Thursday, February 19, 2015

දෙනෙත් තරු නම් ඇයි ද ගිනිගෙන දවන්නේ ( කිඳුරු ගීතය ගී සැඳෑව දෙවන කොටස)




ප්‍රේමයේ සොඳුරු අත්දැකීම් වලට වගේම යොවුන් වයසේදී ප්‍රේමයේ අඳුරු අත්දැකීම් වලටත් කෙනෙකුට මුහුණ දෙන්නට විය හැකියි. එහෙත් අර ධම්මික බණ්ඩාරයන් කිවුවා මෙන් වියෝ දුක සාමාන්‍ය මිනිසෙකු තුළ ශෝකය වේදනාව සහ සමහරවිට වෛරය ක්‍රෝධය වැනි හැඟීම් ජනිත කළත්   ගීත රචකයින් කවියන් ගේ හිතේ ජනිත කරන්නේ රසයක්. ඒක තමයි ශෝක රසය. නාට්‍ය කලාවේදී නව නළු රස ලෙසින් මෙවැනි ම විවිධ රසයන්ගැන විග්‍රහ කෙරෙනවා. නව නළු රස  අතරට ශෝක රසයත් එක්වෙනවා. කවියා ගීත රචකයා යම් ශෝකය දනවන අත්දැකීමක් හෝ අත්විඳීමක් සිය නිර්මාණ තුළට ගොනු කර ගනිමින් ඒ ඔස්සේ අන්‍යන්ටද එය දන්වන්න සමත් වෙනවා. එය හුදු ශෝකය ලෙස නොව ශෝක රසය ලෙසිනුයි ඔහු ගෙනහැර පාන්නේ.
මගේ කවි ගීත බොහෝමයක පසු කලෙක රසයක් බවට පෙරළූ ළසෝ දුක ගැබ්වුණා. යොවුන් වියේ සමහර අත්දැකීම් ද අත්විඳීම් ද මේවාට හේතුවෙන්නට ඇති. ඒ ලෙස ම යොවුන් වියට පෙර සිට ම, සමීප කිසිදු අත්දැකීමක් නැතිවත් අතිශයින්අසන්නට ප්‍රිය කළ පිය විප්පයෝගය පිළිබඳව ලියැවුනු ගී දහස් ගණනක්ද එවැනි කව් ගී ලිවීමෙහි ලා මා පොළඹවන්නට ඇත.
දිනක් මම කවියක් ලියුවා මෙහෙම. 

නුඹේ නෙත් තරු වගේ
නුඹේ වත මලක් වගේ
නුඹේ සිත හරි මෙලෙක්.....

මේ ඒ කවිය ම නොවේ. එහෙත් එදා මම ලියූ කවියේ අර්ථය එවැන්නක් වුණා. ඒ කවිය දැන් මට හරියට ම මතක නෑ. පසු කලෙකනේ මෙවැනි  කවිවල ඇති මෙවන් වර්ණනා සැබෑ ස්වරූපයට නොගැලපෙන බව වැටහෙන්නේ. අනතුරුව මම ඒ ඇසුරින් ම ලියූ ගීතයේ මුළ් පද පෙළ විමසා ඒ ගැන කථාවට මුළ පුරමු.

නුඹේ නෙත් තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයි ද ගිනිගෙන දවන්නේ....

එදා ඒ කවියේ තිබුණේ ඇයගේ නෙත් තරු වගේ කියලා. නමුත් පසු කලෙක ඒ තරු නෙත් යොවුන් හදවතක් දවා හළුකර දැමුවේ නම්....? මම ම ලියපු කවිපද මගෙන් ම විමසනවා ඒ දෙනෙත් තරු නම් ඇයි මේ විදිහට දවා හළුකර කරන්නේ කියලා.

නුඹේ වත මලකැයි උවම්කර
මා එදා ලියු කවි පදම අද
මගෙන් විමසාවී
මලක්නම් වත
ඇයි ද කටු ලෙස ඇනෙනනේ.....

