Saturday, June 7, 2014

තවත් මවක් මියගියාය....




1940 අළුත් අවුරුද්ද පසු වී යන්තම් දෙසතියක්වත් නැත. එනම් 25 වෙනිදාය. පොල්ගහවෙල, ඉහළ උඩපොල, මාවත්ත ගමේ පදිංචිව සිටි අතපත්තු මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩාට සහ අතපත්තු මුදියන්සේලාගේ ඩිංගිරි මැණිකේ යුවලට එදින වෙසෙස් දිනයක්විය. ඒ අනෙකක් නිසා නොව ඔවුනගේ පවුලට දියණියක් ඉපදීම නිසාය.

අළුත උපන් බිළිඳියට යෙදූ නම කිරිමැණිකේය. ඇය අතපත්තු මුදියන්සේලාගේ කිරිමැණිකේ ලෙසත්, ඒ. ඇම්. කේ. අතපත්තු ලෙසත් විවිධ තැන්වලදී හැඳින් වින. ඈ උපත ලද්දේ පවුලේ දෙවැනියාවය. එහෙත් පවුලේ එකම දියණිය ඇය වූවාය. පවුලට සම්බන්ධ අනෙක් පවුල් අතුරින් වැඩි මහල් දියණිය ඇය වූ බැවින් ඇය ලොකු අක්කා කෙනෙක් විය.

මාවත්ත යනු අදටත් නියම ගමකි. සංවර්ධනයේ වත්සුනු තම වත මත තැවරුණද, ඉන් ඈ කිලිටි නොවුනි.  මාවත්ත නම්  ඒ ගමේ ගැමිලියක වුනු ඈ නියම ගැමියන් දෙදෙනෙකුගේ දියණියක් වූවාය. ඔවුන් නියම ගොවියන්ය. එසේම ඇගේ පියාණන් වන අතපත්තු මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා, ඩිංගිරි බණ්ඩා වෙද මහත්තයා ලෙසද ප්‍රකට වූයේය. ගැමියන්ගේ පුංචි පුංචි රෝග සඳහා පුංචි පුංචි ප්‍රතිකාර ක්‍රම ඔහු සතු විය. එමෙන්ම මැතිරීම්, නූල් බැඳීම්, යන්ත්‍ර දැමීම් ආදිය පිළිබඳව දැනුමක්ද ඔහු සතුව තිබුණි. ඒත් කිසිවෙකුටත් හදි හූනියම් කළ බවක් මම අසා නැත. ඔහු කළේ කිසියම් අයුරකින් තම ගම් වැස්සන් සුවපත් කිරීමය. වෙද මහතා ලෙස නම් ලද්දේ ඒ නිසාය.

මාවත්ත කණිටු විදුහලෙනුත්, පොල්ගහවෙල පරාක්‍රමබාහු මැදි විදුහලෙනුත් අධ්‍යාපනය ලද අතර උසස් පෙල අවසන් වූ සැනින් හෙද විදුහලට ඇතුළත් වීමේ භාග්‍යය ලැබුවාය. ඒ සිය පියාගේ ගොවි තැනට අතිරේකව කෙරුණු සමාජ මෙහෙයෙහි ( වෙද කමෙහි ) පින නිසා ලද්දක්දැයි මම නොදනිමි. එය කිව හැකි කෙනෙක්ද නැති විය හැක. ඈ 1963 දී කුරුණෑගල හෙද විදුහලට ඇතුළත් විය. වසර 3 කින් හෙද පත්වීම ලැබූ ඈ අනතුරුව වසර 35 ටත් වඩා වැඩි කාලයක් හෙද නිලධාරිනියක සහ හෙද සොහොයුරියක ලෙස සේවය කළාය. මේට්‍රන් වරියක ලෙස ඈත පිටිසරට ඈ ලද පත්වීම දරුවන් සහ සිය ස්වාමිපුරුෂයා වෙනුවෙන් ප්‍රතික්ෂේප නොකරන්නට ඒ ක්ෂේත්‍රෙය් ඈ බලාපොරොත්තුව සිටි සියළු උසස් වීම් ලැබීමේ වාසනාව ඇයට හිමිවන්නට තිබුණි. එහෙත් ඈ එම අවසන් පත්වීම ප්‍රතික්ෂේප කර සතුටු සිතින් හෙද සොහොයුරියක ලෙසම සිය රාජකාරි කාලය අවසන් කළා.

