Friday, October 2, 2015

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.....






මේ සටහන ලියන්නට මා හදිසි වැඩි යැයි මා මිතුරන් කිහිප දෙනෙක් ම මා හට චෝදනා මුඛයෙන් කතා කළෝය. ඔවුනගේ මතය වනුයේ මෙවැන්නක් ලියන්නේ නම් එය කළ යුත්තේ  තවත් ටිකක් ප්‍රමාදව බවයි. ඒ දැන් හැදෙන ගස් ගැන පෙත්තෙන් දෙකෙන් කිව නොහැකි නිසා බවයි.
ඒ ඔවුනගේ මතයයි.
මගේ මතය අන් එකකි.
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යන්න මෙහි දී සබෑවක් විය හැකි වන බවයි.
මේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යන කතාව නොදන්නා අයෙකු නැති විය යුතුයැයි මට හිතේ. ඒත් අප ගත කරණ මේ අපබ්බ්‍රංශ යුගයේ එවැනි කතා අමතක අය සිටියොත් එය පුදුමයක් විය නාහැකිය. එබැවින් ඉතා කෙටියෙන් නමුදු මේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ ය යන කතාව ගැන කියා ඉදිරියට යමි.
සමහරුන් මේ පිරුළ කියන්නේ හාත්පසින් ම වෙනස් විදිහට ය.
හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ ලෙස ට ය. හැදෙන ගහේ දැනෙන දෙපැත්ත මොකක්දැයි මම හිතන්නේ සිනහ මුසුව ය. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නේ හැදෙන ගහ දැනෙන්නට කොළ දෙකේ අවස්ථාව වුව සෑහේ ය යන අත්දුටු අදහස නිසා ය.
මේ ගහක හෝ වැලක කොළ දෙකේ අවස්ථාව එහි තරම දැනෙන්නට හොඳටම සෑහේය යන අවබෝධය අත්දැකීමෙන්ම ලබා ගත්තේ මිනිසෙකු නොවේ. නරියෙකු විසිනි. ඇත්තම කතාව විය හැක්කේ මිනිසෙකු විසින් එය අත්දැක එහෙත් එය තම අත්දැකීමක් සේ කියා ගත නොහැකි වුණු තැන අත්විදීමක් සේ කියා පෑමය.
අත්විඳිමක් යනු යමෙකුගේ අත්දැකීමක්, අත්දැක්ක පුද්ගලයා විඳි තරමින් නොවුවත් එවන් තරමකින් මවාගෙන විඳීමය. බොහෝ විට අත්දැකීමක් ප්‍රසිද්ධියේ කියා පෑ නොහැකි වූ විට එය කියනුයේ අත්විඳීමක් ලෙසිනි. ඒ අනුව හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යන කියමනද එළියට එනුයේ අත් විඳීමක් විලසිනි.
දිනක් මේ නරියා යම් කටයුත්තක් අවසන ඉතිරි වූ කරදරකාරී සොච්චම වට්ටා ගත කොහැකිව පශ්චාත් භාගය බිම උළමින් එය වට්ටා ගැනීමේ ව්‍යායාමයෙහි නිරතව ඇත. සමහර කරුණු පැහැදිලි කළ ද හැම දේම පැහැදිලි කළ නොහැකිය. එබැවින් මේ වට්ටාගත නොහැකි සොච්චම කුමක්දැයි සරල බසින් ලිහා මෙහි ලිවිය නොහැකිය. එය ඔබ ම වටහා ගත යුතුය.


එහෙත් මේ කියන දින මේ සොච්චම වෙනදාට වඩා වද දෙන්නක් විය. මෙලෙස පස්ස බිම අතුල්ලමින් අදාල ව්‍යායාමයෙහි යෙදෙන නරියා ගේ පස්ස පොලොවෙන් දෙපෙත්තක් පමණක් උඩට මතු වූ යම් පැලයක ඇතිල්ලේ. තත්පර කිහිපයකදීම නරියා ගේ පශ්චාත් භාගය රතු වී කසන්නට දැවෙන්නට වන්නේය. මේ සා පීඩා ගෙන දෙන මේ පැළය කුමක්දැයි විමසන අතරේ නරියා දුටුවේ තවමත් දෙපෙත්තක් පමණක් පොලොවෙන් මතුව තිබෙන කහඹිලියා පැලයකි. නරියා හිතන්නේ දෙපෙත්තකින් මෙතරම් දෙයක් කළ හැකි නම් වැඩුනු පසු මොන විදිහේ දෙයක් කරණු ඇතිදැයි යන්නය.

මම දැන් කියන්න යන දේට කහඹිලියා වැනි දෙයක් හොඳ උදාහරණයක් නොවෙතත්, තවමත් පෙත්තක් දෙකක් මතු වූ මේ කුඩා පැලය දකින විට මට පශ්චාද් භාගයේ කහඹිලියා ගෑවුනාක් වැනි කැසිල්ලක් ඇති වේ. ඒ කැසිල්ල අනුවය මිතුරන්ගේ විවේචන පසෙක ලා මවිසින් මේ සටහන දැන්ම ම ලියන්නට සිතුවේ.
ඔහු තරුණ ගායකයෙකි. ස්ටාර් වැඩසටහනකින් දුටුවෙකි. ම විසින් ඔහු දුටුවේ Derana Dream Star Season VI 2015 තරගාවලියෙනි. එහෙත් තොරතුරු විමසන කල ඔහු 2014 සිරස සුපර් ස්ටාර් තරගාවලියේද අවසන් 18 දෙනා දක්වා පැමැණියෙක් බව දැන ගන්නට ලැබුණි. එවිට ඔහුට වයස අවුරුදු 15කි. දැන් 16කි. දාසයයි මාසයක් නොව දාසයයි මාස ගණනක් විය හැක.
මා මෙවැනි සටහනක් වැඩි කල් නොගොස් ලියන බව සිතුවේ ඔහුගේ ගායනාවක් දෙකක් ඇසීමෙන් පසුව ය. එහෙත් එය මෙතෙක් ප්‍රමාද කළේ මිතුරන්ගේ කතා බහ හේතුවෙනි. නමුත් ඒ ගැන තවත් නොලියා සිටිය නොහැකි වූයේ ඔහු පසුගිය 26 වෙනි දා ( 2015 09 26 ) ඔහු ගැයූ ගීතයත් සමගයි.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ සංගීතයට පණ්ඩිත් අමරදේවයන් ගැයූ ගීයද, පසුව ආචාර්ය කේමදාසයන්ගේ එම තනුවටම යළි සංගීතය පටිගත කර ඩබ්. ඩී. ආරියසිංහයන් ගැයූ ගීයද අසා හුරු මා විශ්මයට පත් කරමින් ගායනා කළ මේ තරුණ ගායකයාගේ ගැයුමෙන් පසුව ඔහු නමින් මේ සටහන ලියන්නේමැයි අදිටන් කරගතිමි. මේ සටහන ලියා නිම කරණ විට ඔහු ඊ ළඟ වටයටද මුහුණ දී අහවරව සිටිනු ඇත. එයට යම් ප්‍රතිඵලයක්ද ලබනු ඇත. ඒ ප්‍රතිඵලය කුමක් වනු ඇති දැයි මම නොදනිමි. ඒ ප්‍රතිඵලය මගේ මැදිහත්වීමෙන් ඔහු ලබන එකක් නොවේ. මා ඔහු ඇගයුවද, ඔහු ගැන අන් අයට කියූවද, ඔහු ගැන මේ සටහන ලියූවද ඔහුට හෝ අන් කිසිවෙකුටත් එස්.එම්.එස්. මනාප මෙතෙක් පළ නොකළ බැවිනි. එය වෙනමම කරුණකි. යම් විදිහකින් මා මෙම තරගයේදී ඔවුන් තරග වදින අයුරු දැක එස්.එම්.එස්. මනාප පළ කළහොත් එසේ මගේ එස්.එම්.එස්. මනාප ලබන දෙදෙනාගෙන් ඔහුද අනිවාර්යය එක් අයෙකු බවද කියා සිටිමි.
දැන් අපි කතා කළ මේ වෙසෙස් ගීතය අපි අසන්නට යන්නේ දැන්ම නොවේ. පුසවය. මා දැන් ඉදිරිපත් කරන්නට යන්නේ මේ යොවුන් ගායකයා පෙර වසරේ සිරස සුපර් ස්ටාර් සඳහා ගැයූ ගීයකි.
මම එතරම් ප්‍රිය නොකරණ බාචි සුසාන්ගේ ගීතය ඔහු එහිදී ඔහුගේ කරගෙන ගයනු ලබන්නේ යන්තමින් වයස අවුරුදු 15දී වීමය විශ්මයට කරුණ. දැන් ඔබ සිතනු ඇත්තේ අවුරුදු 15දී මේ ගීය ගැයීමේ ඇති විශ්මය කුමක්ද යන්නය. විශ්මය එය අවුරුදු 15දී ගැයීම නොවේ. අවුරුදු 15දී මේ ලෙස ප්‍රවීනත්වයට සමීප වන සේ ගැයීමය.
ඔහු නමින් ධනුෂ්ක චන්දිමාල් ය. කිරිබත්ගොඩ ධනුෂ්ක චන්දිමාල් ලෙස ට ය බොහෝ අය හඳුන්වන්නේ.


