Monday, June 27, 2022

ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

 


හෙන්රි කල්දේරා නාමය අපේ පොඩි කාලේ අපේ ඔළුවල තැන්පත්ව තිබුණේ ඒ නමින් නොවේ.

තත් තත් තත් තාර පැටියා යන නමින්.

ඒ ඔහුගේ අතිශය සුන්දර සහ ජනප්‍රිය ගීතයක් වූ

පුතා මගේ තාර පැටිය තාත්ති අතේ දොයි කියන ගීතය නිසාවෙනි.

මා බාල වියයෙන් නව යොවුන් වියට එද්දී වඩා මතකයේ රැඳුනු ඔහුගේ ගීතය වුණේ

 

මිදුලේ සුදු වැලි තලයේ

මිරිවැඩි සඟලක සලකුණු

දැක මා හද පතුළේ සැකයකි උපදින්නේ

මා නිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ

කවරුදු ආවේ නිවසට කවුරුද ආවේ....

 

ගීතයයි.

 

මේ හෙන්රි කල්දේරා ගේ ගීත කීයක් නම් මේ විදිහට අපගේ සිත් දිනා ගන්නට ඇතිද?

බොහෝමයක්ම ඔහුගේ ගීත අප සිත් දිනා ගැනීමට සමත් වුණු ඒවාය.

එහෙත් මේ ඒ ගී ගැන කතා කරන්නට මුළ පිරුමක් නොවේ.

වෙනත් හේතුවක් නිසාය.

මට කෙසේ වත් ගීත ගායනා කළ නොහැකිය.

ගැයුවත් එය කෙනෙකුට අසන්නට සිතෙන ගැයුමක් වන්නේ නැත එය.

ගී ගැයීමට කොතෙක් බැරි වුව, තෝරා ගත් සීමිත මිතුරු හමු කිහිපයකදී පමණක් ගී ගැයීමට මමද ප්‍රියය.

මා ගී ගයන බොහෝ අවස්ථාවලදී එහි සිටින සැමම පාහේ බොහෝ විට මීවිතකින් තරමක් හෝ මත්ව සිටිනුයේ මගේ ගැයුම් ඔවුන් ඉවසන්නට ඔවුන්ට පුරුදුය.

එපමණකින් නොනැවතී සමහර විට අරක කියමු මචං මේක කියමු මචං කියන අවස්ථාද බොහෝ වෙයි.

මේ බොහෝ ගීත එම මතින් මිදුණු විටක යළි නොඇසීමට අප පරෙස්සම් වෙමු.

මෙන්න මේ වැනි හමු වලදී අප ගයන්නට රිසි වුණු කල්දේරා ශූරීන්ගේ ගීතයක් වූයේ

 

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා

දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා

යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා

ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

 

ගීතයයි.

ඇත්තටම එය අතිශයින් සුන්දර වූ ගීයකි.

හෙන්රි කල්දේරා ගයන බොහෝ ගීත වල රචකයාද සංගීතඥයාද ඔහුම වන බව කීවොත් සමහරුන්ට එය අලුත් තොරතුරක් වන්නට වුව ඉඩ ඇත්තේ ඔහුගේ නාමය වඩාත් පතළ ව ඇත්තේ ගායකයෙක් ලෙසින්ම වන බැවිනි.

එහෙත් මේ කියන ගීතයත් තවත් සමහර ගීතත් ඔහුම ලියා සංගීතවත් කර ගයන ඒවාය. ඒ ගැන වෙනම දවසක වෙනම ලියන්නට අවැසිය. ඇත්තටම ඒ අදහස ආවේ මේ මොහොතේ නොවේ. මීට සෑහෙන කලකට පෙර දී ම ය. එහෙත්, යම් යම් කම්මැලි කම් හේතුවෙන් ඒ සටහනද, මුළ පුරා ඇති තවත් සටහන්ද ප්‍රමාද ය. සමහර ඒවා බොහෝ සේ ප්‍රමාද ය.

මේ ගීතය ගැන වෙනම ලියන්නට සිත් වූයේ අප විසින් එය අර වැනි හමුවීම් වලදී ගයන්නට යෙදුනු නිසා නොවේ. ගීතය වෙනත් රසයකින් අසන්නට කළ සොයා බැලීම් වලදී හමු වුණු ගැයුමක් නිසා ය.

අනතුරුව මේ වැනි ගැයුම් කිහිපයක්ම හමු වුණු නමුදු වඩාත්ම සිත් ගත් ගැයුම සහ මා හට රසවත්ම ගැයුම වූයේ  


 නිශාන් බුද්ධික  

නම් වන ගායකයෙකුගේ ගැයුමයි. මේ සටහන ලියන්නට මූලිකම හේතුව වූයේ මා ඉන් ලද අමිල රස තවමත් එහි රස නොබැලූ සහ ඒ ගැන නොදත් පිරිසක් අතරේ බෙදා දීම මා සතු යුතුකමකැයි හැඟුනු බැවිනි.

