතය පටිගත කරණ මොහොතේ මමද දයා අයියාගේ ( ශබ්ද ඉංජිනේරු දයානන්ද පෙරේරා ගේ ) නුගේගොඩ ඊස්ටර්න් රෙකෝඩින් ස්ටුඩියෝ එකෙහි සිටියෙමි. එපමණක් නොව එයට හඬ මුසු කළ  


ගායිකා නිරෝෂා විරාජිනි 
එම කාර්යය ඉටු කරණ අතරේද මම එහි වීමි. මේ හේතුවෙන් සියල්ලන්ම මේ ගීතය පිළිබඳව තෘප්තිමත් වූ බව මම දැන සිටියෙමි. එය නිරෝෂාගේ සීගිරි ගීයක් තුළට ගොනු වනු දැන ගැන්ම මොන තරම් සතුටක්ද? 

එහෙත් ඒ සතුට පැවතුනේ එම නිර්මාණ එකතුව නිකුත් වෙන්නට ආසන්න වනතුරු පමණි. අනතුරුව නිරෝෂා විසින් මට දන්වනු ලැබුයේ මාධ්‍ය ආයතනයකට සම්බන්ධ ගීත රචකයෙකුත් වන අයෙකුගේ ගීයක් අවසාන මොහොතේ ඇතුළත් කිරීමට නිෂ්පාදකයින් තීරණය කළ බැවින් ඉවත් කිරීමට සිදු වන්නේ මගේ ගීය වන බවයි. මම ඇගෙන් ඇසුවේ නිර්මාණ එකතුවට තේරුණු අවම ලකුණු ලැබූ ගීතය මගේද යන්නයි. ඇය අකමැත්තෙන් මෙන් කීවේ එය එසේ නොවන නමුත් නම් දැරූ අනෙකුන් අතරේ එතරම් නමක් නැති මගේ ගීය අතහැරීමට යෝජනා වුණු බවයි. ඇයටද කරන්නට දෙයක් නොතිබුණා විය හැකියැයි සිතීම මට පහසුවකි. එබැවින් මා ඒ ගැන සිතන්නේ ඒ පහසු විදිහටය.
එම පටිගත කිරීමේදී මවිසින් කැසට් රෙකෝඩරයකින් රෙකෝඩ් කරගන්නා ලද අසම්පූර්ණ හඬ පටියක් පමණි අවසානයට මට ඉතිරි වුණේ.
අවම වශයෙන් මගේ ප්‍රයෝජනය සඳහා හෝ මේ ගීතය ලබා ගන්නට දැරූ සියළු වෑයම් අසාර්ථක වුණි. මට එම ගීතය පිළිබඳව ඉතිරි වුණේ කලක් මිහිරිව තිබූ පසුව අමිහිරි වූ මතකයක් පමණි. එය හරියට එහි අන්තර්ගතය වැනිම විය. නමුත් පසු කලෙක යළි මේ ගීය මතකයට ආවේ ශානිකා විසින් මගෙන් ගීතයක් ඉල්ලු විටදිය. මේ ගීය ඇගේ හඬින් ඇසීමේ කැමැත්ත ඇති නොවුණි නම් එහි දෙවෙනි පටිගත කිරීම සේම පළමු පටිගත කිරීමත් මට අසන්නට ඉඩක් නොලැබෙන්නට ඉඩ තිබුණි. එහෙත් එම ගීතය ගැයීමට ශානිකා යොමු වීමත් සමගම පළමු ගීතය ඇසීමේ පින ද මට ලැබුණි.
ශානිකා ගීතය ගැයු බවත් එය අන්තර්ජාලයෙහි ඇති බවත් මට දැන්වූ විට එය සෙවීමේදී මට පළමුව ලැබුණේ එහි පළමු ගීතයයි. එනම් නිරෝෂා ගැයූ ගීතයයි.
මේ හේතුවෙන් දැන් මට එකම රචනයකින් කෙරුණු, වෙසෙස් සංගීතඥයින් දෙදෙනෙක් අතුනි නිමැවුණු, එකිනෙකට සපුරා වෙනස් රිද්මයෙන් වැයුණු, වෙසෙස් හඬවල් දෙකකින් මනාව ගැයුණු ගී දෙකක් වෙයි. මේ නිසාම නිරෝෂා ගැයු පළමු ගීය පිළිබඳව වූ අමිහිරි මතකයද ටිකෙන් ටික මගෙන් ඈත් වෙමින් පවතී.
අනතුරුව මේ මොහොතේ මට හැඟුනේ, තිස්ස අයියා අතින් සංගිතවත් වුණු මගේ දෙවෙනි පද රචනය දැන් මා ළඟ සුරැකිව ඇති බවයි. එය මට සතුටකි. ආඩම්බරයකි. ඇසෙන දුරකින් සිටී නම්, තිස්ස අයියාටද අසන්නට මෙහි එම ගීයද පළ කරමි.





