Sunday, September 4, 2016

සුනිල පළිඟු දියෙන් සපිරි පොකුණ මා තමයි





ගී පද රචකයෙක් විවිධ ගායක ගායිකාවන්ට ගී පද රචනා සම්පාදනය කරනා විට ඔහු විසින් ඒ ගායකයා හෝ ගායිකාව ගේ ගායන ශෛලිය, රුචි අරුචි කම් සේම ඔහු සිටින ජනප්‍රියත්වයේ මට්ටමද සලකා බලනු ලබයි. ඒ අනුව ඔහුට හෝ ඇයට ගැලපෙන ගීතයක් නිර්මාණය කරගත හැකි පද රචනාවක් සැපයීමට උත්සුක වෙයි. 

එච්. ආර් ජෝතිපාල  
යනු ඔහු ක්ෂේත්‍රයට පිවිස ඉතා සුළු කලක සිට, මිය ගිය පසුව අද දක්වාමත් ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටි ගායකයෙකි. කිසියම් ගීත රචකයෙකුට එවන් ගායකයෙකුට ගීයක් ලියන්නට අවස්ථාව ලද හොත් එය මහත් වූ අභියෝගයක් වෙයි. එවන් අවස්ථාවක ඔහු ජෝතිට ලියා දිය යුත්තේ මෙවැනි පද රචනයකි.

මහද නමැති වන බඹරා
ළං වී කනට ඔබේ
ආදරේ කියයි මෙසේ
හ්ම් හ්ම්ම් හ්ම් හ්ම්ම්

මලින් මලට ඉගිළිලා
රොන් උරන්නෙ නෑ මෙමා
ඉගිල එන්නෙ ඔයා ළඟට නේ
කටු අත්තක පැටලිලා
අයින් වෙන්නෙ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ
රස මියුරු මේ සැන්දෑවේ
ආදරේ කියය් මෙසේ
හ්ම් හ්ම්ම් හ්ම් හ්ම්ම්

සිඟිති ඔබට වෙහෙස දී
හිරු නැගෙන්න පළමුවෙන්
ජීවන රස මිහිර විඳගමූ
හෙටක් නොමැති අප ලොවේ
අද පමණයි හමුවුණේ
ඉතිං කිමද තව ලතැවෙන්නේ
රස මියුරු මේ සැන්දෑවේ
ආදරේ කියයි මෙසේ
හ්ම් හ්ම් හ්ම් හ්ම්

මේ අභියෝගය මෙසේ ජය ගන්නා ගීත රචකයා වන්නේ අප මේ දිනවල කතා බහ කරමින් සිටින,  


බණ්ඩාර කේ. විජයතුංග
යි. අභියෝගයක් ජයගැනීමේදී එය මොන තරම් අපූරුවට ජයගන්නා ලද්දේද යන්න, එම ගීතයට අදටත් ඇති අති මහත් ජනප්‍රියත්වය මතින් ඔබට එය මැණ ගත හැකිය.

මේ ගීතයේ ඇත්තේ මොන වගේ කතාවක්ද? එය සරල පෙම් කතාවක්ද? පෙම් කතා සරලද?

පෙම් කතා නිර්මාණයන්ට නැගුණු අවස්ථා ගත් විට සමහර විට ඒවා සරල සහ බොළඳ වුව, සැබෑ පෙම් කතා එලෙසින්ම සරල සහ බොළඳ ද යන්න විමසා බැලිය යුතුය. සරල බව සහ බොළඳ බව යමෙක් මනින්නේ යමෙකුට හෝ යමකට සාපේක්ෂවය. මේ නිසා එකිනෙකා ඒ ගැන විවිධ අදහස් දක්වතත්, මා නම් සිතන්නේ සැබෑ ලොවේදී සරල සහ බොළඳ ලෙස දකින පෙම් කතා වුව සංකීර්ණ බවයි. අප මණින්නේ දකින දේ මිස දැක ගත හැකි දේ නොවෙන බැවිනි.