අවසාන මොහොත මාගේ සිරස සුපර් ස්ටාර් 2014 ගැයුම.


මේ අතරේ මා ඔහුගේ වෙනත් ගීත සොයමින් සිටින විටදීය ඔහු සිරස සුපර් ස්ටාර් 2014 සඳහාම ගැයූ එපා එන්න කියලා මොකේ මැණිකේ කීවේ ගීතය අසන්නට ලැබුණේ.
එච්. ආර්. ජෝතිපාල මහතා විසින් ගැයූ ඒ ගීය වුව අවුරුදු 15ක් වැනි වයසකදී ඔහු ගයන අයුර මහත් අගය කළ යුතුමය. වඩාත් විශේෂත්වය නම් බොහෝ ගායකයින් මහා ප්‍රතිරූප ගායකයින්ගේ ගී ගයද්දී ඔවුනගේ හඬවල් අනුකරණය කරන්නට යාමය. එහෙත් ධනුෂ්ක ගේ විශේෂත්වය වන්නේ ඔහු සිය හඩ පිළිබඳ විශ්වාසය තබා ගැයීම ය.
එපා එන්න කියලා සිරස සුපර් ස්ටාර් 2014 ගැයුම 



එවිට ඔහුගේ වයස අවුරුදු 15කි. දැන් අවුරුදු 16කි. ඔහු අවුරුද්දකින් වයසින් වැඩී ඇත. අඟලක් හමාරක් උස යන්නට ඇත. කිලෝවක් හමාරක් බර වැඩි වෙන්නට ඇත. රැවුල් ගස් ටිකක් මුහුණේ වැඩෙන්නට ඇත
මේ ලියූ සෑම වර්ධනයකටම වඩා ඔහුගේ ගායනා හැකියාවේ ඇති කරගෙන ඇති වර්ධනය සුවිසල් ය. 2015 දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 6 හි ඔහු ගැයූ ගී අසන විට හැඟෙන්නේ එයයි.
තවත් දෙයක් නම් ඔහු සංගීත මග ඔස්සේ තමන් යා යුතු කුමන මගකදැයි නිශ්චය කොටගෙන සිටින හැඩයක්ද එහිදී පෙන්වා සිටීමය. මෙවන් තරගාවලි වල ගී ගයන බොහෝ අයට නැත්තේ එවන් තෝරාගත් මාර්ගයකි. ඔවුන් වරින් වර සිය ඉලක්කගත මාවත් වෙනස් කරනු ලබන බව පෙනී යයි. යන මග විශ්වාසයෙන් නොයන බව පෙනී යයි එහෙත් කුඩා ධනුෂ්ක යම් තෝරා ගත් මාවතක බර අඩි තබමින් යන බව පෙනී යයි.
දහස් ගණනිස් සිය ගණනට තේරී එයින් තව තවත් තේරෙමින් පැමිණෙන ගමනේදී මට ඔහුව පළමු වතාවට විශේෂව දැනෙන්නේ 2015 මැයි මස වැඩසටහනකට ඔහු ගැයූ මෙම ගීතයෙනි.

කිරුළු පලන්දන රටක් නැති
රජ කරවන්නට පුතෙකු නැති
අතීතයක් මිස හෙටක් නැතී
මිහි පිට බිම් අඟලක් නොමැති
මිනිසෙක් තනනා මාලිගා


හිස් මාලිගයේ කවුරු රඳන්නේ
අඳුරු කුටිය කෙලෙසද එළි වෙන්නේ
පාළු අඳුර කවුදෝ සිඳලන්නේ
පෙර මෙන් කිංකිනි නැත හැඬවෙන්නේ

අහසේ තනනා මාලිගා

අඳුරු මාලිගා එළිකරවන්නයි
පාළු අඳුර මොහොතින් සිඳලන්නයි
හෙල මව යළි රන් කිරුළු දරන්නයි
දැයේ පුතුන් ලොව රජ කරවන්නයි

අහසේ තනනා මාලිගා

මේ ගීතය පෙර ගැයුවේ පණ්ඩිත් අමරදේවයන් විසිනි. 




සෝමපාල රත්නායකයන්ගේ සංගීත නිර්මාණයකට අනුව ය.


අප දැන් අමරදේවයන් ගයන එම ගීතය අසා සිටිමු.



මෙය චිත්‍රපට ගීතයකි. එය ගයන්නේ පිරිසක් විසිනි. පිරිසේ ප්‍රමුඛයා අනෙකෙකු නොව අප සංගීත ලොවේ දැවැන්තතමයා ය. එවන් ගාන්ධර්වයෙකුගේ ගීයක් තෝරා ගෙන තනිවම ගයන්නේ මේ අවුරුදු 16 පාසැල් කොළු ගැටයාය.
ඔහු මේ ගීතයේ සුළු සුළු වෙනස් කම් කරමින් එය තමන්ට සුදුසු සේ ගැයීමට සකසා ගනී.

කිරුළු පලන්දන රටක් නැති
රජ කරවන්නට පුතෙකු නැති ගීතය ධනුෂ්ක චන්දිමාල් විසින් ගයන ආකාරය අසන්න.