1963 දී ඇය මෙම පත්වීම ලබා තවත් වසර ගණනක් යනතුරු ඈ එම ග්‍රාමයෙන් බිහිවූ ඉහළම රජයේ නිලධාරිනිය වූවාය. කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයෙන් සැතපුම් 5-6 ක් වත් ඈතින් පිහිටා නොතිබුණත් එතරම්ම එම ගම ගමකි. එබැවින්ද, ඈ තම රාජකාරි කාලය තුළ ඈත පිටිසර දුප්පත් තම නෑ දෑ පිරිවරට කළ මහත් සේවය නිසාද සියළු නෑදෑයින් තුළ ඈ පිළිගත්,ගෞරවයට පාත්‍ර දියණියක්, සොහොයුරියක්, නැන්දණියක්, මිත්තනියක් වූවාය.

ඈ 1966 තම පුහුණු කාලය අවසන් කිරීමෙන් පසු විවාහ දිවියට එළඹින. ඒ තම ගමට සැතපුම් කිහිපයක් කුරුණෑගල දෙසට වන්නට පිහිටි පොතුහැරට නොදුරු තවත් ඔරිජිනල් ගමක් වු මාවතගම පදිංචිව සිටි ඉදිරිසිංහ මුදියන්සේලාගේ නවරත්න බණ්ඩාර සමගය. ඔහු සම වයසේ සිටි අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් විය. පසු කලක කැමැත්තෙන් විශ්‍රාම ලැබූ ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සංවිධායකයෙකු බවට පත්විය.

ඈ විවාහයෙන් අනතුරුව 1968 සැප්තැම්බර් මස 28 දින පුතකු බිහිකළාය. අනතුරු වසර 3 ක පරතරයකින් තවත් පුතෙක්ද තවත් වසර 4 කට පසු සිය බාල පුතාද බිහි කළාය. ඈ දියණියන්ට මහත් ආදරයක් දැක්වූවද ඈට දියණියන් නොවූවාය. ඈ පුතුන් තිදෙනුකු ලද නිසා පසු කළෙක තම දිවියේදී සමීපව ඇසුරු කිරීමට කටයුතු කිරීමට තමන්ගේම දියණි දරුවෙකු නොලැබුවා යැයි සිතේ. මක් නිසාද යත් පුතුන් තිදෙනා වැඩිපුර සමීප වූ පියාණන්ට වීම නිසාය. පුතුන් තිදෙනා මව නොසැලකුවා නොවේ. එහෙත් පියා සමගපැය ගණන් විවිධ දේ කතා බස් කරණ ඔවුහු මව සමග වචනයක් වත් කථා නොකළ සමහර දිනද තිබින. තරහ වී කතා නොකළා නොවේ. බාහිර බැඳීම වැඩි වූයේ පියාට බැවිනි.

ඈ අන් මවක් නොව මගේම මවයි. මගේද යසනාත් අනුරුද්ධ බණ්ඩාර, යසනාත් කෝසල බණ්ඩාර යන මා දෙසොහොයුරන්ගේද ආදරණීය මවයි. 

