Sunday, December 15, 2013

ගීතයක රූප රචනය ගීත රචනය මරා නොදමන්නට නම්....





අද යම් කතා බහක් ඇතිවුණා ගීත වලට කෙරෙන රූප රචනා ගැන. එහිදී එක් මිතුරෙක් මගේ ගීතයක් ගැන අසා ඊට කර ඇති රූප රචනයෙන් කියවෙන කතාව සහ ගීතයෙන් කියවෙන කතාව එකමද නැතිනම් දෙකක්ද යන්න මගෙන් විමසුවා. ඒ අන් ගීතයක් ගැන නොව නවරත්න ගමගේ සංගීතවත් කොට ඉමාන් පෙරේරා ගැයූ මගේ සුවඳ මල් රේණු පිස එන - හාදු දෙන සිහිල් මදනල - නුඹට සමානා... ගීතයට ජාතික රූපවාහිනියේ 16+ වැඩ සටහනට අතුල සමරකෝන් කළ රූප රචනය ගැනයි. ඇත්ත වශයෙන්ම ඒ රූප රචනයේත් මගේ ගීතයේත් කතතාව ගත්තොත් එහි වෙනසක් ඇතත් ඒ රූප රචනය තුළ මට ජීවත්වන්නට හැකියි.




රූප රචකයාත් නිර්මාණ කරුවෙක්. ඔහු මා සිතන ලෙසම ඒ ගැන සිතා  තම නිර්මාණය කිරීම අවැසිම නෑ. ඔහු දකින අයුරින් එය සිදුකළ හැකියි. එහෙත් ඉන් ගීත රචකයා නිශේදනය නොවිය යුතුයි. මේ ගැන විවිධ ගීත ඇසුරින් පැහැදිලි කිරීම් කළ හැකියි.

අන් අයෙකුගේ  ගීතයක් ඉදිරිපත් කර උදහසට ලක්වනවාට වඩා මගේම ගීතයක් දෙකක් ඇසුරින් එය ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතනවා. මෙයද සමහර විට සමහරුන්ගේ උදහසට ලක්වීමට හේතුවක් විය හැකියි. එහෙත් මෙය උරණ වීමට නොව සිතා බැලීමට යොමු කිරීමක් බවද ලියා තබනු කැමැත්තෙමි.

රන් රුවැත්තී - මුදු සිතැත්තතී

ලකල් - සුනිමල් - සිත් සොරා ගත්තී

තී ප්‍රේමවන්තී...

යනු මවිසින් ලියා ආනන්ද ගුණසේකර සින්දු කියන දොස්තර මහතා විසින් ගැයූවකි. මෙම ගීතයට සංගීතය සැපයූවේ ආචාර්ය රෝහණ වීරසිංහ විසිනි. පසු කළෙක ආනන්ද ගුණසේකරයන්ගේ පළමු ගීත සංයුක්ත තැටිය රන් රුවැත්තී ලෙස නම් කිරීමට හේතු වූයේද මේ ගීතයයි.

මෙම ගීතය තාරුණ්‍යයේ පිපි මලක් බඳු වූ යුවතියක් ගැනය. ගීතය ලියන මොහොතේ මසිත සක්මන් කළේ කුමන යුවතියක් වන්නට ඇතිද? ඇය මම ඉපදී හැදුණු වැඩුනු ගැමි පරිසයේ සුන්දරත්වය රැගත් යුවතියකි. එම පරිසරය පිස එන සුවඳ මුසුවුන යුවතියකි. ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නැත. ගීය අසන විට එය වැටහෙනු ඇත.

දැන් මෙම ගීතයට රූප රචනාවක් කරන්නේ නම් එහි රඟන යුවතිය මා කී හැඩ හුරු කමින් යුතු එකියක් විය යුතුය. මගේ වාසනාවට එවන් රූප රචනයක් කෙරුණි. ඒ අනෙකෙකු විසින් නොව අප මහත් ඇළුම්  කළ රූප රචකයෙකු විසිනි. එනම් රවීන්ද්‍ර මුණසිංහ විසිනි. මා සිතූ ලෙසම ඊට යොදාගත් පරිසරය ගැමි සුවඳ හමන පරිසරයක් විය. නිරූපිත සිදුවීම් ගැමියන්ට හුරු ඒවා විය. යොදා ගත් යුවතිය ගැමි යුවතියකැයි සෑහීමකට පත්විය හැකි එකියක වූවාය. ඇත්තටම රවීන්ද්‍ර මුණසිංහයන් විසින් ඒ ගීය තුළ වූ මගේ සිතුවිලි ජීවත් කරවීය.