2015 06 20 දින තරගය සඳහා ඔහු ගයන්නට තෝරා ගන්නේ අන් ගායකයෙකුගේ ගීතයක් නොව ලංකාවේ වර්තමාන හඬ පෞරුෂය වන අමරසිරි පීරිසුන් විසින් ගයන ලද්දක් වීමද 

මා දැඩි සේ ප්‍රිය කරණ ගීතයක් වීමද එසේම එය අසීරු ම ගැයුමක් වීමද ඔහු කෙරෙහි විශේෂ අවධානයක් යොමු වන්නට හේතූන් විය.
ගීතය සංගීතවත් කළේ දර්ශණ රුවන් දිසානායක විසිනි.  ගීතය රචනා කොට තිබෙන්නේ රජී වසන්ත වෙල්ගම විසිනි. වෘත්තීයෙන් නීතිඥයෙකු වන රජී පළමු වරට අප සිත් ඇද බැඳ ගන්නේ මේ තරම් සියුමැලිද කළු ගල් ගීතයෙනි. එම ගීතයට ඇති රසිකයන් තුළ වූ අධික ආසක්ත බව හේතුවෙන් අනතුරුව ඔහුගේ ගී වලට වූ අවධානය අඩු වූවා දැයි මට සිතේ.



රාත්‍රිය සිරගෙයක්‌
අන්ධකාරය රුදුරු දඬුවමක්‌
ප්‍රේමයේ වරද කළ
පරාජිත පෙම්වතුනි
නුඹලාට රත්‍රිය සිරගෙයක්‌
අන්ධකාරය රුදුරු දඬුවමක්‌

නීතිඥ මහතෙකු වන බැවින්, සිර ගෙවල් දඬුවම් ඈ වචන සිය ශබ්දකෝෂය තුළ බහුල බැවින්, මෙවැනි ගීතයකට මෙසේ මුළ පිරුවාද? නො එසේ නම් ප්‍රේමයේ වරද කොට පරාජිතව සතතයෙන්ම අත්විඳි නිදිවර්ජිත රාත්‍රියක රුදුරු බව ඔහු සිත තුළ මේ වදන් ගීතයක් සේ ගොනු කළාද?

නඩු විභාගයක් පවත්වා තීන්දුවක් ගන්නට නොසිතමි. කුමන හේතුවක් මත ලියූවද ලියා ඇත්තේ ඇත්තකි.


නින්ද විඳි කෙනෙක්‌ නම් ඔබ
දැකිය යුතුමවේ සිහිනයක්‌
ආදරය කළා නම්
පහන් කළ යුතුය
නිදි නැති රැයක්‌

නොනිදන්නෙක් සිහින නොදකී. සිහින දකින්නට නින්දට යා  යුතුම ය. ප්‍රේමයෙන් පරාජිත පෙම්වතුනට සුව නින්දක් උරුම නැත. නොනිඳා රැය පහන් කරණ ඔවුනගේ රාත්‍රී පැය ගණන කල්පාන්තරයක් දිගු ය.

හදවතක්‌ තිබුණි නම්
තිබිය යුතුවේ
ඔබට ප්‍රේමයක්‌
ප්‍රේමයක්‌ තිබුණු තැන
සැඟව නැති
සදාතන ශෝකයක්‌

හදවත් නැත්තෝ නොවෙති. ඔවුන් යම් දිනක හදවත් නැත්තන් සේ හැසිරේ නම් ඒ පසුව ය. හදවත් මැරී ගිය පසුව ය.
හදවත් ඇත්තේ කොතැනද එතැන ප්‍රේමනීය සිතුවිලි වලින් නිතොර වෙයි. ප්‍රේමනීය සිතුවිලි ඇත්තේ කොතැනද එතැන සදාතනික ශෝකයක් නොසැඟී පවතී.
කෙසේ වෙතත් මෙහි දී ධනුෂ්ක ගයන්නේ වචන වල යම් වරදක් සහිතවය. එහි
ප්‍රේමයක්‌ තිබුණු තැන
සැඟව නැති
සදාතන ශෝකයක්‌

යන්න වෙනුවට ඔහු ගායනා කරණුයේ තවත් වරක් පෙර පළමු අන්තරා කොටසෙහි යෙදුනු

ආදරය කළා නම්
පහන් කළ යුතුය
නිදි නැති රැයක්‌

යන කොටස ය.
මේ ගැයුම යමෙක් අමරසිරි පීරිසුන්ගේ ගැයුම හා සසඳන්න උත්සාහ කළහොත් ඔබට හැඟෙන එක් දෙයක් නම් ධනුෂ්ක ගේ හඬ මේ ගැයුම සඳහා මෝරා මදි බවය. එය සත්‍යයකි. ධනුෂ්ක ගේ හඬ ඒ තරමින් මෝරන්නට තවත් බොහෝ කාලයක් යනු ඇත. ඔහු මෙතෙක් ජීවත් වූ කාලය සේ දෙගුණයක් වත් ඊට ඇවැසි වනු ඇත.
අප මෙහිදී සැලකිය යුත්තේ ඔහුගේ ගායන ශක්‍යතාවයයි.
අනෙක් කරුණ නම් මම හැකි තරම් දුරකට මෙහි ගීත ඉදිරිපත් කරන්නට උත්සාහ කරණුයේ ඔහු ගී ගැයූ දින වකවානු පිලිවෙලට ම ය. ඊට හේතුව දිනෙන් දින ඔහු ඔප මට්ටම් වන අයුර ඔබට දැක ගතහැකි වන අයුරිනි.

රාත්‍රිය සිරගෙයක් ගීතය ධනුෂ්ක චන්දිමාල් විසින් ගයන ආකාරය අසන්න.



ධනුෂ්ක චන්දිමාල් ගේ ගායනා ශෛලිය උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් හික්මුණු එකකි. ඔහු සිය ශෛලිය මත පිහිටමින් ඕනෑම ගායනයක් ඉදිරිපත් කිරීමට නොබිය ව ඉදිරිපත් වනු පෙනේ. ඔහු මෙතෙක් ආ ගමනේ ඔහු තුළ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගෙන ශක්තිය හා බලයද එබැවින්ම එයම ය.
මෙම තරගයේ  පසු අදියරයේදී පැවැත්ම රඳා පවතින්නේ එස්. එම්. එස්. මනාප ලබාදෙන රසිකයින් මත ය. බොහෝ තරග කරුවන් එසේ  එස්. එම්. එස්. මනාප ලබාදෙන රසිකයින් යනු සරල ලාබ රසිකත්වයකින් යුක්ත අය යැයි සිතා ඒ සඳහා සුදුසු ගී නිර්මාණ තෝරාගෙන ගයන විට ධනුෂ්ක සිය ගී ආරට ගැලපෙන, ශාස්ත්‍රීය හුරුවකින් යුත් ගායනයෙන් හැකි තරම් දක්ෂකම් දැක්විය හැකි ගීත තෝරා ගෙන ගයන බවක් පෙනී යයි. එයද මේ සටහන ලිවීමට මා පෙළඹ වූ  තවත් කරුණක් විය.
ඒ සමගම ඔහු හා කරට කර සටන් වදින තරගකරුවන් නැතිවා නොවේ. එහෙත් තරගය සඳහා ඔවුන් බොහෝ විට තෝරා ගනු ලබන්නේ ජනප්‍රිය රැල්ලේ ගීතයන් ය. නැති නම් පැරණි රසික සිත් සතන් දිනා ගත් ගීතයක් වත්මන් ජනප්‍රිය ගායන ආරකට ගැලපෙන සේ නවීකරණය කර ගයනු ලැබීමකි. මේ නිසා ඔවුන් ද සමාන දක්ෂකම් දක්වන්නේ වුව යහපත් ගීත ආරක් වෙත වඩාත් සමීපව ගමන් කිරීම යන කරුණ මත ධනුෂ්ක මාගේ විශේෂ ප්‍රශංසාවට ලක් වෙයි.
ඔහු 25-07-2015 දින තරගය සඳහා තෝරා ගනු ලබන්නේ තවත් අභියෝගාත්මක ගීතයකි.
ජේ. ඒ. මිල්ටන් පෙරේරා විසින් ගායනා කරණු ලැබූ ශාස්ත්‍රීයමය තනුවක් අනුව නිර්මාණය වූ මකරන්ද පාද පුෂ්පේ යන ගීතයයි. 