-        යසනාත් ධම්මික බණ්ඩාර  -

Wednesday, February 10, 2016

රතු නළඟන මගෙ - හිත අවතැන් කළ...






ජානක වික්‍රමසිංහ 

සහ  

සමන් ජයනාත් 


යනු යම් තරමකින් සමාන කාලයකදී පැමිණ සමාන රසික ආකර්ශනයක් දිනා ගත් ගායකයින් දෙපළකි. ඉන් ජානක ගයන මතු දැක්වෙන ගීතයට මා ප්‍රිය කළත් එහි රචකයා මේ දින වල අප විසින් කතා කරමින් සිටින  


කැළුම් ශ්‍රීමාල් 
යැයි මා දැන ගත්තේ කලකට පසුව ය. එතෙක් මා ගීතය ප්‍රිය කළේ ඒ තතු නොදැන ය.


එම ගීතය ගැන කතා කිරීමට පෙර කැළුම් ගැන මා ලියූ පළමු සටහන ඔබ නොකියවූයේ නම්, කියවන්නට ඇරියුම් කරමි. මේ එහි පිවිසුමයි.
සඳට යටින් අඳුර වැටී
තුන් යාමෙට රැය ගාටන්නා
අතීතයේ ඇවිදින සිත වර්තමානයේ නැවතී
ආදරයක යළි පැටලෙන්නා
නෙතු අද්දර නුඹ දැවටෙන්නා

මේ වචන ඇසෙද්දීම දැනෙන කැළුම් ගේ අනෙක් ගීත වලට හුරු අමුතු අයුර මට කළින් නොදැනුනේ මන්දැයි මම සිතමි. මක් නිසාද යත්, අපිදු ලියන යම් අදහසක්, වෙනත් අමුතුම වචන යොදමින්, අමුතුම අයුරකින් ලියන කැළුම් ගේ ශෛලිය එහිද වන බැවිනි.

මෙය ප්‍රේමයේ ප්‍රමෝදය දනවන ගීතකයක්ද? ප්‍රේමයේ විප්පයෝගය දනවන ගීතයක්ද? කැළුම් එය ලියා ඇති විදිහ අනුව මට දැනෙනුයේ මිශ්‍ර හැඟුමකි. ඒ මක් නිසාද යත්,
අතීතයේ ඇවිදින සිත වර්තමානයේ නැවතී
ආදරයක යළි පැටලෙන්නා
නෙතු අද්දර නුඹ දැවටෙන්නා
ලෙස එහි ලියැව ඇති නිසා ය. අතීතය අඳුරු වූ සේය. ඒ අඳුරේ ඔහු දුකින් වේදනාවෙන් සරන්නට ඇති සේය. එසේ අතීත අඳුරේ සරමින් සිටින ඔහු වෙතය ඈ එන්නේ. ඇගේ පෙම පාන්නේ. යළිදු ඔහු සිත පෙමකින් පුරවන්නේ.