මේ එම ගීතයේ රූප රචනය වෙත දිගුවයි.

http://www.youtube.com/watch?v=5OwDO133q0w


මේ රූප රචනාව බැලු ඔබ ඇයි මෙවැනි ලිපියන මේ ගීය ගැන කතා බහ කරන්නේ කියා සිතනු ඇත. ඒ අනෙකක් නිසා නොව පසුකලෙක මේ රූප රචනාවම මොඩිෆයි කරන්නට යාම නිසා එතෙක් මා හට ඒ තුළ සමාදානයෙන් සැතපී ඉන්නට තිබූ ඉඩ අහිමි වූ බැවිනි. දැන් ගීතය තුළ රඟන්නේ මා සිතතුළ සක්මන් කළ රන් රුවැත්තිය නොව අන් සංකර ළඳකි. එනිසා මගේ කතාව ඒ ගීතය තුළ නොමැත. මා අසීරුවෙන් ලියූ වචන උපයෝගී කරගෙන අනෙකෙකුට අවැසි කතාවක් කියන ආකාරය බලා සිටින්නට මට සිදුවී ඇත. දැන් රූප රචනය තුළ මට ජීවත් වන්නට තබා ඒ තුළ මියැදෙන්නටවත් සිත නොදේ. රූප රචනා මගින් ගීත රචකයා මරා දැමුණු අවස්තාවකට මෙය හොඳ උදාහරණයකැයි මට සිතේ. මෙවැනි උදාහරණ එමට ඔබට හමුවනු ඇත. ඒ නිසා ඒ කතාබහට මුළ පුරමු.



මෙන්න මාද රන් රුවැත්තීද මරා දමා සංකර වුණු රූප රචනයට යන දිගුව.
  



මෙලෙසම වූ තවත් ගීතයක් තියෙනවා. ඒ ගීතයට යෙදුනු රූප රචනය නිසා මට මගේ ගීතය තුළවූ ආත්මය අහිමි වුණා කියා මට හිතෙනවා. මේකට මමත් වගකිව යුතුයි. ඒ අනෙකක් නිසා නොව මේ ගීතයේ තත්පර කිහිපයක මමද පෙනී සිටින බැවින්. ගීතයේ ඉතුරු පටිගත කිරීම් මගේ අදහස් හා සමගාමී වනු ඇතැයි සිතූ බැවින් එය නිකුත් වන්නට පෙර එහි අන්තර්ගතය නොවමසීම පිළිබඳව මා අනන්ත කණගාටු වෙනවා.  ඒ අවසන් නිර්මාණය තුළ මා එම ගීතයෙන් අදහස් කළ දේට සපුරා වෙනස් දෙයක් කැටිවීම. මේ ගීත මගේ ගී අතුරින් හොඳම ගීත ලෙස මම සලකන බැවින් මේ වේදනාව මට වඩාත් දැනෙනවා.

වළාකුළු පෙළින් බසින්න - ඇවිත් මල් ගැබේ නිදන්න

චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ - මටද ආදරේ....

කවුරුන් හෝ මේ ප්‍රේමය පිළිබඳ විමසන්නේ සඳවතියගෙනුයි. සඳවතියගෙන් ප්‍රේමය පිළිබඳ සිතුවිලි විමසන තරුණයා අනෙකෙකු නොව මහා උයනක, උයන්පල්ලෙකු ලෙසයි මගේ සිතේ පැළපදියම්ව තිබුණේ. ඉතින් සඳවතියත් සමග ඔහු මනසින් බැඳෙනවා. කයින් හිතන්නටවත් බැරිතරම් දුරස්. ඒක අමුතුම හැඟීම් සම්භාරයක් සමග යන දෙයක්. රූප රචනයේ වගේ සරල සෘජු කතාවක් නොවෙයි.  ඉතින් මේ රූප රචනයට පෙර මට මගේම ගීතයක් තුළ මගේ නොවන හැඟීම් වගයක් තිබුණා.




දැන් මේ රුපය සමග බලනකොට මේ ගීතයත් මගේ නොවෙයි. මේ හැඟීමත් මගේ නොවෙයි. ඒවා මගේම කර ගැනීමට නම් මේ රූප නැතිව ඇස් දෙක පියාගෙන ගීය අසන ගමන් මගේම රූප පෙළක් මවාගන්න ඕනෑ. නැතිනම් අවම වශයෙන් එහෙන් මෙහෙන් ඇහිලූ රූප ටිකක් එකතුකර කළ මෙවැනි වෑයමක් වත් වෙන්න ඕනෑ.
 




 - යසනාත් ධම්මික බණ්ඩාර -











Wednesday, September 4, 2013

බ්ලොග් අඩවියක හෘද සංවාදය



ඔයා බ්ලොග් අඩවිවලට ලියන්නෙ නැද්ද?