මෙවැනි ගීතයක් රසික ජනතාවට එතරම් හුරු ගීතයක් නොවේ. එමෙන් ම වර්තමානයේදී ශාස්ත්‍රීය නැඹුරුවක් සහිත ගීත වලට ප්‍රිය කරණ රසිකයා මේ එස්.එම්.එස්. මත තීරණය වන තරග වලට ප්‍රිය කරණ එලෙස එස්.එම්.එස්. මනාපය දක්වන රසිකයින් දැයි යන පැණය මතු වෙයි. එහෙත් එවන් පැණක් මධ්‍යයේ වුව ඔහු හුදු ජනප්‍රියත්වය හෝ තරගයෙන් දිනීමේ එකම අරමුණ වෙත හෝ නැඹුරු නොවී යන ගමන ප්‍රශස්ථය.
මකරන්ද පාද පුෂ්පේ ගීතයේ ගැයුම ගත් විටද ඔහු සිය වයසට වඩා මුහුකුරා ගිය ගායන හැකියාවක් පෙන්වමින් ගායනයේ ප්‍රවීනත්වයට එළඹෙන බව ඔබට ද පසක් වනු ඇත.
මකරන්ද පාද පුෂ්පේ ගීතය ධනුෂ්ක චන්දිමාල් විසින් ගයන ආකාරය අසන්න.



මෙතෙක් ඔබ ශ්‍රවණය කළ ගීත ඇසූ විට ඔබට වැටහෙනු ඇත ඔහු දිනෙන් දින කොතරම් මට්ටමකට සිය හැකියාවන් වර්ධනය කරගත්තේද යන්න.

මේ සටහන දිගු සටහනක් ලෙස ලිවිමට අදහස් නොකළෙමි. අවශ්‍ය වූයේ කුඩා, ගායනයේ බුහුටි, කොළු ගැටයෙකුගේ කොළු වසයට වඩා පැසුනු ගායන හැකියාවන් වලින් මා ලද රසය ඔබ හා බෙදා හදා ගැනීමට ය. එහෙත් මේ ගී නැවත අසන විට යමක් නොලියා ගීතයෙන් ගීතයට යාමට නොසිතේ. ලියන්නේ එබැවිනි.
08-08-2015 දින වැඩසටහන සඳහා ඔහු ගැයීමට තෝරාගනු ලබන්නේ වර්තමානයේ ජනප්‍රිය ගායකයෙකුගේ ජනප්‍රිය ගී ආරේ ගීතයකි.
 එහෙත් එය මද රිද්ම හැඟුම් ගායනාවකි.
ඔහු එම ගීතයට ද ශාස්ත්‍රීය ඌරුවක් නොවුනේ වුව  සිය සුපුරුදු හැඟීම් ගායනාවෙන් බරක් තබයි.
ඔහු මෙසේ ගයන අතරේ අනෙක් සමහර ගායකයෙක් තෝරා ගනු ලබන්නේ වර්තමාන තරුණන් අතරේ ජනප්‍රිය යම් වේග රිද්මයක්ද සහිත ගීයකි. හැඟීම් ගැයුමකට වඩා සමහර විට ගැයුම බෙරිහන් දිමක් සේ දැනෙන ගීතයකි. ධනුෂ්ක වෙනස් වන්නේ එලෙසිනි. 


වර්තමාන තරුණන් විසින්ද යම් මට්ටමකින් හැඟීම් දැනීම් දනවන ගී නිර්මාණය කරද්දී ධනුෂ්ක තරගය සඳහා තෝරා ගනු ලබන්නේ එවන් ආරක ගීතයකි.
එනම්
මතකය ඔබ ගැන  යළි සිහි කරලා
දෑස පුරා දුක දෝරෙ ගියා
ගීතයයි.
උපරිම හැඟීම් දනවන අයුරින් මහත් සංයමයෙන් ධනුෂ්ක විශිෂ්ඨ ගැයුමක් ඉදිරිපත් කරණ අතරේ ඔහුගේ ඇති අනෙක් විශිෂ්ඨත්වය යලි සිහි කරන්නේ නම් කිසිදු විටක ඔහු මුල් ගායකයාගේ හඬ අනුකරණය කරන්නට නොයාමයි. සිය හඬ පිලිබඳ උපරිම විශ්වාසයකින් ගයන යෞවනයන් අතරේ මේ නිසා ධනුෂ්ක ඉදිරියෙන් සිටී.
තවත් කරුණක් කිව යුතුමය. ධනුෂ්ක ගයනවා කියා වේදිකාව මත නටන්නට නොයයි. මෙහි නටනවා යනු රඟනවා යන්න නොවේ. දැඟලීමය.
මතකය ඔබ ගැන  යළි සිහි කරලා ගීතය ධනුෂ්ක චන්දිමාල් විසින් ගයන ආකාරය අසන්න.



මේ තරගයේ විනිශ්චය මඬුල්ලේ සිටින්නේ කීරිති පැස්කුවල්,  




සමිතා මුදුන්කොටුව




නදීක ගුරුගේ  

යන ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් ත්‍රිත්වයකි. ධනුෂ්ක සෑම විටම පාහේ ඔවුනගේ උපරිම ප්‍රශංසාවට බඳුන් වන ගැයුමක් ඉදිරිපත් කිරීමට සමත් වෙයි. එසේ වුව මා කිව යුත්තේ මා ඔහු ගැන විනිශ්චයට එළඹෙන්නේ ඔවුනගේ අදහස් නිසා නොවන බවය. ධනුෂ්කගේ ගැයුම අතර මග මා සිත කරණු ලබන විනිශ්චය බොහෝ විට විනිශ්චය මඬුල්ලේ තීරණයන්ට සමපාත වන බැවින් මසිත ඇති විනිශ්චය විනිශ්චය කර ගනු ලැබීම ය මවිසින් විනිශ්චය මඩුල්ල හරහා කරණුයේ.
මවා සෝ තාප සංඛාවෝ  නම් වන  එච්. ආර්. ජොතිපාල 


මහතා විසින් ගැයූ ගීය ඔහු ගැයුමට තෝරා ගන්නේ 2015 08 22 දින තරගය සඳහාය. එම ගීතය ද ශාස්ත්‍රීය ඌරුවට බොහෝ ළඟින් නිර්මාණය වුණු ගීතයකි. මේ ගීත ධනුෂ්ක ගයන ආකාරය අනුව මෙහි මුල් ගීතය නොඇසූ අයෙකුට කිසි විටකත් එය ජෝතිපාල මහතා විසින් ගැයූවකැයි නොසිතෙන සේ ගයනු ලැබූ බව කිව යුතුම ය.
ජෝතිපාල මහතා මෙවන් ශාස්ත්‍රීය ඌරුව අනුව නිමැවුනු තනු වලින් යුත් ගී ගයා තිබුණේ වුව ඔහු ඒවා ගයන්නේ ශාස්ත්‍රීය ඌරුවකින් නොවේ. ඔහුගේ ගැයුම ගැඹුරු හැඟුම්බර එකක් වුව එලෙසම ඒ ගැයුම් සරල ය. එහෙත් ධනුෂ්ක එය ගයන්නේ ගීතය නිර්මාණය වුණු පදනමේ ම පිහිටාය. එබැවින් එය සිය ගායනයක් ම වන තරමට ඔහු ගීතයට සමවැදී ගායනා කරණ බව දැකිය හැක.