කෙසේ වෙතත්, එම ගැයුම් ගැන විමසුමට පෙර මුල් ගීතය ගැන කතාව අසවන් කර සිටීම යුක්ති යුක්තය. එබැවින් එයට යොමු වෙමි.

මේ හෙන්රි කල්දේරා විසින් නිර්මාණය කළ ගීතයේ සම්පූර්ණ පද රචනයයි.

 

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා

දකිනු රිසි නොවී හිතකට දෙවන වද ඔයා

යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා

ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

 

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා

වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා

සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරී

මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී

 

ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා

සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා

සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා

ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

 

හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි

ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී

පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී

මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි

 

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා

දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා

යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා

ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

 

යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා

ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

ගායනය, සංගීතය, ගී පද - හෙන්රි කල්දේරා

ගීතය විමසීමේදී මෙය ළදරු වියේ සිට තමන් හා කෙළි දෙලෙන් බැඳුනු යෙහෙළිය පිළිබඳ තම යොවුන් සිත පෙම්වත් වෙද්දී තවමත් තමන් වෙනුවෙන් සිය පෙම ප්‍රකාශ කරන්නට ඇය ප්‍රමාද වීම නිසා ඔහු තුළ උද්ගතවූ නොසන්සුන්තාවයි අපට හමු වන්නේ.

එය විවිධාකාර සොඳුරු අවස්ථාවන් සහ වදන් වලින් ඔහු ගීතයට නඟයි. එය ඔහුගේ හදවතින්ම බලකරණ තනුවක් තුළට ඔහුම ගොනු කරයි. ඊටම ගැලපෙන සංයමයෙන් ඔහුම ගීතය ගයයි.

මෙම හැඟුම මුළ් ගීතයට වඩා යම් වෙනස්කම් සහිතව උද්දීපනය කරන්නට උත්සාහ ගත් යොවුන් ගායකයින් කිහිපදෙනෙකුගේ වෑයමයි මම මෙහි අදාල ගැයුමට පිවිසෙන යූ ටියුබ් දිගුවන් සමග සඳහන් කරණුයේ.

මතක් කළ යුතු කරුණ නම් යළිත්, ඒවා එකිනෙකක් රසභාවයන්ගේ එකිනෙකට තරමක් වෙනස් පරාසයන් ස්පර්ෂ කිරීමයි.

සහ එමෙන්ම මුල් ගීතයට හානි නොකරන්නට සදාචාරවත් වීමයි.

මේ හෙන්රි කල්දේරා ගේ ගැයුමයි. නමුත් එය මුල් ගැයුම නොවේ. පසුකාලීනව නව රිද්මයට කළ එකකි. එවිට මුල් ගීතයේ හැඟීම්බර ස්වරූපය යම් පමණකින් විනාස ව ඇත.

කෙසේ වෙතත් මෙතැනින් අපි එය අසා යමු.



එහි මුල්ම ගීතය හමු වූවත් එහි ශ්‍රවණ තත්ත්වය අතිශයින් දුර්වල මට්ටමක පවතින හෙයින් එය මෙහි අමුණන්නට වෑයම් නොකළෙමි.

දැන් අපි යොමු වන්නේ මේ ගීතය වෙනත් අය විසින් ගයනු ලැබූ අවස්ථාවන්ගෙන් ප්‍රශස්ථ ගැයුම් කිහිපයක් වෙත යොමු වෙන්නයි.

මුළින්ම කී ලෙස නිශාන් බුද්ධික ගායකයා විසින් ගයනු ලැබූ ගීතය මා සිතට වඩාත් ම සමීප ගැයුම වෙයි. ඉතාමත්ම අඩු සංගීත භාණ්ඩ ප්‍රමාණයක් සමගින් අතිරේක සද්ද බද්දයන් සපුරාම ගාවා නොගන්නා ඔහු සිය කට හඬට එහි වැඩි ඉඩක් දෙනු පෙනෙයි. එහි හෙන්රි කල්දේරා ගේ හඬ නොඇසෙන නමුත් එම හඬේ වර්ණය හෙන්රි කල්දේරා ගේ හඬෙහි වර්ණයට සෑහෙන තරම් සමීප වෙයි.

මේ නිශාන් බුද්ධික ගේ ගැයුම වෙත පිවිසුමයි.