මා සේවය කරන පාසලේ මට වඩා බෙහෙවින් ළාබාල නිර්මාණකරණය කෙරෙහි උනන්දුවක් දක්වන ගුරුවරියක් මගෙන් විමසුවා ය. මම නැතැයි කීමි. එහෙත් මා පුවත්පත්වලට ලියූ ඇතැම් ලිපි බ්ලොග් අඩවිවලට ඇතුළත් ව ඇතැයි කීමි.

ලියන්නෙ නැත්නම් අඩු ගණනෙ කියවන්නෙ වත් නැති ද?” ඇය අසන්නී ය. ඒ නවීන සාහිත්‍යාංගය පිළිබඳ මගේ දැනුමේ දිළිඳුකම මම අවංකව ම ප්‍රකාශ කළෙමි.

මම අයියත් එක්ක විවේකයක් ලැබෙන වෙලාවට බ්ලොග් කියවනව. අයිය හරි ම කැමතියි බ්ලොග්ස්වල කවි කියවන්න.” (අද කාලයේ තරුණියන් අයියා යනුවෙන් අමතන්නේ වැඩිමහලු සොහොයුරාට නොවේ. එක්කෝ පෙම්වතාට ය. නැතහොත් සැමියාට ය. මේ ගුරුවරිය ද අයියා යනුවෙන් සඳහන් කරන්නේ සිය සැමියා පිළිබඳව ය.)

බූන්දියවැනි වෙබ් අඩවිවල ඇතුළත් කවියක් නැතහොත් රසවත් ලිපියක් මා බොහෝ විට කියවා ඇත්තේ රාවයවැනි පුවත්පතකින් නො වේදැයි මම කල්පනා කළෙමි. කෙසේ හෝ කාර්ය බහුලව ගතවන කාලයෙන් කිසියම් ඉඩක් බ්ලොග් අඩවි කියවීම සඳහා ද වෙන් කර ගත යුතු ය.

පසුගිය දවසක මට යසනාත් සිතුවිලිනම් බ්ලොග් අඩවියක් කියවීමට ලැබිණි. යසනාත් සිතුවිලි ඉදිරිපත් කරන්නේ වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාරයි. දැනට තඹුත්තේගම දිසා රෝහලේ රෝහල් අධිකාරිවරයා සේ කටයුතු කරන යසනාත් සිය සරසවි දිවියේ පටන් ම කවිය හා ගීතය කෙරෙහි බැඳුණු සිතැතිව කටයුතු කළ අයෙකි. 90 දශකයේදී නිරතුරු ව පුවත්පත් කවි පිටු අතර සැරිසැරූ ඔහු ඉනික්බිති පතන්බිමහා මුරගලයන කාව්‍ය කෘති පළ කළේ ය. මහින්ද කුමාර දළුපොත හා තිඹිරියාගම බණ්ඩාර සමඟ එක්ව හඬනමින් විශාරද ගුණදාස කපුගේ පිළිබඳ කෘතියක් කරන්නට ද යසනාත් ධම්මික බණ්ඩාර දායක වූයේ ය. 1999 දී සහෘදයනට තිළිණ කළ කිඳුරු ගීතයයසනාත්ගේ ගීත ඇතුළත් වූ මුල් ම සංගත තැටියයි.

අනතුරුව ඔහු ගී කෘති දෙකක් අඟුටුමිට්ටාගේ ප්‍රේමයහා උයන්පල්ලාගේ සඳවතියනමින් රසික ප්‍රජාවට තිළිණ කළේ ය. යසනාත් ධම්මික බණ්ඩාර ලියූ ගී අතර රසිකයන් අතරට ගිය ගී බොහෝ ගණනක් වෙයි. ඉමාන් පෙරේරා ගායනා කරන සුවඳ මල් රේණු”, ජානක වික්‍රමසිංහ ගායනා කරන නොනිදා ඉන්න එපා දේවී”, සමන් ජයනාත් ගායනා කරන ගාන තෙල් සඳුන් වරලස”, අමරසිරි පීරිස් ගායනා කරන ආලවත්ත වීදියේ”, රශ්මි සංගීතා සමඟ ඩබ්ලිව්. ඩී. ආරියසිංහ ගයන වලාකුළු පෙළින් බසින්නවැනි ජනප්‍රිය ගී රැසක් ඒ අතර වෙයි.