මවා සෝ තාප සංකාවෝ
අපේ පෙම් ලෝ දැවේ ගින්නේ
අපේ පෙම් ලෝ දැවේ ගින්නේ

ඔබයි මාගේ
සදා පෙම් ලෝ-
කයට දුන්නේ ආලොකේ

මවා සෝ තාප සංකාවෝ
අපේ පෙම් ලෝ දැවේ ගින්නේ
අපේ පෙම් ලෝ දැවේ ගින්නේ

මෙය අපගේම තනුවක් නොවේ. භාරතීය ගීයක තනුවකි. ධනුෂ්ක ඉහත කොටස ගයා අවසන එම ගීතයට පාදක වූ මුල් බසින් ගැයෙන ගීත ඛණ්ඩයක්ද ඉදිරිපත් කරමින් ගීතය තවත් වර්ණවත් කරයි.
මවා සෝ තාප සංකාවෝ ගීතය ධනුෂ්ක චන්දිමාල් විසින් ගයන ආකාරය අසන්න.



ධනුෂ්ක තිබෙන දේ උඩින් උඩින් අරගෙන ගයනවාට වඩා තිබෙන දේ තෝරමින් ගයන බව පෙනී නොයන්නේද? ඔහු එලෙස තෝරාගෙන ගයනවා මතු නොව ඊට තව තවත් දේ එකතු කරමින් ගයයි.
සොයා යාම තිබිය යුතුම ලකුණකි. සොයා යන්නාට හැම දේම හම්බ නොවුණත් යමක් හෝ හම්බ වේ. ධනුෂ්කට යමක් පමණක් හමබ නොවේවායි පතනුයේ ඔහු මේ සොයා යන්නට පෙළඹ සිටින්නේ ඉතා කුඩා අවදියේදී ම වන නිසාය.
ධනුෂ්ක ගේ මේ ගමනට හොඳ මගපෙන්වන්නෙක් සිටිය යුතුමය. එලෙස සිටින බවද දනිමි.
නිමන්ත හේෂාන් ගමගේ යන නම මම හඳුනන්නේ සිරිස සුපර් ස්ටාර් යම් තරගාවලියකිනි. මා අසා ඇති පරිදි ධනුෂ්ක ගේ වර්තමාන සංගීත උපදේශක වන්නේ ඒ නිමන්ත හේෂාන් ගමගේ ය. ඒ ධනුෂ්ක ට වයස අවුරුදු 12 සිටය. නිමන්ත හේෂාන් ගමගේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අචාර්යවරයෙකි.  


නිමන්ත හේෂාන් ඇදුරුතුමා  ධනුෂ්කට නිසි මග පෙන්වන්නෙක් ව ඇති අයුරු ප්‍රශංසනීය ය.
ඇත්තෙන්ම ස්ටාර් තරග කරුවන්ට යම් මග පෙන්වන්නෙක් අවශ්‍යම ය. ඊට හේතු කිහිපයකි. එය වෙනම සාකච්ඡා කළ යුතුය. බොහෝ විට මෙහි ආධුනිකයින්ට යම් තැනක් ලැබෙනවා සේ ම ඒ ලබා දෙන තැන වෙනුවට වසර කිහිපයක් ඔවුන් ඒ ආධුනිකයින්ව විකුණා ගෙන කන බවක්ද අප දැක ඇත. ඒ නිසා තම හැකියාවන්ට වේදිකාවක් ඉදි කළ ඔවුන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකමක් මේ ආධුනිකයින් සතු විය යුතු වුවද ඔවුන් ඒ නිසා කඹුරන්නන් පිරිසක් නොවිය යුතුය. අවම වශයෙටන් නිර්මාණකිරීමේ නිදහසවත් තිබිය යුතුය. සමහර විට මේ මාධ්‍ය ජාලයන් ඔවුනට කැමැති නිර්මාණ වලට දායක වීමේ නිදහසවත් ලබා නොදෙන අවස්ථා තිබී ඇති බව ද මා අසා ඇත.
මෙසේ කෙමෙන් කෙමෙන් ඔහු ජය ටැඹ අසලටම පැමිණෙමින් සිටී. එහෙත් ඉදිරි කාලය අවිනිෂ්චිතය. එය හරියටම ඡන්දෙකින් පසු ප්‍රතිඵල ලැබෙනවා සේම අවිනිෂ්චිතය. සමහර විට දිනන්නේ අපි හිතන කෙනා නොවේ. ඒ කී දේශපාලනඥයින්ට ඡන්දය දෙන්නේද, මේ ගායකයින්ට ඡන්දය දෙන්නේද එකම ඡන්ද දායක පිරිසකි. ඔවුනගේ මතය සෑම විටම නිවැරදි නොවිය හැකිය.
සම්භාවිතාව මත අනාගතය තීරණය වන තරගාවලියක ඔහු කොතෙක් දුර ගමන් කරණු ඇති දැයි නොදන්නේ වුව දක්ෂතාව මත අනාගතය තීරණය වන මං පෙතක ධනුෂ්ක ට බොහෝ දුර යා හැකි වනු ඇත.
ඔහු මෙසේ සිය ගමන යන අතරේ සැප්තැම්බරය ප්‍රයෝජනයට ගන්නේ සිය දක්ෂකම් වල උපරිමයට තමන් පැමිණ සිටින අප වෙත බව නැවත නැවත ගෙනහැර පෑමට ය. එබැවින් දැන් අප එම දක්ෂකම් වෙත යොමු විය යුතුය.

බඹර නාදේ යනු ඔහු 2015 - 09 - 05    දින ගැයූ ගීයයි. මෙය බාචි සුසාන් සහ ශානිකා මධුමාලි  

ගේ ගීතයක් වන අතර තරුණ පරපුර අතරේ ජනප්‍රිය ගීයක් ද වෙයි. මේ එම මුල් ගීතයයි.


මුල් ගීතය කුමන සංගීත භාණ්ඩ වයමින් කුමන ආරකින් ගැයුවද, ධනුෂ්ක එම ගීතයේ මූලික හැඩ තල රකිමින් එහෙත් තමන් ගයන විට එය වෙනත් ඉසවු කරා සංගීතමය වශයෙන්ද ගායනය වශයෙන්ද ඔසවා තබමින් තමන්ගේ ගීතයක් බවට පත් කරගනී. ඔහුගේ ගමනේ මුල්ම අඩි කිහිපයේ අපි දකින විශිෂ්ඨත්වය එයයි.
ඒ මුල් අඩි කිහිපය තබන්නේ දුර ස්ථාවර ගමනක් සඳහා සුදුසුකම් සපුරමින් බව දැන්ම කියන්නට අපට සිතෙන්නේ එබැවිනි.
බමර නාදේ ගීතය ධනුෂ්ක චන්දිමාල් විසින් ගයන ආකාරය අසන්න.