මේ ගීතයේ ඇත්තේ එවන් සරල බොඳ පෙම් කතාවක්ද? එය ලියැවී ඇත්තේ සරලව සහ බොළඳවද? මා පෙර කී ලෙසින්ම, අපි එය මනින්නේ දකින දේ මතය. දැක ගත හැකි දේ අනුව එය වෙනස් ය.

මේ ගීතයේ සිටින්නේ හදවත නමැති වන බඹරා මිස පරිසරයේ පියාඹන රොන් සොයන වන බඹරෙකු නොවේ. හදවතේ එම කතාව කෙළින්ම කියනවාට වඩා ඔහු වන බඹරාගේ ක්‍රියා කලාපය ඔස්සේය ඔහු හදේ සිතුවිලි කියා පාන්නේ.

හදවත නමැති වන බඹරා ළංවෙන්නේ කුසුමක සවනට ය. සවනට ළං වී කියන්නේ ආදරය ගැන කතාවය. ඒ කතාවට අන් වචන නැත. ඇත්තේ හම්....හ්ම්.....හ්ම්.... යන වචන වලින් සැදුනු කතාවකි.

මලින් මලට ඉගිළිලා
රොන් උරන්නෙ නෑ මෙමා
ඉගිල එන්නෙ ඔයා ළඟට නේ
කටු අත්තක පැටලිලා
අයින් වෙන්නෙ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ
රස මියුරූ මේ සැන්දෑවේ
ආදරේ කියය් මෙසේ
හ්ම් හ්ම්ම් හ්ම් හ්ම්ම්

මේ බමරා මලින් මලට ගොස් රොන් ගන්නා බමරෙකු නොවේ. රොන් පතන්නේ එකම එක් මලකිනි. ඒ මල ඇය ය. ඇය නම් රෝස පඳුරේ තියුනු කටු අතුරේ පිපි මලකි. මේ තියුනු කටු අතරේ ඈ සැඟවෙන්නේ නම් ඒ කුමක් නිසාවෙන්ද? නොතේරුම් ගැනීමද? අකමැත්තද? බිය ද? නැති නම් කුලෑටි බවද?

කෙසේ වෙතත් බමරිඳුන්ගේ කතාව අනුව නම්, රස මියුරු මේ සැන්දෑවේ තමන් ඈට සිය ආදරය පිළිබඳව කතාව කියනා බවය.

එහි ඊ ළඟ පාදය බලමු.

සිඟිති ඔබට වෙහෙස දී
හිරු නැගෙන්න පළමුවෙන්
ජීවන රස මිහිර විඳගමූ
හෙටක් නොමැති අප ලොවේ
අද පමණයි හමුවුණේ
ඉතිං කිමද තව ලතැවෙන්නේ
රස මියුරු මේ සැන්දෑවේ
ආදරේ කියයි මෙසේ
හ්ම් හ්ම් හ්ම් හ්ම්

ඇය මලක් බව අප දැන් නොදන්නවා නොවේ. ඈ මලක් නම්, දෘඩ හිරු ඈට රිදවනු නොඅනුමානය. එබැවින් ජීවනයේ රස මිහිර විඳ ගත යුත්තේ ඊට පළමුවය. මේ හිරු යනු අන් සංඛේතයක්ද, ඊ ළඟ දේ නම් බමරිඳුගේ ගැයුම අනුව ඔවුනට හෙටක් නැත. සමහර විට ඇත්තේ අද පමණක් විය හැකිය. මෙහි අරුත කුමක්ද? තවත් මතුවන ගැටළුවක් නම්, හිරු නැගෙන්න පළමුවෙන් ලද අවස්ථාවේ ජීවන මිහිර විඳගන්නට යෝජනා කරණ ඔහුම ඊ ළඟ පේලියෙන් රස මියුරු සැන්දෑවක් ගැන කීම තරමක් ගැටළු සහගතවීමය. එහෙත් මට නම් සිතෙන්නේ එසේ වන්නට ඇත්තේ මුල් කොටසේ අවසන් පේලි කිහිපයම මේ කොටසේදීත් යොදා ගත් බැවින් බවයි.