එදා ඇගේ වත මඬල දුටුවේ මලක් වගේ. ඒ තරම් සුන්දර සියුමැලි මලක් ලෝකයේ වෙන කොහේවත් ඇතිද. තුරුණු සිත් සිතන්නේ එහෙම තමයි. තුරුණු පෙම්වතා තුරුණු කවියෙකු වුණොත් තත්වය තවත් උග්‍ර විය හැකියි. ඉතින් එහෙම මම ම ලියපු කවු ගී මගෙන් ම අහනවා මලක් නම් ඒ මුහුණ ඇයි මෙහෙම කටු වගේ ඇනෙන්නේ කියා.

නුඹේ සිත මෙලෙකැයි පසක්කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
මෙලෙක්නම් සිත
ඇයිද හිස වැද රිදෙන්නේ....

එදා ඒ සිත තරම් මුදු මෙලෙක සිතක් අන් කොහේ නම් තිබුණේද? ඒ නිසාම තමයි නුඹේ සිත හරිම මෙලෙක් කියලා මගේ කවියට නැගෙන්නේ. වසර ගණනකට පසු එවැනි සිතක් නොතිබුණු බව ඔප්පු වුවහොත් අර විදිහට ලියූ කවි පද නොවමසාවිද ඒ සිත ඒ තරම් මෙලෙක්  වුණානම් ඇයිද හිස වැදුණාම රිදෙන්නේ කියලා.
මේ ගීතය මම ලියා දුන්නේ ගායක ලක්ෂ්මන් විජේසේකරයන් ගේ රෑ තරුවීකියන ගීත සංග්‍රහය සඳහා. 


මෙහි තනුව සහ ගායනය ලක්ෂ්මන් විජේසෙකරගේ. සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින්. 



නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පදම අද මගෙන් විමසාවී
දෙනෙත් තරුනම්
ඇයිද ගිනිගෙන දවන්නෙ....

නුඹේ වත මලකැයි උවම්කර
මා එදා ලියු කවි පදම
අද මගෙන් විමසාවී
මලක්නම් වත
ඇයිද කටු ලෙස ඇනෙනනේ..

නුඹේ සිත මෙලෙකැයි පසක්කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
මෙලෙක්නම් සිත
ඇයිද හිස වැද රිදෙන්නේ....

පද - යසනාත් ධම්මික බණ්ඩාර
තනුව සහ ගායනය: ලක්ෂ්මන් විජේසෙකර.
සංගීතය: රෝහණ වීරසිංහ.

නුඹේ නෙත් තරු ගීතය අසමු.



සමිතා මුදුන්කොටුව ගායන ශිල්පිනියගේ සංසාරණ්‍යයේ ගීතසංග්‍රහය සඳහා මට සහ මා මිතුරු කරුණාරත්න විජේවර්ධනට එක් ව නිර්මාණයක් කිරිමට අවස්ථාවක් ලැබුණා. 

යසේ..... සමිතා මෙදා සැරේ කරන්නේ ටිකක් අමුතු විදිහේ නිර්මාණ එකතුවක්. හැබැයි අපි එහෙමම කරන්න ඕනෑ නෑ. අපි ටිකක් වෙනස් සංගීත සංයෝජනයකට නමුත් කැමති විදිහේ ගීයක් කරමු. වැඩේට ගන්නවාද නැති ද යන්න නොසිතා.
ඒ ඉල්ලීම අනුව මවිසින් පද රචනය ලියා දෙනු ලැබිණි.



මේ අහස මෙතරම් වගුරවන්නේ
වැසි ද කඳුළු ද මං නොදන්නේ
මේ සුළඟ මෙතරම් ගෙන හමන්නේ
ළසෝ දුකම ද මං නොදන්නේ......

ඇය සමහරවිට විරහින් වැලපෙන්නියක් වෙන්න ඇති.  වැස්ස වසින දවසක් වේ නම් ඇය හිතන්නේ අහස මෙතරම් වගුරවන්නේ වැසි නොව කඳුළු ය කියලයි. සමහරවිට ඇය අහසින් වැටෙන වැස්ස තරමට නෙතින් කඳුළු දිය හෙළූ කෙනෙක් වෙන්න ඇති.
මහ හයියෙන් සුළං හමන විට ඇයට හිතෙන්නේ මේ ලෙස මේ තරම් හමන්නේ සුළඟ නොව දුක්බර හදවත් හෙළූ සුසුම් වැල් ය කියලයි. ඇය ඒ තරමට ම සුසුම් හෙළූ කෙනෙක් වෙන්න ඇති.