සීතා මා සිරියා ඉන්නේ
කොහොද් අනේ මෙකලා
බෝ වීය සෝකා මහදේ
දෙදරා හදා....
මේ ගීය මොන තරම නම් අපේ ප්‍රවීන ගායකයින්ගේ හඬවල් වලින් ඇසී ඇතිද?
මිල්ටන් පෙරේරා....
සුනිල් එදිරිසිංහ...
අමරසිරි පීරිස්...
ඩබ්. ඩී. ආරියසිංහ...
නිස්සංක දිද්දෙනිය...
කෝලිත භානු දිසානායක....
මේ මට මතක් වන මේ ගීය ගයනු අසා ඇති නම් ප්‍රවීන නම් කිහිපයක් පමණි.
ඒ ගීතයටද මේ අවුරුදු 16 කොළු ගැටයා බය නැතිව අත ගසයි. අතගැසුවා පමණක් නොව තමන්ට සම්මානනීය ලෙස අත ගැසූ කාර්යය නිම කරයි. මෙහිදීද ඔහු මුල් ගීය ගයනු වෙනුවට සිය ශාස්ත්‍රීය ගායන හැකියාව ප්‍රකට කරමින් එය ගයයි. අර දැවැන්තයින් අතරේ එම ගීතය තැබිය හැකි අයුරින් ගයයි.
සීතා මා සිරියා ඉන්නේ ගීතය ධනුෂ්ක චන්දිමාල් විසින් ගයන ආකාරය අසන්න.



2015 09 19 දිනය දෙරණ ආයතනය විසින් නම් කොට තිබුණේ දෙරණ සැදූ ගී ගැයෙන වැඩ සටහන ලෙසිනි. මේ අනුව පළමු කොන්දේසිය දෙරණ සැදූ ගීයක් ම තෝරාගත යුතු වීමය. දෙරණ සැදූ සමහර ගී සොඳුරුය. සමහර ගී සාමාන්‍යය. වැඩිමනත් ගී සත පහකට වඩා නොවටිණේය. මේ අනුව එක් එක් තරග කරුවා හට විවිධ ගී ලැබුණු අතරේ ධනුෂ්ක ට ලැබුණේ අධිරජ ධර්මාශෝක ටෙලි නාට්‍යයේ එන ඔබමයි මා හද දිනුව ගීතයයි. මේ ගීතය පෙර ගයා තිබුණේ ද දෙරණෙන්ම බිහි කළ ගායකයෙකු විසිනි.
ඔහු ගැයූ ගීය බෙහෙවින්ම අගැයුමට ලක් වුණු අතර සමිතා මුදුන්කොටුව මහත්මිය කියා සිටියේ අවසාන මහා තරගයේ ගී ගයන තිදෙනා අතරේ ධනුෂ්ක අනිවාර්යයෙන්ම සිටිය යුතු බවය. ඔහු අනිවාර්යයෙන් එම වැඩ සටහනට හිඳුවන්නේද යන්න විනිශ්චය මණ්ඩලයට තීරණය කළ නොහැකි දෙයක් වන වට පිටාවක ඒ ගැන බැලීමට කාලයට ඉඩ දිය යුතුය.
ඔබමයි මා හද දිනුව  ගීතය ධනුෂ්ක චන්දිමාල් විසින් ගයන ආකාරය අසන්න.



ධනුෂ්ක චන්දිමාල් ගැන මා මෙම සටහන තැබුවේ බොහෝ ප්‍රවීනයින් ගැන මෙවන් සටහන් තබන මම මේ වයස අවුරුදු දහසයේ අති දක්ෂ කොළු ගැටයා ගැන නොලියන්නේ නම් එය මා අතින් වන අඩුවක් සේ දැනුනු බැවිනි. ඉතින් කෙටියෙන් නමුත් ලියා තියන්නට පටන් ගත් සටහන සෑහෙනට දිගු එකක් විය. ඔහු මෙතෙක් මේ මග හැසිරුණු ආකාරය අනුව ය මෙවන් සටහනක් ලියැවුනේ.
ඇරඹුම මෙවන් අයුරකින් ගත් කල ඉදිරිය වඩා යහපත් අයුරින් යනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිමි. ඒ සඳහා තිර අදිටනක් ඇවැසිය. ඔහුගේ ගුරුවරුන් සේම අනෙකුත් වැඩිහිටියන් ද ඔහුගේ වගකීම යුතුකම ඔහුට පැහැදිලි කර දෙත්වා.
ආ අයුරින්ම පරෙස්සමින් සෙමෙන් යහපත් අයුරින් ගමන යන්නේ නම් ඔහුට යා හැකි දුර අති විශාලයැයි නැවතත් කියමි. එහෙත් බොහෝ විට ඇරඹුම බලාපොරොත්තු සහගතව ගෙන හදිසි කෙටි මං පෙත් සෙවීම නිසා ඉදිරිය අහිමිවූවන්ද මේ මං පෙතේ සිටි බව මතක් කර දෙමි.
හෙට 2015 10 03 දින රාත්‍රියේ ඔහු ගයන්නේ මොහිදීන් බෙග් මාස්ටර් 


ගේ මැණිකක් රකිණා නා රජිඳෙකු සේ ගීතය බව මට දැන ගන්නට ලැබුණි. ඔහු මෙතෙක් ගැයූ ගී දෙස බලන විට ඒ කඩ ඉම නම් පහසුවෙන් පනිනු ඇතැයි මට සිතේ. ඒ ගීතයත් මීට ඇමිණිය හැකි නම් යැයි සිතුවද මේ මොහොතේ මේ සටහන පළ කිරීම වඩාත් යෝග්‍ය යැයි සිතුනි. එබැවින් ධනුෂ්ක චන්දිමාල් ගේ ගැයුම් වල මා දුටු උත්කර්ශය වූ පසු ගිය සැප්තැම්බර් 26 දා ඔහු ගැයූ ගීයෙන් මා මෙම සටහනට විරාමයක් තබමි.
එම ගෙවුණු අවසන් සතියේ ධනුෂ්ක ගායනා කරණු ලැබුවේ පණ්ඩිත් අමරදේවයන්ගේ

මේ ගී එදා ඔබේ හඬින්
මා ඇසූ රාවයයි...
ගීතයයි.
මේ ගීය මුලින් ම ඇසුනේ පණ්ඩිත් අමරදේවයන්ගේ දැවැන්ත හඬ පෞරුෂයෙන් වන බැවින් එම ගීය ඔස්සේ තමන් වෙත ඇති කර ගතහැකි ආකර්ශණය පිළිබඳ චකිතයක් ඔහු තුළ තිබිය යුතු වුවද එවන් චකිතයක් තිබූ බවක් ඔහුගේ ගායනයෙන් නොපෙනුනි. මේ ගීය ම අප ඇසූ අනෙක් හඬ ඩබ්. ඩී. ආරියසිංහයන් ගේ ය.