මහන්සියේ
හුස්ම උඩට තුටු කඳුළක රස්නය මට දැනෙනා
නුඹේ සුවඳ හදිස්සියේ වාගේ ඇවිදින්
කාන්සියේ හිත මත තරු රටා පුරන්නා
තරු රටා පුරන්නා

ඔහු සිට ඇත්තේ විඩාවෙනි. එදිනෙදා දිවියේ බර දරණ ගතේ විඩාවෙන්ද, බිඳුනු සෙනෙහසේ බර දරණ සිතේ විඩාවෙන්ද ඔහු සිටින්නට ඇත. මේ මහන්සිය යනු එය විය යුතුය. එවන් මහන්සියක හුස්ම මතට ය තුටු කඳුළක් වැටෙන්නේ. එහි උණුසුම දැනෙන්නේ. ඈ ඔහු සිතට එන්නේ හෙමි හෙමින් නොවේ. හදිසියෙන් මෙනි. එසේ හදිසියෙන් මෙන් පැමුණෙන ඇගේ සුවඳ තරු රටාවන් පුරන්නේ කාන්සිය නම් ඔහු ගේ සිත් අහස මතය.

තුරල් නොවන
සුසුම් හඬට සිහින ගොඩක ලස්සන හැඩ පෙන්වා
ලෝබ හිතෙන නුඹට පෙමින් බැඳුනද වැඩියෙන්
කියාගන්න බැරිකම හොරගල් අහුලනවා
හොරගල් අහුලනවා

පෙම් හදකින් දැවෙන හදක සුසුම් නිමාවක් නොවෙයි. කිසිදු දිනක ඒවා තුරල්ව නොයයි. එවන් හදකට ලස්සන සිහින ගෙන එන්නී ඈය. ඈට බැඳෙන ඔහුගේ පෙම කොතෙක් විසල් වුවත් එය එක් වර කීමට ද මැලි වෙයි. මේ මැලි බව ඔහු පවසන්නේ අමුතුම අයුරකිනි.

කියාගන්න බැරිකම හොරගල් අහුලනවා
හොරගල් අහුලනවා

මේ කැළුම් ශ්‍රීමාල් නම් අමුතු ගීත රචකයාගේ සංඛේතයයි.
කැළුම් ගේ මේ අමුතු රචනයට සංගීතඥ එච්. එම්. ජයවර්ධනගේ සංගීත නිමැවුම මනාව ගැලපෙන බවද කිව යුතුය.
කැළුම් සමහර ගී ලියා ඇත්තේ පෙර නිර්මිත තනුවලට අනුවය. මෙයද එවැන්නක් දැයි නොදනිමි.
පෙර නිර්මිත තනුවලට ගී ලිවීම පහසු කරුණක් නම් නොවේ. මා කියන්නේ පෙර නිර්මිත තනු වලට ගී ලිවිම ගැනයි. මොනවා හෝ ලියා ගී ලෙස ගැයීම ගැන නොවේ.
මේ කාර්යය සුභාවිත ගීතයට ගෙන ඒමේදී එය තවත් අපහසු කරුණකි. මා දන්නා කාලයේදී  මුළින්ම මේ පිළිබඳව නම් දරා සිටි රචකයින් වූයේ අජන්තා රණසිංහයන් ය. ඊ ළඟට කුලරත්න ආරියවංශයින් ය. ඊටත් පසුව එහි දැවැන්තයා වූයේ බන්ධුල නානායක්කාරවසම් ය. කැළුම් ශ්‍රීමාල් ද මේ විෂයයෙහි අති සමතෙකි. මේ නිසාම රචනාව පෙර ලියා සංගීතවත් කළාද, පෙර සංගීත රචනය නිම කළ ගීයකට පසුව වදන් ඇමිණුවාද යන්න හඳුනා ගත නොහැකි තරමට ඒ නිර්මාණ සාර්ථකව ඉටු කොට ඇත.

සඳට යටින් අඳුර වැටී
තුන් යාමෙට රැය ගාටන්නා ගීතය අසමු.

කැළුම් විසින් රචිත ගී අතරේ මා බොහෝ ප්‍රිය කරණ තවත් ගීතයකි  


මහින්ද බණ්ඩාරයන්
ගේ සංගීතයට 


නිරෝෂා විරාජිනි  
විසින් මේ ගයන්නේ.
මේ ගීතය පුරා වුව ඇත්තේ කැළුම් ගේ ගීත රචනා තුළදී හමුවන ඒ වෙනස් නැවුම් බවයි.