දැන් මේ දක්වා මේ කවර මවක් දැයි නොදැන මේ සටහන සමග කල් ගෙවූ ඔබට මේ අපේ මව බව වැටහී ඇත. මෙතෙක් එය හෙළි නොකර සටහන ලියුවේ මගේ රචනා ශෛලියේ හැඩය එය බැවිනි. මින් ඉදිරියට ලියවෙන්නේ අපේ අම්මා, අප්පච්චී සහ අපට වඩා ළඟ කතා බස් රැසකි. සමහර විට අම්මා ගැන ලියන සටහනේ වැඩිපුර කියවෙන්නේ අප ගැනය. මේ නම් මා පෙර ලියූ සටහන් වලට වඩා අනෙකකි. පොදු බවට වඩා පෞද්ගලික බව වැඩිය. වඩා  පොදු ගුණයක් සහිත කතාවලින් සැනසුනද පෞද්ගලික ගුණය වැඩි කතා වලින් නොසතුටට පත් වනු ඇතැයි සිතේ නම් සමාව භජනය කර මේ ආව දුරින්  හැරී යනු ඇතැයි සිතමි. මේ කතාව අසනු රිසි නම් පිලිගනිමු ඊට. 



අපේ අම්මයි අප්පච්චියි අන් සමහර අම්මලාට අප්පච්චිලාට වඩා වෙනස් අය වූහ. ඔවුන් ඉතා කුඩා කල සිටම අප හොඳින් උගණිනු ඇතැයි බලාපොරොත්තු තැබූහ. ඊට අපව පෙළඹ වූහ. එහෙත් බල නොකළාහුය.

විශේෂයෙන් නව යොවුන් වියට එළඹුනු කල සොයා බලා උපදෙස් දුන්නද කිසිවකින් අපිව වලකා ලන්නට නොපෙළඹුනහ. දැඩිව මැදිහත් වී වලකාලිය යුතුව තිබුණු දේ අප නොකළහ. මේ නිසා අපගේ නව යෞවනය සුන්දරත්වයෙන්, කෙළි කවට වලින් පිරී තිබුණි. එමෙන්ම උගෙනීම ඒ කිසිවකින් යටපත් නොවූ බවද කිව යුතුය. එහෙත් අප ගියේ නිදහස් මං පෙත් ඔස්සේය. මේ නිසා විවිධ තැන වලදී වැරදීම්ද, පාරෙන් පිට පැනීම්ද, නැවත වැරදි සාදා ගැනීම්ද නිසි මගට එළඹීම්ද තිබුණි.

මට මතක් වන බොහෝ දේ අතර එක් විශේෂ දෙයක් සඳහන් කළ යුතුය. එනම් අපි තිදෙනාම පාසැල් යාමට, පංති යාමට හෝ අන් දෙසකට යාමට ඔවුන් දෙපා වඳින කල ඔවුන් දෙපළම මගේ පුතාට දෙවියන්ගේ පිහිටයි.  තුණුරුවන්ගේ සරණයි යනුවෙන් පැතීමට අමතරව තවත් විශේෂ පැතුමක් පතයි. එ නම් මගේ පුතා ලොකු වුණාම දොස්තර මහත්තයෙක් වීමට හේතු වාසනා වේවා යන්නය. දොස්තර මහත්තයෙක් වීමේ සිහිනය තිදෙනාටම නොතිබුණත් අපි තිදෙනාම තෝරා ගත්තේ ජීව විද්‍යා විෂය ධාරාවයි. ඒ විද්‍යා විෂයයනට ඇති කැමැත්තම මිස වෛද්‍යවරයෙක් වීමේ සිහිනය නිසා නොවේ.

මවගේ පියාගේ මේ පැතුම දිගටම මා නමින් කියන්නට ඔවුනට ඉඩ නොලැබුණේ මා වෛද්‍යවරයෙකු වීමේ අදහසින් බැහැරව වෙනත් ක්ෂේත්‍රවල රැකියාවන් සෙවීම නිසාය. අනතුරුව මගේ ලොකු මල්ලී වෙනුවෙන්ද ඊටත් පසුව මගේ පොඩි මල්ලී වෙනුවෙන්ද ඒ පැතුම පැතීමට ඔවුනට තිබූ අවස්ථාවන් නැතිව ගියහ.