මේ ගීතයද තනුවට අනුව ලියැවුණු ගීතයක් දැයි වරෙක මට සිතේ. අර මා මතු කළ අන්දමේ ගැටළු ඇති වන්නේ සමහර විටක එවිටය. තවත් විටක, තනු නිර්මාපකයා රචකයාගෙන් නොවිමසා, තමන්ගේ තනුවට ගැලපෙන කොටස් ගීතයෙහි වෙනත් ස්ථාන වලින් රැගෙන තවත් තැනකට යොදා ගැනීම නිසාය. මෙවැනි අත්දැකීම් ක්ෂේත්‍රෙය් බොහෝ අයට ඇත. එබැවින් මේ ගැටළුව එවැන්නක් නිසා මතු වුණා විය හැකිද?

ඒ කෙසේ වෙතත්, මෙය පුදුමාකාර ජනප්‍රියත්වයකට හිමි කම් කී ගීතයකි.
අපි එම ගීතය අසා සිටිමු.



එවන් ජෝතිට එවන් අභියෝගයක් ජයගෙන එවන් ගීයක් ලීවාට පසුව තවත් ගීතයක් ලියන්නට වුවහොත් රචකායට ඒ අභියෝගය කෙතරම් දැවැන්ත වනු ඇතිද? යළිත් ඔහු සිර වන්නේ මෙවැනි අති දැවැන්ත ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ගායකයෙකුට ගැලපෙන ආකාරයේ තවත් ගීයක් ලියන්නේ කෙසේද යන්නයි. එසේ නම් ඔහු ලිවිය යුත්තේ මෙවන් ගීයකි.

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
ප්‍රීතී වලාවන් එක් වී සංගීත රාවෙන් මත් වී
මගේ රංජනීයේ
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ

වනේ මල් නෙලාලා ඔබේ ගෙල බඳින්නම්
රිදී පිණි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම්
සාගරෙන් සොයාලා
නිල් මැණික් ගෙනල්ලා
ඔබගේ වරලේ ගසාලා
ලස්සන බලන්නම්
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ

සුදෝ සුදු වළාවෝ සිහින් ඉඟ ඔතන්නම්
ගංගාවෙ ඉවුරේ ලං වී හිඳින්නම්
අමරණීය ප්‍රේෙම් සිහසුන් දරලා ඔබගේ
කවදා හෝ මං දෑතම ලබන්නම්
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ

මේ ගීතය හින්දි තනුවකට අනුව පබැඳුනු ගීතයකි. එහෙත් තනුවට ලියැවුණු බව දැනෙන්නේ මුල් හින්දි ගීතය අසා ඇති අයෙකුම පමණි. එය අසා ඇති අයෙකුට වුව, වඩා පුරුදු සේ දැනෙන්නේ මේ සිංහල ගීතය බව නිසැකය.

ගීතයකට තනුව සහ ගැයුම අපමණ ආලෝකයක් සපයයි. එහෙත් මේ ගීතයට එම ආලෝක ලැබී ඇත්තේ ගැයුමෙන් ම පමණක් නොවේ. වැඩිම ආලෝකය ලැබී ඇත්තේ එම ගීතය යසට ගැයූ ජෝති ගේ ජනප්‍රියත්වය නැති නම් කීර්ති නාමයෙනි.

අපේ බණ්ඩාර කේ. විජයතුංගයන් එවිට කර ඇත්තේ කුමක්ද? මේ සොඳුරු තනුවට අනුව කළ පද බැඳුම තුළ අතිශය සුමට වදන් කැටිකොට ළගන්නා ප්‍රේම ගීයක් නිම කිරීමයි. අර වන් ගායකයෙකු වෙත ගී ලිවීමේ මහත් වූ අභියෝගයෙන් මේ අනුව ඔහු මේ දෙවතාවේදීම අති ඉහළින් සමත්ව ඇත. 