යසනාත් ධම්මික බණ්ඩාර සිය යසනාත් සිතුවිලිලිවීම ආරම්භ කර ඇත්තේ 2012 දෙසැම්බර් 9 වැනිදා යි. එදා මෙදාතුර (2013-8-4 දින දක්වා) 11287 දෙනෙක් එම ලිපි කියවා ඇති බව යසනාත් මා හා ප්‍රකාශ කළේ ය. යසනාත් සිතුවිලි http://yasanathsithuwili.blogspot.com/හරහා කියවිය යුතු ය. යසනාත් සිය සිතිවිලි සමුදාය දිගහරින්නට පටන් ගන්නේ ගීත රචක ධම්මික බණ්ඩාරගේ සංගත තැටියක් පිළිබඳ විවරණ ඉදිරිපත් කරමිනි. අනතුරුව ඔහු අතරමගකදී අතුරුදහන් කරන ලද ගායකයෙකුපිළිබඳ කතා කරයි. කිසියම් ගායකයෙකු මහමඟ දී පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද්දේ ද? අප සිත පැනයක් මතු වෙයි. නැත. ඒ සංගීතය පිළිබඳව ම අවධානය යොමු කිරීම නිසා සහජයෙන් ලද හඬ කෙරෙහි නිසි අවධානය නො දැක්වූ කරුණාරත්න විජේවර්ධනනම් සංගීත ශිල්පියා පිළිබඳ සටහනකි.

යසනාත් සිතුවිලි අතර මා කියවූ සඳ කිඳුරියට බැඳුණු කවි ගීතනම් දිගු බ්ලොග් ලියවිල්ල වෙසෙසින් මා සිත් ගත්තේ ය. යසනාත් මුලින් ම සඳ කිඳුරු දා කව පිළිබඳව විවරණයක යෙදෙයි. අනතුරුව ජාතක පොත ගැන කියමින් චන්ද කින්නර ජාතකයද සැකෙවින් දක්වයි. ඉනික්බිතිව කින්නර කතා පුවත මෙන් ම එහි නම ආශ්‍රය කරගත් ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරු, අශෝක හඳගමගේ චන්දකින්නරීවැනි නාටක හා සිනමා කෘති පිළිබඳව ද සඳහන් කරයි. ඉන්පසු ඔහු ගෙනහැර දක්වන්නේ සඳ කිඳුරු කතා පුවත සදාශ්‍රය කරගනිමින් ලියැවුණු කවි හා ගීත සමුච්චයකි. ඔහු එහි එන ගීත ශ්‍රවණය කිරීමේ අවස්ථාව ද බ්ලොග් පාඨකයාට ලබා දෙයි. එමතු නො වේ.

එම කවි හා ගීත පිළිබඳ දීර්ඝ විවරණයක් ද විචාර පූර්ව දෘෂ්ටියකින් යුතුව ඉදිරිපත් කරයි. කුමාර හෙට්ටිආරච්චි ලියූ කිඳුරා නගින්නේ බසයට බොරැල්ලේ”, සුදත් ගාමිණී බණ්ඩාරගේ නාඩගමවැනි කවි ගණනාවක් මෙන් ම රත්න ශ්‍රී විජේසිංහ ලියූ සඳ ගිරිපව්ව කොහේදෝ” (ප්‍රේමසිරි කේමදාස/ ප්‍රදීපා ධර්මදාස)සඳකිඳුරා මියගියා ගෙදර එන්න නංගියේ (ගුණදාස කපුගේ/ ජානක වික්‍රමසිංහ), උබේනන්ද දිසානායක ලියූ චන්ද කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්” (රෝහණ වීරසිංහ/ කරුණාරත්න දිවුල්ගනේ), රවී සිරිවර්ධනගේ සඳ ගිරි පව්ව උසයි”, ආචාර්ය අජන්තා රණසිංහගේ පාළොස්වක සඳ පායනු වැන්නේ” (ප්‍රේමසිරි කේමදාස/ පණ්ඩිත් අමරදේව හා නීලා වික්‍රමසිංහ) වැනි ගීත ගණනාවක් එම ගී එකතුවට අයත් ය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝහා මළවුන්ගේ අවුරුදු දායන සම්භාවනාවට ලක් වූ නවකතා ද්වය ඇසුරින් බිහි වූ කවි හා ගීත පදනම් කරගෙන යසනාත් සිතිවිලිසඳහා යසනාත් ධම්මික බණ්ඩාර පෙළගස්වන බ්ලොග් ලිපිය ද අපූරු ලිපියකි. සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ ඇසුරු කොට ගත් පැරණි මෙන් ම නූතන ගීතාවලියක් මෙන් ම ඒ පිළිබඳව විචාරාත්මක විමසුමක් ද ඊට අඩංගු ය. (මළගිය ඇත්තෝ උසස් පෙළට හදාරණ සිසු සිසුවියන්ට මෙන් ම ගුරු භවතුන්ට ද මෙම ලිපිය කියවීම වැදගත් යැයි හැඟේ.)

යසනාත් ධම්මික බණ්ඩාර වෙද නළාව උපයෝගී කරගන මිනිස් හද ස්පන්දනය වන රිද්මය හඳුනාගන්නා අතර ම සාහිත්‍ය තුළින් ඉසියුම් මිනිස් සිතිවිලි හඳුනා ගන්නට වෙර දරන ආකාරය යසනාත් සිතුවිලි තුළින් පිළිබිඹු වෙයි.

මහානාම දුනුමාල