මා රත්මලානේ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක විද්‍යාව උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා යොමු වීමි. අම්මාත් අප්පච්චීත් ඉන් සිත හදා ගන්නට හේතුවිනි. ඒ යම් උපාධි පාඨමාලාවක් හදාරන බැවිනි. එය විද්‍යාවේදී විය. ගත වුනේ දින කිහිපයකි. මා ඉන් ඉවත් විමට තීරණය කළෙමි.
ආරක්ෂක විද්‍යාව මටත් මම ආරක්ෂක විද්‍යාවටත් නොගැලපෙතැයි සිතූ බැවිනි. අනෙක නම් ආරක්ෂක හමුදාවන්ට ඇල්මක් ඇති වූයේ උතුරුකරයේ පැවති යුධ වාතාවරණය හේතුවෙන් වුවත් එම කාලය වන විට ආරක්ෂක හමුදා උතුරුකරයට වඩා දකුණුකරයට ඉව කළ බැවින් යම් අප්‍රසාදයක්ද ගොඩ නැගුණු බව නොකියා නොහැක.

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට නොයන්නට ගත් තීරණය නිසා නම් අම්මාගෙත් අප්පච්චීගේත් සිත් හොඳටම රිදුනි. ඒ අනෙකක් නිසා නොව, මා , ආරක්ෂක අංශයෙන් හෝ උසස් අධ්‍යාපනයක් ලබනු දකින්නට ඔවුන් සිත හදාගෙන තිබූ බැවිනි. මේ තීරණයත් සමගම ඒ හදා ගත්සිත් බිඳ වැටුණි.

යම් යම් ඇණුම් බැණුම් වලින් මිදීමට මා හට මගක් පෑදුනේ සියනෑ අධයාපන විද්‍යාපීඨයට ඇතුළු වීමේ වරම ලැබීමෙන් අනතුරුවය. අවසන හිමිවනුයේ ගුරුපත්වීමක් වුවද, එහි පුහුණුව උපාධි පාඨමාලාවක් තරම්ම සිද්ධාන්තිකව සහ ප්‍රායෝගිකව ගැඹුරු බව ඇතුළුවීමට පෙර සිට බොහෝ දෙන කීවෙන් මගේ සිතද යම් තරමකට පැතුම්සහගත වුණි. එහි අවසන යම් පශ්චාත් උපාධියක් ජීව විද්‍යා අංශයෙන් කළ හැකි වෙතැයි වැනි සිහිනයක් මා තුළ විය. අවසානයේ ලොකු පුතා කෙදිනක හෝ වෛද්‍යවරයෙකු වනු ඇතැයි සිහින මැවූ අම්මා සහ අප්පච්චීට ඔහු විද්‍යා ගුරුවරයෙකු ලෙස හෝ රටට සේවය කරතියි සිතා සිත හදා ගන්නට සිදුවිය.

මේ අතර මට දැඩිව සිතුණු එක් දෙයක් විය. එනම් මම සියණෑවට ආවේ බලවත් වැරදීමකින් බවයි. එහි කියා දෙන විෂය කරුණු වල ගැඹුර මට ප්‍රමාණවත් නොවුණි. සමූහයක් ලෙස, සම වයස් සමූහයක් තුල එකට ගොනුවීමේ සතුට  හැර ඇති වූයේ කලකිරීමකි. මෙය අම්මාට සහ අප්පච්චීට පැවසීමට ද නොහැක. මේ නිසා යම් කිසි ඉඩක් ළදොත් නැවත උසස් පෙළ කරමිය යන සිතුවිල්ලෙන් උපක්‍රමශීලීව එහි සිටිමින්ම නැවත හොර හොරෙන් උසස් පෙළ පංති කරා ඇදුනි. ඒ අතරේ විද්‍යා පීඨ අධ්‍යාපනයද සෙමෙන් සෙමෙන් කරගෙන ගියෙමි.