සමන් මල් පියල්ලේ ගීතය අසමු.



මේ අතර බණ්ඩාර කේ. විජයතුංගයන් විසින් රචිත ගීයෙන් සුසැදි ගී අතර හමුවන සරල ජනප්‍රිය සුන්දර ගී කුලකයේ තවත් ගීයක් මා මතකය තුළ සුන්දරත්වය යළි අවදි කරයි. එහි ගැයුම  


ක්‍රිස්ටෝපර් පෝල් 
ගෙනි. මේ ගීතය කොළු සමයේ සිට මේ දක්වාම විනෝදජනක අවස්ථාවල සිය දහස් වර පට්ට ගැසූ එකක් වුව, එහි රචකයා බණ්ඩාර කේ. විජයතුංග බව දැන ගත්තේ මා ද ගීත රචකයෙකුව, ගීත වල පද රචකයින් කොයි කවුරුන්දැයි  විමසන විටදීය. ගැඹුරු මානුෂ ගනු දෙනු පිළිබඳව ගී ලියන්නෙකුට වුව මෙවන් සරල ජනප්‍රිය එහෙත් සුන්දර ගී ලිවිය හැකි බව වටහා ගත්තේ එවිටය.

රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා

මේ ගීය කොපමණ ජනප්‍රිය වුව මා කී ලෙසම මෙය ද බණ්ඩාර කේ. විජයතුංගගේ පද රචනයක් සේ ඔබ කිසි දිනක නොසිතන්නට ඇතැයි මට සිතේ. බොහෝ විට අපට එවන් ශෛලියක් ඔහුට තිබිය නොහැකි යැයි හිතෙන බැවිනි. ඒ අප ඔහුව මණින්නේ ඔහුගේ අප දන්නා වෙනත් ගැඹුරු ගීතයන් හා සසඳමින් වන නිසායි.

මෙහි ඇත්තේ ඇරියුමකි. තම සිත් ගත් යුවතියට මනමාලියක් ව, සිය කුඩා නිවහන වෙත වඩින්නට කරණා වූ ආදර බර ඇරියුමකි. එහෙත් එය ලියැවෙන්නේ හරියට සංදේශ කාව්‍යයක පණිවිඩය රැගෙන යන පක්ෂියාට කවියෙන් මග කියන්නාක් සේ ම යැයි මට හිතේ. ඒ එය ලියැවී ඇති ආකාරය විමසන විට දැනෙන දේ ය.

හිරු පායනු බලා
ඔබෙ අත්තටු සලා
මගේ පුංචි කිරිල්ලියේ වරෙන් ඉගිලිලා

ඈ ද ඔහුට කිරිලියකි. ඔහුගේ ඒ පුංචි කිරිලිය එන මග ඔහු තොරන් තනා රන් තැඹිලි වළු එල්ලා සරසා පුන් කලස් තබා හැඩ වැඩ කොට ඇත. ඈට එන මං ලකුණු කියන්නේ මෙසේය. 

කිරිලිය යා යුත්තේ බොල්ගොඩ ගඟෙන් මෙපිට සිට ගිං ගඟෙන් එපිට ට ය.


බොල්ගොඩ ගඟෙන් එගොඩ වෙලා
දකුණු පැත්ත බලා
ඉතින් හෙමින් ඉගිල්ලියන් මඟ සළකුණු බලා
ගඟෙන් එගොඩ වෙලා
දකුණු පැත්ත බලා
ඉතින් හෙමින් ඉගිල්ලියන් මඟ සළකුණු බලා
ඉතින් හෙමින් ඉගිල්ලියන් මඟ සළකුණු බලාලා

ඒ මග දෙපසම එක දිගටම මෙසේ සරසා ඇත.

රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා

බෙන්තර ගඟෙන් එගොඩ වන ඈ පිවිසෙන්නේ ගාලු පුරවරට ය. ඒ අතරේ ඈට දැකිය හැකි සොඳුරු දසුන් ඔහු මතක් කර දෙයි. ගමනේ ගිමනක් වී නම්, ගිමන් නිවනට සුදුසු පෙදෙස් ද ඔහු ඈට මතක් කර දෙයි.

බෙන්තර ගඟ ළඟින්
සඳ කිඳුරන් බලන්
ඔබේ වෙහෙස ටිකක් නිවන් කොටු බැම්මට වරෙන්
ගාලු සිරිය බලා ගිං ගඟෙන් ඉගිල්ලිලා
මගෙ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා
ගාලු සිරිය බලා ගිං ගඟෙන් ඉගිල්ලිලා
මගෙ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා
මගෙ ලස්සන කූඩුව වෙත වරෙන් පියාඹලා

ඈ ඇගේ ප්‍රියයා වෙත යන්නේ එවන් සුන්දර මග හසරක් ගෙවා ගෙන ය. ඔහු ඈ පිලිගන්නට එවන් තොරන් ගසා ඇති දැයි අපි නොදනිමු. එවන් තොරන් ගසන්නට හැකි දැයි ද අපි නොදනිමු. එහෙත් මේ බලාපොරොත්තුවේ තොරණයි. බලාපොරොත්තුවේ සැරසිලියි.

රුවන් තොරන් තනා
රන් තැඹිලි පොකුරු ගසා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා
පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා

බණ්ඩාර කේ විජයතුංගගේ මේ සොඳුරු පද සංගීතයෙන් සරසන්නේ මහා සංගීතඥයෙකු විසිනි. ඔහු  
 ෂෙල්ටන් ප්‍රේමරත්න 
ය. 

රුවන් තොරණ් තනා ගීතය අසමු.



මේ අතර බණ්ඩාර කේ. විජයතුංග විසින් රචිත ගී ඇසුරින් බිහි වූ සරල සොඳුරු ගී අතරේ උත්කර්ශවත් ගායකයා වෙත පිවිසෙන්නට මට සිතෙන්නේ ඔහුගේ සම්මාදමෙන් බිහි වූ එවන් ගී පිළිබඳ මේ සටහනේ අවසාන කොටස වශයෙනි. අවසාන කොටස කීවාට එය හරියට අවසාන අර්ධය සේ ගත්තත් නිවැරදිය. ඒ කියන්නේ මේ කියූ දේවල් තරම්ම දේවල් එහි ලියන්නට ඇතැයි මට හිතෙන බැවිනි. එහෙත් ඒ සටහන කොතෙක් දිගු වේදැයි මේ මොහොතේ මම වත් නොදනිමි. මේ සටහනින් අර්ධයක් ඒ ගී ගැන ලෙසින් ලියුවේ ලියන්නට ඇති සටහනේ දීර්ඝ බව යන අදහසින් නොවේ. ඒ සොඳුරු ගී දෙකේ ඇති සුන්දරත්වය සැලකීමෙනි.

විකසිත පැතුමන් ඔබේ ලයේ
සෙනෙහස මී විත පිරී
එනමුදු අදරින් මගේ ලොවේ
දැල්වුණු පහනද නිවී
මා මත් වීලා

මීන නෙතු යුග පෙර මගේ
ඒ දෙනෙත් අද අනෙකෙකුගේ
සිත තුළ සුපිපුණු සොම්නස් මල් දම් මිලින වී
වියෝගේ ළං වීලා

මා නොලද ඒ ආදරේ
ඔබේ හද තුළ මෝදුවේ
එක් කළ දසැඟිලි යළි වෙන් නොවනට වසඟවී
පෙම් සිනා නැංවේවා