දුහුල් මලෙක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලිව්වා වූ මගෙ පෙම් පණිවුඩය
සමනළයෙක් අතේ එව්ව හම්බවුණාද
බාරගන්න පරිස්සමින් තටු පොඩි නොකර
මගෙ පෙම් පණිවුඩය
හම්බවුණාදැයි කියලා ලියල එවන්න
ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත් වෙන්න

ඉහත ගීතයේ ආරම්භක කොටස දුටු විට මට එක වරම මගේ මතකයට නැගෙන්නේ මේ ගීත කණ්ඩයයි.

එන්න මදනලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා - දෑස ඈගෙ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළං වෙලා.....

මේ ගීතය රචනා වී ඇත්තේ කාලිදාසයන්ගේ මේඝදූතයෙන් සංවේදනයක් ලබමිනි. කැළුම් ශ්‍රීමාල් ගේ රචනාව තුළද ඇත්තේ වෙනත් විදිහකින් එවැන්නක් ම යැයි මට හිතේ. කැළුම් තුළ මේ සිතුවිලි මතු කළේ කුමක් නිසා දැයි මම නොදනිමි. නමුත් අසමාන කම් ඇත්තේ වුව, මම මේවාගේ යම් සමානකම් ද දකිමි.
අර ගීතයේ ඔහු දුක පවසනුයේ මදනලටය. සීමා පවුරු නොතකා මදනලට ඈ වෙත හමා යා හැකිය. මෙහි දී කැළුම් ශ්‍රීමාල් සිය ධූතයා කරගන්නේ සමනලයෙකි. පෙම් පණිවිඩය ලියනුයේ දුහුල් මල් පෙත්තකය. ඒ මල කොතරම් දුහුල්ද යත්, මල් පෙත්ත තුළින් එහා මෙහා පෙනෙයි. එහා මෙහා නොපෙනෙන යම් තැනක් ඇති නම්, ඒ පණිවඩය ලියූ අකුරු ඇති තැන් පමණි.
සමනලයා අතේ යවන පණිවිඩය රැගත් මේ මල්පෙත්ත සමග ඔහු අයැදුමක්ද කරයි. එය බාර ගන්නා ලෙසයි. තවත් වෙසෙස්ව කියනවා නම් තටු පොඩි නොකර බාර ගන්නා ලෙසයි.  මේ තටු සමනලයාගේ තටුද? නැති නම් මලෙහි පෙති සේ සිතා තටු සේ ලියුවුණාද? තවත් සරලව කිවුවොතින් ඔහුගේ සිතද?

ඔබට කැමති වූ දවසේ
දැණුනු හැඟුමෙ පාට තමයි
දේදුන්නක් වෙලා
දෑස් වෙත පාත් වුණේ
ඒ සතුටේ සුසුම තමයි නළ මුදු සුවඳක් වී
හිත තෙත මාත්තු කළේ
ඒ බව හැඟෙනවනම් මට කියලා එවන්න
ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න