ඔහුගේ හඬද අමරදේවයන් අභිබවා නොගිය ද ඊට නොදෙවෙනි එකකි.  
ධනුෂ්ක විශ්වාසවන්තව නිවැරදිව හැඟීම් බරව සහ මුල් නිර්මාණයට යම් යම් දේ එකතු කරමින් ගයා තමනට අවැසි ආකර්ශනය ලබා ගත් බව පැහැදිලි වුණි.
ඒ ගීත අසා අවසන අදහස් දැක්වූ නදීක ගුරුගේ මහතා පැවසුවේ මෙවර තරගාවලියේ ඔහු ඇසූ හොඳම ගැයුම එය වූ බවය.
සමිතා මුදුන්කොටුව මහත්මියගේ අදහස වූයේ පෙර ද කී සේ ම අවසාන මහා තරගයේ තරගකරුවන් තිදෙනා අතරේ ඔහු සිටිය යුතුම බව ය.
කීර්ති පැස්කුවල් මහතා කියා සිටියේ අවසාන තරගකරුවන් තිදෙනා අතරේ ඔහු සිටිය යුතුම බවට වන අදහස තමන්ද පිලිගන්නා අතරේ තරගකාරී වට පිටාවක ධනුෂ්ක තවත් බොහෝ මහන්සි විය යුතු බව ය.
එය ඇත්තකි. කිසිදු දෙයක් නිකං නොලැබේ. බලෙන්ද එවැනි දේ ලබා ගත නොහැකි ය. ලබා ගත හැකි පහසු ම ආකාරය වන්නේ තමන්ට තිබෙන මේ සුවිශේෂ දක්ෂතාව ඔප මට්ටම් කරගනිමින්  දක්ෂතාවම සවිය කොට ගෙන තරගවැදීමෙනි.
මේ ගී එදා ඇගේ හඬින්  ගීතය ධනුෂ්ක චන්දිමාල් විසින් ගයන ආකාරය අසන්න.


ධනුෂ්ක චන්දිමාල් ගැන මේ අවස්ථාවේ මීට වැඩි දෙයක් නොකියමි. එහෙත් අවසන් වචන ටික ලෙස මේ දේ කියමි.
මා මේ සටහන තබන්නට පෙළඹවූයේ නොමේරූ ඔහුගේ මේරූ ගායන දක්ෂතාවයයි.
මා මගේ බ්ලොග් අඩවියට ලියමින් සිටියේ ඩෝල්ටන් අල්විසුන් ගේ ගී පිළිබඳ විමසුම් සටහන් ය. පසු ගිය සටහන අවසන මා එහි රසිකයින්ට පොරොන්දු වූයේ අල්විසුන් ගේ ගී පිළිබඳව ලියන ඊ ළඟ සටහනින් හමු වෙමු ය යන්නයි. එහෙත් ඊට පෙර ය මේ සටහන ලියන්නට සිත් වූයේ.
ධනුෂ්ක ගේ ඉදිරි ගමන පිළිබඳව ඇත්තේ විශාල හැඟීමකි. බලාපොරොත්තුවකි. එවන් පැතුම් සුන් නොකොට තම ගමන යාම ධනුෂ්ක ගේ යුතුකමකි. වගකීමකි.
-         යසනාත් ධම්මික බණ්ඩාර  -

12 comments:

  1. පුංචි කාලෙ ළමයකුගෙ දස්කමක දී හොඳයි කියන්න දෙමාපියො ගුරුවරු ඉන්න රටක හදී වැඩුනු අපිට ඒ පුරුද්දෙන් මිදෙන්න බැරිනිසයි. ඔබ මුලදී පවසන ප්‍රතාචාර ලැබිල තියෙන්නෙ. මුලදීම දිරිගන්වන්න එකෙක් හරි හිටියොත් තමයි මනුස්සයෙක් ඉදිරියට යන්නෙ. ඔබ කර ඇත්තේ හොඳම හොඳ දෙයක් යසනාත්

    ReplyDelete
  2. ඉතාම වටිනා ඇගයීම් ලිපියක් අය්යේ "ධනුෂ්ක චන්දිමාල්" පොඩි පුතාව මම ඉස්සරලම දැක්‌කේ සිරස සුපර්ස්ටාර් තරඟයේදී ... ඔහුගේ හඬ ගැන එදා මම පුදුම වුනා ..දිනක ඔහු මේ ගමන ජය ගන්න වග මටද දැනුනා ....යසනාත් අය්යේ ඔබ වැනි ප්‍රවීණ විචාරකයෙකු මෙලෙස දිරිගැන්වීමේ සටහනක් තැබීම "ධනුෂ්ක චන්දිමාල්" පුතාගේ ඉදිරි ගමනට වාසනාවක් ..මමත් "ධනුෂ්ක චන්දිමාල්" පුතාට හදවතින් සුභ පතනවා අහසේ තැනු මාලිගා දිනක සැබෑ රුවන් මාලිගාවක් වේවා කියා ...!

    ReplyDelete
  3. නැවත නැවතත් මම ඔබේ මේ මෙහවර අගය කරනවා මල්ලි.
    රූපවාහිණී නාලිකා එකක්වත් බලන්නෙ නෑ කියල ස්වයං වාරණයක් දාගෙන ඉන්න නිසා, මෙවන් දක්ෂයෝ ගොඩක් දැන් මට මගෑරෙනවා.
    ඇත්තෙන් ම මේ කොල්ලා ගැන කතා කළ යුතුමයි...
    ඔමු මුලින් ම ගයන “මාළිගා“ ගීතය ලියුවේ ගාමිණී ෆොන්සේකා මහතා ම බව තමයි මගේ මතකයේ තිබෙන්නෙ. ඒක ගැනත් සොයල බලන්න මල්ලි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියණ්ඩි, කියවීම සහ අදහස් දැක්වීම ගැන.
      එමෙන්ම මේ මාළිගා ගීතයේ රචනය පිළිබඳ ලබා දුන් ඉඟියට.
      මා දන්නා තරමින් ගාමිණී ෆොන්සේකා ලියා තිබුණේ ගීත අතලොසසක්.
      එකක් තමයි බමරිඳු බමරිඳු කුමට වඩින්නේ ගීතය. තවත් ජනප්‍රියම ගීතයක් වික්ටර් රත්නායක විසින් ගයන අහිමි වුණත් නුඹ ළඳේ ගීතය. සොඳුර නුඹ මට මවු වෙයන් ගීතයත් ඔහුගේ. එමෙන්ම වික්ටර් රත්නායක විසින්ම සංගීතවත් කොට ගැයූ එහෙත් මා අසා නොමැති සසර නිසරු බව, කල්ප ගණන්, සත් වසරක්, පසුකර ආ අතීතය වැනි තවත් ගීත කිහිපයක් ගැන සඳහන් වෙනවා. මේ බොහෝ් ගීත වික්ටර් රත්නායක හා එක්ව කළ ඒවා.
      මේ අනුව ගාමිණී ෆොන්සේකාගේ මේ අතලොස්සක් ගීත ප්‍රමාණය පිළිබඳවද කතා නොකර බැරි තත්වයක් උදා වී ඇත. එබැවින් එම සටහන ලියා පළ තොට දැනුම් දෙන්නෙමි. ස්තුතියි කති කැව්වාට. නුදුරු දිනයක සිනාසෙමි.