මේ ගීතය රචනා වන්නේ සේන සමරසිංහගේ ආශා දෑසින් චිත්‍රපටය වෙනුවෙනි. එහි සංගීත නිර්මාණය චිත්‍රපට සංගීතයෙහි විශේෂයෙන් චිත්‍රපටයක් සිය සංගීතයෙන් ජනප්‍රියතලයකට ඔසවා තැබිය හැකි සංගීතඥයන් අතරේ අති දැවැන්තයෙකුගෙනි. එනම්,  
 සරත් දසනායකයන්ගෙනි
ගැයුම කාගේද යන්න සඳහන් කිරීම එක්තරා ආකාරයක විහිළුවක්දැයි සිතෙන්නේ මේ ගීතයට හිමිව ඇති ජනප්‍රියත්වයට අනුව එය ගයන්නේ කවුරුන්ද යන්න නොදන්නා අයෙකු නැතැයි සිතෙන බැවිනි. 

චිත්‍රපට පසු බිම් ගායනයේදී එකල ඉහළින් වැජඹුනු ගායකයින් අතර අප ගායක  

මිල්ටන් මල්ලවාරච්චි 
අති ප්‍රබල චරිතයකි. සේන සමරසිංහ විසින් නිපදවූ චිත්‍රපට වලදී සරත් දසනායකගේ සංගීත නිර්මාණ සේම, මිල්ටන්ගේ සොඳුරු දායකත්වයද එම චිත්‍රපට වල අති මහත් ජනප්‍රියත්වයට හේතු වූවා විය යුතුම ය.

විකසිත පැතුමන් ගීතය අසමු.



බණ්ඩාර කේ. විජයතුංගයන් විසින් රචිත ගී පිළිබඳ දිගු සටහන් මාලාවේ ඔහුගේ ගී පද වලින් සුසැදි සරල සුන්දර ජනප්‍රිය ගී පිළිබඳව ලියන මේ සටහනට නිමාවක් තබන්නට සිතන්නේ යොවුන් වියේ සිට තවමත් මගේ සිතේ ඉමහත් ප්‍රියතාවක් ඇති ඒ ගීතයෙනි. ඒ ගීතය ද ගයන්නේ මිල්ටන් මල්ලවාරච්චි ම ය. මේ ගී අතරේ මේ ගීතය ඔබෙත් ප්‍රියතම ගීය වනු නොඅනුමාන ය.

ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
අප හමු වන්නයි

යළිත් පෙර දෙවතාවක සඳහන් කළා සේ ම එතරම් සිත් ගත්, එතරම් ජනප්‍රිය ගීයේ රචකයා කවුරුන්දැයි මමද ගීත රචකයෙකු වන තුරුම නොදැන සිටියෙමි. වෙනත් බොහෝ ගීත වල බොහෝ වං හුං දැන සිටියේ වුව, මේ ගීතයේ රචකයා කවුරුන්ද මතු නොව, එහි සොඳුරු තනුව සහ සංගීතය  

 ආචාර්ය වික්ටර් රත්නායක
යන්ගේ බව දැන ගත්තේද එලෙසින්ය. එයට හේතුව ගීතයේ අතිශය සොඳුරු බව සහ ජනප්‍රියත්වයද, ගායක මිල්ටන් මල්ලවාරච්චිගේ දැවැන්ත සෙවනැල්ලද අනෙක් තොරතුරු සෙවීමේ අවශ්‍යතාව අපෙන් ඈත් කොට තිබූ නිසා විය යුතුය.

ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
අප හමු වන්නයි

මෙය ප්‍රේමයේ කුමන පාර්ශ්වය ස්පර්ශ කරණ ගීතයක්ද යන්න මම තවමත් නිසි පිලිතුරක් නොමැතිව සිතමි. ඇත්තේ ඡායාවක් වැනි අදහසකි. එහි විවිධ පැති පෙනේ.
මෙහි කියවෙන්නේ මැවූ සිහින ලොව මැකී යන බවකි. ඒ අතරේම දෙඅත රැගෙන එකම දිනක යළි හමුවෙන්නයි යනුවෙන් පැතුමක්ද වෙයි. එය වියෝගයක් ගැනද? සිහින ලොව මැකී යාමත්, යළි හමුවන්නැයි පැතීමත් ඒ වියෝගය වෙනත් භවයක නොවේවා යැයි පැතුමද?