ඔහු ඇගේ හමුවීමේ ප්‍රමෝදයට සොබා දහමේ වර්ණ පළඳවයි. සොබා දහමේ සුවඳ ගල්වයි. හිතට ලෙන්ගතු අයෙකුගේ පළමු හමුවීමේ ප්‍රමෝදය වර්ණ ගැන්වීමට හෝ සුවඳ ගැල්වීමට අන් පහසු මඟක් සෙවිය නොහැකිය.
දේදුන්නේ පාට හතෙහි ඇත්තේ කුමන වූ සොඳුරු වර්ණයන්ද? ඔහුගේ හිත ඈ වෙත බැඳුනු මුල්ම දිනයේ ඔහු සිතේ වූ සුදු වර්ණය ඈ නිසා බිඳී මැවුනු දේදුන්නේ සොඳුරු පාට හතමයි. ඈ හමු නොවුනි නම් ඒ වර්ණය තවමත්, එකාකාරී සුදු වර්ණයම වන්නට තිබුනි. එහෙත් සුදු වර්ණයේ කෙනෙකු නොදකින සොදුරු වර්ණයන් හත පෙන්වන්නට හැකි වුණේ ඇය නිසාය. ඔහු දුහුල් මල් පෙත්තේ ලියා, සමනලයෙක් අතේ යවන්නේ මේ පණිවිඩයයි.
ඔහු ඈට ඇති කැමැත්ත තව දුරටත් විස්තර කළ යුතුද? එහෙත් ඒ ලෙසින්ම ඈ ඔහුට කැමැත්තේද? මේ දෙගිඩියාව ඔහු තුළ කකියයි. එබැවින්ම ඔහු පිලිතුරක් අපේක්ෂා කරයි. අන් පිලිතුරක් නොවේ. ඔහුගේ මේ හැඟුම් ඈට දැනෙනවාද යනුවෙනි. මම ඔයාට ආදරෙයි. ඔයාත් මට ආදරේද වැනි අපහසු පැනයක් නොවේ එය. ඔබ ගැන හිතන හිතක් මිහි මත වෙයි. ඔබ ගැන මතයෙන් ඒ සිත ප්‍රමෝදමත්ව ඇත. අන්න ඒ හැඟුම ඔබට දැනෙනවාද වැනි පිලිතුරු දීමට පහසු අයුරකිනි ඔහු එය අසනුයේ.
කෙසේ වෙතත්, මෙතෙක් කෙනෙකුට හැඟෙනුයේ ගීතය තුළ වුණු ඒ ප්‍රමෝදයයි. එහෙත් ඉතින් මින් ඉදිරියට දිග හැරෙන්නේ එහිම ඇති කඳුළු කතාවයි.

ඔබ නික්මන් කළ දවසේ
උනපු කඳුළෙ තරම තමයි
පොද වැස්සක් වෙලා
පොළවට පාත් වුණේ
ඒ කඳුළේ බලය තමයි මහවැලි ගඟ මැද්දේ
දිය සුළියක් වූයේ
ඒ බව දැණුනා නම් මට කියලා එවන්න
ඒ ටික ඇති තව දුරටත් ජීවත් වෙන්න

හමුවීමේ ප්‍රීතිය කියන්නට අන් පහසු වෙස් නැතිවා සේම, වෙන් වීමේ සොව ගැන කිමටද කැළුම් සහාය පතන්නේ අවට පරිසරයෙනි. පොද වැස්සක් එහිදී ඔහුගේ සහායට එයි. මේ පොද වැස්ස යනු අනෙකක් නොවේ. ඈ ඔහුට සමු දී නික්ම ගිය දවසේ කඩා හැළුනු කඳුළු කැටයි.
ඒ හුදකලා කඳුළු පොද වැස්සක් සේ වැඩෙයි. පොද වැසි එකතු වී දිය පහරවල් වී, දිය පහරවල් ඇලවල් වී, ඇලවල් ඔයවල් වී, ඔයවල් අතු ගංගා වී, අතු ගංගා එක් වී මහවැලිය හදයි.  මහවැලි ගඟ දිය සුළි නංවා පහළට ගලයි. වියෝ දුකද මෙලෙසමි වැඩෙමින් වැඩෙමින් වැඩෙමින් දුක් ගඟුලක්ව ඇදෙයි. සුලි නංවමින් ඇදෙයි.
ඔහු අවසන් ඉල්ලීමක් කරයි. හඬන ඔහු සිත හැඟුම් ඈට දැනෙන්නේද යන්න. එසේ එම හැඟුම් දැනෙනවානම් ඒ ගැන දන්වන ලෙස. ඒ බව දැනේ නම්, ඈ නැතත්, ඈ වෙනුවෙන් ජීවත් වීමට ඔහුට එය සෑහෙනු ඇත.
දැන් ඔබට යම් පැනයක් මතුව ඇතුවා විය හැකිය. ඔහු සිත ජනිත සිතුවිලි සේ මා මේ කියන්නේ ගායිකාවක ගයන ගීයක රචනයේ අන්තර්ගතයයි. එහෙත් මුලා නොවන්න. මේ රචනය බිහි වන්නේ පිරිමි සිතකය. ඒ සිතේ කඳුළු ය සුසුම්ය ගායිකාවකගේ හඬින් ඔබ සවනතට පත් කරනුයේ. එසේ ඒ කඳුළු ඒ සුසුම් ගායිකාවක මුවින් ගයවන්නේ ඒ පිරිමි කඳුළු වලට පිරිමි සුසුම් වලට හිනා වෙන්නට ලෝකයා පුරුදුව ඇති නිසාද යන්න නම් මම නොදනිමි.