අතු අගට පිපි මල් එලිය දෙන්නේ
මලේ පිනි කැට රැස් දිලෙන්නේ
පිනි ද කඳුළු ද මං නොදන්නේ
කවුද එය මට කියා දෙන්නේ.....

උදෑසන තුරු ලිය අතු පතර මත නොයෙක් මල් පිපිලා. ලොව ම එළියයි. ලොව ම සුවඳයි. ඒ සුන්දරත්වය ආලෝකය වැඩි කරන්නදෝ මල් මත පිනි මලුත් පිපිලා. රැස් විහිදුවනවා. ඒත් අප කථානායිකාවට ගැටළුක් මේ පිනි ද එහෙම නැති නම් වියොවින් වැලපුණ කවුරුන් හෝ හෙළූ කඳුළු ද කියලා. ඒත් කවුද ඇගේ මේ පැණයට පිළිතුරු දෙන්නේ....

රෑ අහස තරු මල් එළිය දෙන්නේ
නීල මිණිකැට මෙන් දිලෙන්නේ
මිණිද කඳුළුද මං නොදන්නේ
කවුද එය මට කියා දෙන්නේ.....

රාත්‍රී අහස පුරා තරු මල් පීදිලා නිල් මැණික් කැට ගොඩක් වගෙයි පෙනෙනනේ. ඒත් ඇයට මේකත් මහා ගැටළුවක්. ඇයට පෙනෙන්නෙම මේ  නම් මිණිකැට නො‍ව වියොවින් වැලපුණ කවුරුන් හෝ හෙළූ කඳුළු කියලෙයි.
ඉතින් සාමාන්‍ය අයෙකුට සොබා දහමේ සමහර දේ ලස්සන මැවුම්....
වෙසෙස් අසිරීන්.......
එහෙත් කවි ලියන ගී ලියන කවියන්ට ඒවා පෙනෙන්නේ කාගේ හෝ දුකක් කඳුළක් සුසුමක්  ලෙසයි......

මේ අහස මෙතරම් වගුරවන්නේ
වැසි ද කඳුළු ද මං නොදන්නේ
මේ සුළඟ මෙතරම් ගෙන හමන්නේ
ළසෝ දුකම ද මං නොදන්නේ......

අතු අගට පිපි මල් එලිය දෙන්නේ
මලේ පිනි කැට රැස් දිලෙන්නේ
පිනි ද කඳුළු ද මං නොදන්නේ
කවුද එය මට කියා දෙන්නේ.....

රෑ අහසෙ තරු මල් එළිය දෙන්නේ
නීල මිණිකැට මෙන් දිලෙන්නේ
මිණි ද කඳුළු ද මං නොදන්නේ
කවුද එය මට කියා දෙන්නේ.....

පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - කරුණාරත්න විජේවර්ධන.
හඬ - සමිතා එරන්දතී මුදුන්කොටුව.

මේ අහස මෙතරම් වගුරවන්නේ ගීතය අසමු.


පෝස්ටු දිගු වෙතැයි සමහරුන්ගේ සොඳුරු අවලාදයක් විය. එබැවින් මෙවර මෙලෙස එය කෙටියෙන් ඉදිරිපත් කළෙමි. මට ලියන්ට ද පහසුය. ඔබට කියවන්ට ද පහසුය.
ඉක්මණින් ම හමුවෙමු.
- යසනාත් ධම්මික බණ්ඩාර  -

1 comment:

  1. "රෑ අහසෙ තරු මල් එළිය දෙන්නේ
    නීල මිණිකැට මෙන් දිලෙන්නේ
    මිණි ද කඳුළු ද මං නොදන්නේ
    කවුද එය මට කියා දෙන්නේ....."

    නියමයි දම්මික අය්යේ කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් දන්නේ නැ .....
    ඉදිරියටත් හොඳ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා .
    ජය වේවා ...

    ReplyDelete