මේ අතර දෙවෙනි පුතා වෛද්‍යවරයෙකු කිරීමේ මවු පිය සිහිනයද බොඳවන්නට විය. ඒ 1990 වසරේදී සිය උසස් පෙළ ලියන්නටත් පෙර සිටම මගේ දෙටු මළනුවන් වූ අනුරුද්ධ හමුදා නිලධාරියෙකු වීමට සිහින මැවීම නිසාය. මේ පිළිබඳව දැඩි විරෝධයක් නිවසින් පැමිණියේ එකල යුද්ධය යනු එකිනෙකාගේ සෙල්ලමක් පමණක් වූ බැවිනි. යුද සෙබලා වුවද නිලධාරියා වුවද බිලිboys මට්ටමින් සලකන යුද්ධයකි එකල පැවතුනේ. මේ විරෝධය ඔහුගේ අරමුණ මැඩ පැවැත්වීමට තරම් ප්‍රබල නොවුනි. පළමු වෑයම වූ යුධ හමුදා දෙවන ලුතිනන්වරයෙකු වීමේ සිහිනය අසාර්ථක වුණි. මව් පිය සිත්මල් සැනසුනි. එහෙත් ඔහු දෙවන පියවරක්ද තැබීය. එවර ඔහු මුහුණ දුන්නේ ගුවන් හමුදාවට ගුවන් නියමුවන් 20 දෙනෙක් බඳවා ගැනීම සඳහා පැවති පරීක්ෂණයටය. මේ පරීක්ෂනය සමත් වූ 9 දෙනා අතරට ඔහුද ඇතුළත් වුණි. 


ලොකු පුතුන් දෙදෙනාම වෛද්‍යවරුන් කරවීමේ සිහිනය බොඳ වුණි. දැන් ඉතිරිව සිටින්නේ 3 වැන්නා පමණි.

මේ අතර කිව යුතු දෙයක් තිබේ. අනුරුද්ධ මල්ලී ගුවන් හමුදා නියමු පරීක්ෂන වලට පෙනී සිටීමට පෙර 1990 උසස් පෙළට මුහුණ දුන්නේය. මමද විද්‍යා පීඨයේ සිට හොරෙන් පැමිණ එම වසරේම එම පරීක්ෂණයට පෙනී සිටියෙමි.

පොඩි එකාද උසස් පෙළ, ජීව විද්‍යා අංශයෙන් කළද මව් පියන් සිතන පාරේ ඔහු ගමන් නොකරණ බව ඔවුන් මුළ සිටම තේරුම් ගෙන තිබුණි. ඒ අනෙකක් නිසා නොව ඉගෙන ගන්නා අතරේම යම් යම් ව්‍යාපාරික වැඩද සමාන්තරව කරන්නට වූ බැවිනි.  උසස් පෙළ වරක් කර නිම වී ව්‍යාපාරික ස්ථාන දෙකක්ද ආරම්භ කළ ඔහු පසුව වෙනස්ම දේකට යොමු විය. එහෙත් ඔහු නැවත අධ්‍යාපනය වෙත යොමු කරන්නට වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි මම උත්සාහ කළෙමි. නමුත් එය අසාර්ථක වුණි. දැන් ඔබ සිතනු ඇත්තේ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ උගෙනිමින් සිටි මා වෛද්‍ය විද්‍යාලයකට ආවේ කෙසේද යන්නය. ඇයි අමතකද? මා අනුරුද්ධ මල්ලී උසස් පෙළ කළ 1990 වසරේදී උසස් පෙළ විභාගයට මුහුණ දුන් බව ප්‍රකාශ කළා. එහිදී මා ලැබූ ලකුණු වෛද්‍ය පීටයට ඇතුළත් වීමට අවශ්‍ය පමණට වඩා වැඩි වූ බැවින් වාසනාවකට හෝ අවාසනාවකට මට ඒ වරම හිමි වින.

අප කුඩා කල සිටම මව් පියන් තුළ තිබූ සිහිනයක් පමා වී හෝ ඉටු කිරීමෙන් ඔවුන් අපමණ සතුටක් ලබන්නට ඇතැයි මා සිතමි. එහෙත් ඔවුන්ව තවත් සතුටු කළ හැකි අවස්ථා එමට තිබුණද අප ඒවා මග හැරුණු බවද කිව යුතුය.