දුහුල් මලෙක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
ගීතය අසන්න.
 




කණා මැදිරි එළි දිලෙන කළුවරේ
මා හැර මා දමා තනිව මිදුලේ
බය කරන්නට හිතුව මදි ඔබ
තිගැස්සෙන්නේ නෑ ඕවට මං
එපා වෙන්නේ නං නෑ මට නම්

අනුරාධා පෙරේරා  

ගායිකාවගේ මේ කණා මැදිරි එළි දිලෙන කළුවරේ ගීතයද මේ කතා බහට අත්‍යවශ්‍යම ගීතයකි. එයද කැළුම් ගේ වෙසෙස් රචනා අතරේ සුවිසෙස් ම ගීයක් වන බැවිනි.
මේ ගීතයේ සංගීතය ඔසී නුගේරා ගෙනි. එම සංගීත නිර්මාණය පිළිබඳවද යමක් කිව යුත්තේ, ඔසී වඩාත් බර බටහිර සංගීත ආකෘතියේ සාධනීය ලකුණු රැගෙන හැඟීම් බර, මද වේග ගීයකට පිවිසෙන අයුර හේතුවෙනි. මට හිතෙන්නේම මේ ඔසී පෙර නිර්මිත තනුවකට කැළුම් පසුව වචන යෙදුවාද යන්නය. පෙර වචන ලියා පසුව තනුව යෙදුවද, පෙර තනුව සාදා පසුව වචන යෙදුවද, හරිම සරලව කිව්වොතින් නම් දෙකින් කුමක් වුවත් මනාව සබැඳී ඇති බවයි. ඊට අමතරව ඒ ගීය ගයන අනුරාධා පෙරේරා ද සිය කොටස මැනවින් ඉටු කර ඇති බැවින් අවසන් නිර්මාණය මධුරතර එකක් වෙයි.

අර නැටුම් මේ නැටුම් බත ඉදෙන තුරු විතරයි
ඔය හැඬුම් ඒ දෙඩුම් රෑ එලිවෙනකොට ඉවරයි
තෝරගන්නේ ඔබව මං
ඉන්නටයි ඒ වගේ
හරිම සරලව කිව්වොතින් නම්
ඔබට මං හරි ආදරෙයි

මේ ගීයෙහි පැවසෙන්නේ, ආදරයෙන් බැඳුනු දෙදෙනෙකු විවා පත් වූ පසුවද ඒ ආදරය සිත්හි රඳවාගෙන විවාහ දිවියට මුහුණ දීමට ඇති පැතුමයි. විවාහ දිවිය යනු සැම විටම ප්‍රශ්ණ වලින් නිතොර තැනක් නොවන බව ඔවුන් දනී. එහෙත් ප්‍රශ්ණවලට මිනිසුන් මිනිසුන් වහල් බවට පත් කිරීමට ඉඩ නොදිය යුතුය යන පැතුම ඔවුන් තුළ වෙයි.

ඔය නුවන් මේ සවන් අහන දකිනා ඒවා
හොඳ හිතින් එක හිතින් කරන කියනා දේවල්
වසඳමු අතිනත් බැඳන් ඉන්නටයි ඒ වගේ
පැහැදිලිව තව කිව්වොතින් නම්
අපි අපිට හරි ආදරෙයි

කැළුම් මේවා ගීතයෙන් කියන අපූරුව මට ඒ ගීතය විමසන විට වදන් සිය ගණනකින් වත් කීමට ඇති අපහසුවෙන්ම මේ කාර්යයේදී ඔහුගේ ඇති බුහුටි බව පසක් කරයි. නැවත නැවතත් ඒ වෙනස් බව නැවුම් බව ගැන කියන්නට හිතෙන්නේ එබැවිනි.   
කණා මැදිරියනී දිලෙන කළුවරේ ගීතය අසමු. 