එහෙත් ඒ අතරේම යම් තවත් නවීකරණය වුණු රසභාවයන් උද්දීපනය කරන එහි වෙනත් ගැයුමක්ද හමුවුණි. එහි යෙදී ඇති සංගීතයේ ද ගැයුමේ ද තරමක් ඉංගිරිසි ඌරුවට කරණ බර කිරීම තුළ ද මට අමුතු රසක් දැනුනි.

‍ප්‍රධානම දේ නම්, මේ ගැයුම් අවස්ථාවන් දෙකෙහිදීම මුල් ගීතය නොමරා, වෙනත් රසයන් මතු කරන්නට ඔවුන් සමත්ව තිබීමයි.


මේ මළිඳු ගේ ගැයුම වෙත පිවිසුමයි.



තවද පේෂල රවිඳු විසින් කරණු ලැබූ ගැයුමක්ද තවත් ආකාරයකින් අප රස නහර පිනවන්නේ මුල් ගීයට හානියක් නොකරමිනි.

මේ පේෂල ගේ ගැයුමට පිවිසුමයි.



එමෙන්ම යෙලෝ බීට්ස් නම් ගායිකා කණ්ඩායමක් විසින්ද මෙහි ගැයුමක් ඉදිරිපත් වෙයි. ඔවුන් ගීතය තුළ වෙනස් වෙනස් සංගීතමය මානයන් සොයන්නටද උත්සාහ කරණු පෙනෙයි. එහිද අමුතු රසයක් ඇතත්, මුල් ගීතයට ළඟින්ම යන වෙනසක් පමණක් ඉවසන කෙනෙක් මේ ගැයුමට අකමැති වන්නටද ඉඩ ඇතැයි සිතේ. නමුත් තරමක් විවෘත මනසකින් බැලුවොත් එයද ඉතා  උත්සාහයක් සේ පෙනේ.

Yellow beatz ගැයුමට මෙතැනින් පිවිසෙන්න



මියුරු සෝමරත්න නම් ගායකයෙකුද එහිම වෙනත් ගැයුමක් ඉදිරිපත් කරයි.

එහිද අමුතු රසයක් වෙයි.

මේ මියුරු සෝමරත්න ගේ ගැයුමයි.



අමිල සඳරුවන් නම් ගායකයෙක්ද ම් සඳහා ගැයුමක් ඉදිරිපත් කරණු ලබයි.

මේ අමිල ගේ ගැයුමට පිවිසුමයි.



 

මේ සියල්ල ප්‍රසාද ජනකය.

රසවත්ය. වඩාත් වටින්නේ අතීත නිර්මාණයන්ගේ රසය හොයන පරපුරක් එහි යම් යම් වෙනස්කම් සහිතව යළිත් ඒවා ඉදිරිපත් කරන්නට පෙළඹී සිටීමයි.

මේ කාර්යය විවිධ අය විවිධ අයුරින් දකිනු දැකිය හැකි වෙයි. මම නම් ඒවා දකින්නේ විය යුතු දේ ලෙසය. නමුත් පෙර නිර්මාණකරුවන්ගේ හිත නොරිදන නිර්මාණයක් කිරීම ඔවුන්ගේ වගකීමය. පෙර නිර්මාණකරුවන් මතු නොව පෙර රසිකයන්ගේ රසිකත්වයටද යම් ගැලපීමක් සහිතව ඒවා නිම වෙන්නේ නම් වටිණාකම් තවත් වැඩි වනු ඇත.

අතීත නිර්මාණවල රසභාවයන් වර්තමාන නිර්මාණවල බොහෝ සේ දුලබය. එවැනි නිර්මාණ පරිහරණය කරණ රසික සමාජයට සැබෑ රසය යනු කුමක්ද යන්නට එබී බලන්නට මෙවැනි නිර්මාණ වඩාත් සහායක් වෙයි.

මේ සියල්ලට මගේ සුබ පැතුම් එකතු වෙන්නේ මගේ රසයටද ඔවුන් සංග්‍රහයක් කළ බැවිනි.

 

 -      යසනාත් ධම්මික බණ්ඩාර   -

3 comments:

  1. අපූරුයි

    ReplyDelete
  2. ස්තුතියි යසනාත් මේ සොඳුරු ගීතය ගැන සඳහන් කලාට. ඇත්තටම පුදුම සෞන්දර්‍යාත්මක අදහස් ගොන්නක් සිතට මතුකරන ගීතයක්. 'යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා', 'සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා' වැනි පද හෙන්රිගේ පද රචනා කුසලතාව ගැන දෙස් දෙනවා. මට ගීය මුල් සංගීතයෙන් ගැයුනු අවස්තාවක් හමුවුනා මෙතන https://www.youtube.com/watch?v=vlwsSPD5X9w

    ReplyDelete