එය එසේද සිතිය හැකිය. එහෙත් මා සිතන විදිහට සිතුවොත් මා වැරදිද?
ඔවුන් මෙතෙක් කර ඇත්තේ සිහින මැවීමකි. සිහින ලොව මැකී දෙඅත රැගෙන එකම දිනක හමුවන්නයි පැතුම සිහින සැබෑවීම ගැන විය නොහැකිද? මෙය ඊ ළඟ පාද වලින් වඩාත් තහවුරු වෙතැයි මට සිතෙන බැවිනි.

සුනිල පළිඟු දියෙන් සපිරි
පොකුණ මා තමයි
රුවද සුවඳ එකම පරිදි
රැගත් මල ඔබයි

මෙහි කියැවෙන්නේ ඔවුන් දෙදෙනා අතර ඇති මනා ගැලපීම නොවන්නේද? ඈ රුවැති සුවඳවත් මල නම්, ඈ දරන සුපිරිසිදු, පැහැදිලි දිය රැගත් විල් තලය ය ඔහු.

අපට නොමැත නීති රීති
සෙනෙහස පමණි
තවත් ලොවක තවත් දිනක
ඔබෙ අතට ගනිමි

සෙනෙහස පමණක් අතැතිව, නීති රීති වලින් තොර වන්නේ ඔවුන් දැන් එකෙකුව සිටින බැවින් විය නොහැකිද? එවිට උකුසු ඇස් නැත. රකුසු බැළුම් නැත. ඇත්තේ අති සුන්දර මිහිරි පිරිසිදු සෙනෙහස පමණි.

එසේ නම් තවත් ලොවක තවත් දිනක ඔබෙ අත ගනිමී යනුවෙන් කියැවෙන්නේ ඇයි? මේ ආත්මයේ එකිනෙකාට තව තවත් ඇවැසි වන ලෙසින් මිස, එපා නොවෙනා ලෙසින් ජීවත් නොවූ බැවිනි. මේ ආත්මයේ පමණක් නොව, මතු මතුත් ආත්ම වල ඔවුනට ඔවුන් අවැසිය යන්නය.

ඔබයි මමයි මැවූ සිහින ගීතය අසමු.



බණ්ඩාර කේ. විජයතුංගයන්ගේ ගී පද රචනාවන්ගෙන් සැදි වෙසෙස් ගී ගැන කතා බහ මේ සටහනින්ද නිම කළ හැකි නොවේ. එය තවත් කළ යුතුම යැයි හැඟේ. ඒ කතා බහ සමග හමුවෙමු.




-      යසනාත් ධම්මික බණ්ඩාර   -







4 comments:

  1. මමත් කලකට පෙර කුඩා සටහනක් මගේ දැනුම් පමණින් තැබුවා බණ්ඩාර කේ විජේතුංග ගැන මෙතැන

    'මහද නැමැති වනබඹරා', "තෙරේ ගාර් කෙ සම්නේ" චිත්‍රපටියේ ප්‍රසිද්ධ 'දිල් ක බන්වර් කරේ..' නැමැති ගීයේ තනුව. පද ඔබල තියෙන්නෙ කියල හිතෙනවා.

    ReplyDelete
  2. රෝහල් වල වෛද්‍යවරුන්ට / හෙදියන්ට සතියට පැයක් ඔබගේ මේ ගීත සටහන් වැඩමුලුවක් ලෙස කල හැකි නම් ඔවුන් තුල තිබෙන ආතතිය 75% අඩු වනු ඇත

    ReplyDelete
  3. ස්තුතියි ඔබට මේ තොරතුරු වලට..

    ReplyDelete
  4. ඇත්තෙන්ම සිත පහන් වූ ලියවිල්ලක්.. ස්තුතියි යසනාත්.. මට බොහෝ හැගීම් දැනුන පෝස්ට් එකක්.. ජය

    ReplyDelete