 
මේ අතරේ රචනා ශෛලියෙන්ද, සංගීතයේ සහ ගායනා විලාසයද අනුව වෙනස්ම ගීතයකට හිත යොමු කරන්නට සිතුවෙමි. ඒ අතුල සිල්වා ගේ ගීතයකටයි. මේ ගීතයේ රිද්මය වේගවත්ය. නමුත් කියවෙන අරුත වේගවත් නැත.

හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ
මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරීය මේ දීගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ

මේ පෙර ගීතයේ ඇති කතාවම පිරිමි හඬකින් කීම නොවේද? කිසිදු ගැහැණියක හෝ පිරිමියෙකු විවාහ දිවිය අපායක් වනු දැක්මට අකමැතිය. දෙගොල්ලම මෙතරම් අකමැතිව තිබියදීත් බොහෝ විවාහ ජීවිත අපායක් වන කරුණු වෙනම සොයන්නට වටී. මේ සටහන පිටු සිය ගණනක් වනු නොකැමැත්තේ ඒ ගැන මෙහි නොසොයමි.
කෙසේ වෙතත්, හිතුවක්කාර ඈට ඔහු කියන්නේ මහ වැසසක් නොවී මුතු කැට වැස්සක් වන ලෙසටය. එහෙත් තවමත් ඒ ගැන නම් ඈ සිතා නැතිවා සේය. ඒ නිසා වහින විට වහින්නේ මහ වැසිම ය.

බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර
මෝසම් සුළඟ ක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර
තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර
සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර

මේ නම් සංකර බිරිඳකට මහාත්ම පාඩමකි.  මේ පාඩම ඉගෙන නොගත්තොත් විය හැකි දේද එහි මනාව කියා පා ඇත.

සරුංගලේ ලස්සන දිස්වන්නේ උඩු ගුවනේ විතරයි
නූල ගැස්සුනොත් හදිසියෙන් හරි ඒ ලස්සන ඉවරයි
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි

කැළුම්, අතුල ද සිල්වා ට ඔහුගේ ගීත රචනය හසුරුවන්නේ වෙනස්ම විදිහකට වුව, ඒ තුළදීද ඔහු පෙන්වන්නේ අර පෙර කී වෙනසමය.

හිතුවක්කාරයි නුඹ නම් සොඳුර ගීතය අසමු.



සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා
සඳ නිළියේ ඔබ නම්
සැණකෙළියයි මගෙ නම්
කවියන් ගේ දෑසේ රස සීමා පණිනා
සිහිනෙන් රෑ අවුදින්
සුවඳක් සේ ළඟ හුන්
සංවරියේ රන් තිත කෝ මා පිනනා
සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා

මේ කැළුම් ගේ ගීතයේ උස් ම කඳු මුදුණ සේ මම නොකියමි. එහෙත් මට දැනෙන විදිහ අනුව මට එය එසේමය. ඔහු එවැනි තවෙකක් ලියන තුරු මේ ඔහු ගේ ගී අතුරින් මගේ උච්චයයි.

වාත්තු කර ඇති දේහ තලාවට
හේත්තු වෙන්න ද හෙවණැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර සිත හීදැල්වෙයි
හොර රහසේ
හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා
වල්මත් කළ අරුමැසියයි මෙලොවේ

සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා

මෙහි ඔහු කියනා වෙනස් කතාව තවත් අය වෙනත් වචන වලින් කියා ඇත. ඒ බොහෝ අවස්ථාවන්ද නව්‍ය බව දක්වා ලියා ඇතිවා වුවද මෙහි මතු කරණ හැඟුම හරිම වෙනස් ය. ඒ වෙනස ඔබට ද දැනෙනු නිසැකය. පෘථග්ජන සිත් වල නලියන මේ හැඟුම මෙසේම නොවේද?

වීණා බඳ වට කැරකෙන වරලස
අණ දෙන හෘදස්පන්දනයෙන්
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ
මගේ පෘථග්ජන සිතුවිල්ලේ
හොර රහසේ
හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළඟන මගෙ හිත
අවතැන් කළ එකම ළඳයි මෙලොවේ

ගීතය අසමු.
ගායනය - අමරසිරි පීරිස්

පද රචනය - කැළුම් ශ්‍රීමාල්

තනුව - සංගීත් වික්‍රමසිංහ
සුහදිනියේ ගීතය අසමු. 