අවසන පොඩි මල්ලී යොමු වූයේ අපි දෙදෙනාම හීනෙකින් වත් නොසිතූ ක්ෂේත්‍රයකටය. එනම් ප්‍රාදේශීය දේශපාලනයටය. මුලින් මෙයට අප සියළු දෙනා අකමැති වූවද පසුව අපට හැකි උදව් කළේ වරක් ආශාවට ඉල්ලලා පැරදුණාම ඒ වැඩේ නවත්වාවිය යන අදහසින් වුවත් ඔහු පැරදුනේ නැත. අනතුරුව දෙවෙනි වතාවටද ඔහුට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කම රැකගත හැකි වුණි. එයද එක් පැත්තකින් ගත් විට අම්මාගේත් අප්පච්චිගේත් සතුටට හේතුවන්නට ඇත. විශාල වියදමක් නොදරා, මහා බලයක් නැති පවුලක කෙනෙක් තේරී පත්වීම අප සැමටම ඇති යම් සමාජ බැඳීමක ඵලයක් නිසාය යන්න ඒ සතුටට හේතුවයි. එසේ නොවේ නම් අතේ ඇති දේත් වැය වුණා මිස ඉන් අපට ලැබුණු දෙයක් නම් නැත.

අනුරුද්ධ මල්ලී ගුවන් නියමුවෙකු ලෙස බොහෝ වික්‍රමයන් සිදු කළ බව දන්නා අය දනිති. විවිධ උද්වේගකර අවස්ථා වල ඔහු ඔහුගේ යානයද, ඒ තුළ සිටියවුන්ද බේරාගෙන ඔහුගේද දිවි ඒ නිසාම ගලවාගත්තේය. එසේම ප්‍රහාරක යානා පදවන විට තමන්ට ලැබුණු ඉලක්ක හොඳින් ජය ගත්තේය. එසේම එසේ ජය ගෙන තමන්ද සුරැකෙමින් නිරුපද්‍රිතව ආපසුද පැමිණියේය. මේ නිසා ගුවන් හමුදාව තුළ ඔහුට හිමි වූයේ කීර්තිමත් නාමයකි. 
විශේෂයෙන් ප්‍රභූ ප්‍රවාහන යානා බලඝනයේ ( VVIP Helicopter Squad ) ඔහු නම් දැරූ නියමුවෙකු විය. පහත ඇති පින්තූර වලින් ඉහළ ඇති පින්තූර දෙස් දෙන්නේ එයයි. චාල්ස් කුමරු ලංකාවට පැමිණි මොහොතේ එම යානා පැදවූ නිලධාරීන් දෙදෙනාගෙන් අයෙකි මගේ මලනුවන් වන අනුරුද්ධද.




මා ගැන මමම වර්ණනා කිරීම යුතු නැත. එහෙත් වෛද්‍යවරයෙකු වශයෙන් මා තුළ තිබිය යුතු කැපවීම කුමක්දැයි මා ඉගෙන ගත්තේ හෙදියක හා හෙද සොයුරියක ලෙස වසර 35 කට වැඩි සේවයක් කළාවූ මගේ අම්මාගෙනි. එමෙන්ම මා විශ්වාස කළ දෙයක් නම්, අපට මේ වැනි තත්වයන්ට එන්නට ඉඩ ලැබුණේ ප්‍රධාන වශයෙන් අම්මා කළ සේවයෙන් ඈ ලද පින් නිසාය යන්නයි. එබැවින් මමද එවැනි පින් කටයුතු රැකියාවක් කරණ බවද එහි මනා සේවයක් කළොත් වැටුප්, නම, කීර්තිය, සමාජ බලය සේම ඊට වඩා වැඩි පිනක්ද සිදුවනු බව ද දැන කටයුතු කරමි. මේ නිසාද අම්මාටද අප්පච්චීටද සතුටු වන්නට කරුණු තිබුණ බව අපි දනිමු. එහෙත් ඔවුන් තව දුරටත් සතුටු කළ හැකි එමට දෑ අපට මග හැරුණි යැයිද අපි සිතමු.