      Delete
    2. ව්‍රතියෙන් වය්‍යදවරයෙක් වූ යසනාත් ධම්මික බණ්ඩාර ගී පද රචකායාට මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ ලාබාල දක්ශ තරග කරුවා කිරිබත්ගොඩ ධනුෂ්ක චන්දිමාල් ගැන නැගෙන අදහස අගය කරනවා...යසනාත් සොයුර ඔබ වැනි ප්‍රවීණ විචාරකයෙකු ඔබ වැනි කාර්ය බහුල උසස් නිලයක් හොබවන කලාව අති දක්ශ ලෙස පරිහරනය කරන ඔබ වන්නෙක්ට මෙවැනි වයසින් එත්‍රම් නොමේරූ දක්ශ කොලුගැටෙයෙක්ගේ ගායනා විලාශය ගැන උදම් ඇනීමට ලැබීමත් ඔහුගේ ගයන විලාශය මෙතරම් අගය කීරිම ඔහු පූරුවේ කල මහත් වූ භාගයක් ලෙසයි මට දැනෙනේ...ඔබ වැනි ප්‍රවීනයෙක්ගේ අගය කීරීමට පාත්‍ර වීම තරුවක් නොවූවත් මහත් වූ සම්පතක්...ඔබට ගොඩක් පින් ..තවතවත් ඔබගෙන් අපට හරවත් පදවැල් විච්‍ර සිතුවිලි ගොඩනැගේවා...එමෙන්ම "ධනුෂ්ක චන්දිමාල්" පුතාට හදවතින් සුභ පතනවා...තවතවත් ඉදිරියට තරගකාරී ගීත ඉදිරිපත් කිරීමට ශක්තිය ධ්‍යර්ය ලැබේවා....

      Delete
  4. මේ ලිපිය කියවන්න පටන් ගත්තේ කම්මැලි කමකින්. මොකද මේ රියැලිටි ගායකයෙක් ඔසවා තබන්නේ කියලා. එත් යසනාත්ගේ කුතුහලය දනවන අපූරු භාෂාවත් ලිපිය ඉදිරිපත් කර ඇති ආකාරයත් බැලුවම අවසාන අකුර දක්වාම පමණක් නොව අවසාන ගීතය දක්වා නිදි මරාගෙන අහන්න වුනා. Yasanath Dhammika Bandara ඇයි මෙච්චර ලස්සනට ලියලා අපේ නින්ද කඩන්නේ කියල මට හිතුනා. මේ තරුණ ළමයාගේ ගායන කෞශල්‍ය ගැන කියන්න මේ ලිපියත් මදි වේවි කියා හිතුනා. මේ නොවේද රියැලිටි???. පුතේ නුඹ යන ගමන නවත්වන්න රියලිටි චැනල් වලට වත් බැරිවේවි.

    ReplyDelete
  5. බොහොම ස්තුතියී අය්යේ මේ දක්ෂ දරුවා ගැන මෙවන් සටහනක් තැබුවාට. ඔබේ ඇගයීම ඔහුව අසන වැඩි පිරිසකගේ මතය බව දැන් දැන් පෙනෙන කරුණක්. හදවතින්ම සුබ පතනවා "ධනුෂ්ක චන්දිමාල්" පුතාගේ අනාගතයට. එමෙන්ම අය්යේ ඔබේ මේ සුවිසල් මෙහෙවරද මා අගයන්නේ බැති සිතින්. අය්යණ්ඩියේ ඔබටත් සුබ ගමන්...!!!

    ReplyDelete
  6. ඔහු ගැන මෙවන් සටහනක් තබන්නට වුවමනාවක් ඇති වුනා කියන්නෙ ඇත්තටම ඔහු දක්ෂයෙන් විය යුතුයි. ඒ වගෙම ඔහු අතිශයින් වසනාවන්ත විය යුතුයි යසනාත් මහත්මයා වගේ කෙනෙක් ගෙන් ඇගයුම් ලබන්න..
    සුදුස්සාට සුදුසු තැන ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
  7. පුතාගේ හැකියාව දිනෙන් දින බලමින් නිරාමිස සතුටක් අපි දෙදෙනාම විඳිනවා. මේ ලිපිය ලිවීමෙන් ඔහු දිරි ගැන්වූවාට නොවක් තුති. අපේ රටේ මෙවන් දක්ෂයින් අගය කල යුතුමයි. "ධනුෂ්ක චන්දිමාල්" පුතාට ඉදිරියේ දී ජයෙන් ජයම ලැබේවා! යි හදවතින්ම සුබ පතනවා.

    ReplyDelete
  8. ඇත්තෙන්ම ඔහුගේ ගැයුම් රමණීයයි. දැනටමත් ඔහු ඩ්‍රීම් ස්ටාර් වී හමාරයි. එතරම් දක්ෂ ආකාරයට ගයන ගායකයෙක් ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේම මම දැක්කෙ නෑ.ඔබ වැනි විශිෂ්ඨයෙක් ඔහු පිළිබඳ ඇගයීමෙන් මගේ නිගමනය නිවැරදි බව තවත් තහවුරු වීම ද මට සතුටක් වන්නේ එතරම් ම ධනුෂ්ක නම් එම නව ලාබාල ගායකයා මගේ ප්‍රියතම ගායකයා වන නිසයි. මා ඔහුගේ ගැයුම් දෙස බලා සිටින්නේ අතිශයින් විස්මයෙන් යුතුවයි. එකතු තත්පරයකට ඇස හෝ කන වෙන අවදානයක් වෙත නොයවමින් (සමහර විටෙක මා හට හිද ගැනීමට ද අමතකව යයි) ඔහුගේ ගැයුමට අසන්නේ එතරම් ම එම ගැයුමන් රසවත් ස්වභාවික, අයාසයකින් තොරව ගයන අතිශයින් සූක්ෂම ස්වර රටා අතර ඔහු දක්ෂ ලෙස කිමිදෙන නිසයි.
    අඹයා

    ReplyDelete
  9. මම කිසිම රටක reality වැඩසටහන් නොබලමි, ඒ බොහෝ තරඟ කරුවන් ගීත වලට අවශ්‍ය වටිනාකම නොදෙන නිසාවෙනි, ඔවුන්ගේ ගායන වැරදි මට ඇහෙනකොට අසා ගෙන ඉන්න බැරි නිසාවෙනි. මේ දරුවා ගැන සටහන බොහොම වටිනා සටහනක් ඔහුට. අවුරුදු 16 ක් නිසා ඔහුට හොඳ ඉදිරි ගමනක් තිබේවි කියා හිතනවා. ඔහුගේ ගායනය ඔහුගේ වයසට වඩා වැඩි පරිනත බවක් පෙන්නනවා, හැබැයි සියයට සියයක්ම හරියාකාර ස්වර මට්ටම පවත්වා ගැනීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ කියන්නේ තවම out සින්ග් කරනවා හැම ගීතයකම ඒක මනාව පේනවා, ඒ වගේම ඔහු එය නිවැරදි කර ගන්න බවකුත් පේනවා. කොහොම උනත් 16 ක දරුවෙක් විවේචනයට වඩා ඔහුව ඔසවා තැබීමෙන් ඔහුගේ ගමන සුබ දායක ගමනක් වේ යැයි හිතෙනවා. හැබැයි සමහර දෙනෙක් උඩ තැබීමෙන් උන් අත්තත් , පය ගහපු අත්තත් දෙකම නැති උන වෙලාවල් අපි දැකල තියෙනවා සමාජයේ. ඔහුට එහෙම නොවේවා කියලත් ප්‍රර්ථනා කරනවා. කොහොම උනත් මේ දරුවට සුභ අනාගතයක් පතනවා මාත් අපගේ සම්භාව්‍ය ගීතයට ඇලුම් කරන කෙනෙක් නිසා.

    ReplyDelete