කැළුම් ගේ ගීත රචනා ශෛලිය පිළිබඳව විමසිය යුතු තව බොහෝ ගී මගේ ඇස නොගැටුණා විය හැකිය. මගේ ඇස ගැටුණු සමහර ගීතද මෙහි කතා නොකළ අවස්ථා ඇත. එහෙත් කතා කළ යුතුම ඔහුගේ ගී පද රචනා ධාරාව පිළිබඳව යම් ඇරඹුමක් ඇවැසි යැයි හැඟුණු බැවික් ඒ ඇරඹුම ගතිමි. මීට වැඩි දුර දිග බලා කරණ විමසුමක් ඊට අවශය බව හඟිමින්ම මේ සටහනට නිමාවක් තැබුමට පෙර තවත් ගීතයක් පිළිබඳව කතා කළ යුතුම යැයි හඟිමි. ඒ මගේ මිතුරා ගැයූ ගිතයයි. නො එසේ නම් ඉමාන් පෙරේරා ගැයූ ගීතයයි.

ඉමාන් 

ගැයූ ලස්සන නිලියේ 


( සංගීතය - මහින්ද බණ්ඩාර )  
කැළුම් විසින් රචිත ගී අතුරින් මා කැමැතිම ගීතයකි. ගමෙන් නගරයට රංගනයට පැමිණි, රංගනය පසෙකින් තබා නටන්නට ගත් ලස්සන නිලියක පිළිබඳව ලියැවුණු ලස්සන ගීතයකි මෙය.

ලස්සන නිලියේ
නුඹ රඟනව දැන් කරලියේ
නුඹ හින්දම මං තාමත් මේ ගැලරියේ
මට අදහ ගන්න බැරි ජීවිත පෙරලියේ
ඉරණම විසඳමි දවසක නුඹ ඉදිරියේ
ලස්සන නිලියේ
නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ

සමාන ශබ්ද දෙන වචන රැසක් කතාවට උචිත අයුරින් යොදා ගනිමින් කළ විශ්මිත නිර්මාණයක් යැයි මට නම් කට පුරා කිව හැකිය. ඊ ළඟ විශ්මය නම්, මෙය මහින්ද බණ්ඩාරයන්ගේ තනුවට මනාව ගැලපෙන සේ නිමවීමයි. ඊ ළඟ විශ්මය නම් මේ සඳහා කර ඇති රූප රචනයයි. මා හැකි තරම් ඒ රූප රචනය මෙහි අමුණන්නට උත්සාහ කරමි. එය එහි රසය නොමරණ බැවිනි.

මේ කතන්දරේ අවිහිංසක ගෙවිලියේ
එය නුඹට ඔබින භූමිකාව සොඳුරියේ
ලෙල දෙන දේහේ රහස් ඔසුව හෙරලියේ
ඒ වදන් මොටද නේද කෝල දැරිවියේ
ලස්සන නිලියේ
නුඹ හින්දම මං ඉන්නව මේ ගැලරියේ

හොඳ බයිස්කෝප් ලැබුණෝතින් හදිසියේ
උඹ වෙනස් වෙලා යාවිද පැණි මුරිසියේ
ඉඩ තියන්නෙපා ළගින්න මට පොලිසියෙ
නුඹ නැතිනම් මට මරණෙ සැපයි කුරුසියේ
ලස්සන නිලියේ
නුඹ හින්දම මං මැරෙණව මේ ගැලරියේ

ලස්සන නිලියේ ගීතය අසමු. 





ඉතින් යළිත් මෙවන් නිර්මාණ කළ කැළුම් ගැන මට කියන්නට වන්නේ ඔහු ගැන ලියූ පළමු සටහනට යෙදූ මාතෘකාවයි.
හරිම සරලව කිවුවොතින් නම්,
කැළුම්,
උඹට මං හරි ආදරෙයි......!




-         යසනාත් ධම්මික බණ්ඩාර   -