අනෙක් අයගෙන් මග හැරුණු දේට වඩා මා කිව යුත්තේ මගෙන් මග හැරුණු දේය. මුළින්ම උදයට දෙපා වඳිද්දී සිය ප්‍රාර්ථනය වූ ලොකු වුණාම දොස්තර මහතෙකු වන පැතුම බිඳ වැටුණේ මාතිනි. එය ඔවුනට වේදනාවක් වන්නට ඇත. එහෙත් අනෙක් පුතුන් දෙදෙනාගෙන් එය ඉටුවනු ඇතැයි සිතා සිත හදාගන්නටඇත. දෙවැනි පුතුගෙන් එය ඉටු නොවෙන කල, තවත් වේදනා විඳින්නට ඇත. එහෙත් නැවත මටම ඒ වේදනාව සමනයට පත් කරන්නට හැකි වුයේ ඔවුන් පැතු පැතුම පසු කලක හෝ ඉටු කරන්නට මට හැකි වූ බැවිනි.

අනතුරුව වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී මා කුරුණෑගල රෝහලට සීමා වාසී වෛද්‍යවරයෙකු විලස පැමිනෙතැයිද අනතුරුව එම කාලය නිමකොට එහිම පත්වීම් ලබතැයිද ඈ පැතීය. තමන් හෙද සොයුරියක් ලෙස සේවය කරද්දී එම රෝහලේම සිය පුතු වෛද්‍යවරයෙකු ලෙස සේවය කරණු ලබනු දකින්නට මවක් පැතීම අයුතු පැතුමක් නොවේ. නමුදු ඒ ඉල්ලිමට පිටුපා මා සීමාවාසී පත්වීම් ඉල්ලුවේ කුරුණැගල මහ රෝහල අතහැරය. සීමාවාසී සමය නිම කර පත්වීම් ලබද්දීද මා කුරුණෑගල රෝහල අතහැර ඉල්ලුම් කිරීම නිසා නැවත ඈ පැතුම බොඳ විය. මේ හා මා දිවිය සම්බන්ධ කී සහ නොකී දේ ඈ පැතූ ලෙස ඉටු නොකළ හෙයින් ඈ තවත් සතුටු කළ හැකිව තිබූ අවස්ථා මට අහිමි වුණි. එබැවින් ඒ අතිරේක සතුට ඈට අහිමි වුණි.

මේ සමගම මා වෛද්‍යවරයෙකු වීමේ සතුට ඈ නොලැබුවාම නොවේ. ඈට අහිමි වුණේ අතිරේකව ලැබිය හැකි සතුටයි. ඒ අතරේ ඈ මා ගැන සතුටු වූ තවත් කරුණු තිබුණි. මා කවියෙකු සහ ගීත රචකයෙකැයි, මවිසින් මහත් අභ්‍යාසයකින් පසු නිමවූ නිර්මාණ දැකීමෙන් රසිකයින්ද සමහර වියතුන්ද දැක්වූ අදහස් ඇසීමෙනි. කියවීමෙනි. මා ලියූ කවිද කවි පොත්ද කියවීමෙනි. මා ලියූ ගී පද රචනා වලින් නිමවුණු ගී ඇසීමෙනි. ඒ පිළිබඳව අදහස් සහ විචාර ඇසීමෙනි.

මේ කාලයේ මගේ අප්පච්චී මට අවස්ථා කිහිපයකදීම යෝජනා කළ දෙයක් විය. එනම් මවු ගුණ ගීයකින් මගේ මව සතුටු කරවන ලෙසය. අප්පච්චී මේ ඉල්ලීම මගෙන් කළ බව ඈ දැන සිටියා විය හැක. එහෙත් මට ඒ සතුට ඈට ලබා දෙන්නට නොහැකි වුණි. වෙනත් මවු වරුන් ගැන මාතින් කව් ගී ලියැවුණද මගේ මව ගැනම එකක් ලියන්නට මට නොහැකි වුණි. ඈ පිළිබඳව ලියන්නේ නම් මා එය ලිවිය යුත්තේ දැනට ලියා ඇති හොඳම මවු ගුණ ගී අතලොස්ස හා යම් මට්ටමකටවත් සමීප වීමට සමත් විය හැකි ලෙසටය. එබැවින්ම ඒ අවස්ථාව මට අහිමි විනි. කෙසේ වෙතත් කාගේ හෝ මවක් ගැන මම ලියද්දී එය සකල විධ මවුවරුන්ට ඇති ගෞරවය නියෝජනය වන බව මසිත දන්නා නිසා මා ඉන් බොහෝ සේ නොතැවෙමි. එහෙත් ඒ පිළිබදව තැවීමක් නැතැයිද කිව නොහැකිය.

මා එසේ එක්තරා මවක් ගැන ලියූ කවක් මෙහි මෙසේ ඵල කරමි.

පර වූ මව් මල.....

පරවෙලා සඳ ඈත අහසේ

ගිලන් වූ එළි වෑහෙනා කල

අළුත් පස් කන්දට මුවා වී

ඉටි පහන් පණ අදින මොහොතක

වළා වැරහැලි පොටෙහි තවරුණු

කඳුළු සට සට බිම වැටෙන විට

ගුණ සුවඳ හද දවයි නොදැනිම

පපුව යට ගිනි පුළිඟු මතුවන.....



පෙවූ ලොවකට සෙනේ පැන් පොද

ගැලූ ස්ථන ග්‍රන්ථි උගුලන

අළුත් බුදදස් ඉසිවරුන් රැස

නීල එළි යට කරුණු විමසන

දස එකඩ මස් ගෙවූ කුස් පැස

පිළිල පිලිකා රකුසු වින කළ

පැතිරිලා මුල් කුහර පෙනහළු

නැවතිලා හද තවත් නොගැහෙන.....



පියවිලා නෙතු වැතිර උඩුකුරු

දසුන සිහියට නැගෙන මොහොතක

මැලවිලා මල පෙති හැලෙන සඳ

කඳුළකින් පන පොවනු නොහැකිව

නැතක් දුක් ගිනි කිඳා දිවියට

කුසින් බිහිකළ කඳුළු කුමරිය

හඬයි පිලපිට දෙනෙත් දල්වා

එළිපොදක තතු දකිනු රිසියෙන....

මේ කව, එකල්හි ජපුර සරසවියේ මට සමාන වසරෙහි ශිල්ප ලැබූ සොයුරියකගේ මවක් ගැන ලියවුණකි. අන්ත දුක් විඳිමින් අධ්‍යාපනය ලද ඇයට ඇගේ මවගේ දරුණු පිලිකා රෝගය ඇයටම සෑදුනාක් බඳුව දුක් වේදනා ගෙන දෙන්නක් විය. මේ දුක තවත් දුක් කන්දක් බවට පත් කරමින් නිම වූයේ මවගේ මරණයෙන් පසුව ඇය මෙලොව තනි වීමෙනි. මේ නිසා දැඩි ලෙස කම්පා වූ එම සොහොයුරියද එම මවද සම්බන්ධවය මේ කව මාතින් ලියැවුණේ.

මේ කවට අමතරව වරින් වර මා තින් ලියැවුණු මවු ගුණය රැගත් ගී පද කිහිපයක්ද වෙයි. එහි සිටින්නේ මගේ මවම නොවුණද නියෝජනය වන්නේ මගේ මවටද පොදු මවු ගුණය වීම මගේ පෙර කී ඈ වෙනුවෙන් කවු ගී නොලීමේ තැවුල තුනී කරයි.

මේ මව කිරි මවකි. ඈ කිරි එකතු කරණ මවකි. රබර් යායක දහ දුක් විඳින කම්කරු මවකි. පොල් කටුව මිරිකලා කිරි දොවන මවකි.
 

කිරි මවු වළප......

ඇටකෝටු දර මිටිය නහර වැල් පොටින් ගෙන

බැඳ තබයි නුඹේ රුව අම්මේ

පොල් කටුව මිරිකලා කිරි දොවන අම්මේ



සිය වසක් ආයු කළ නුඹ වැනිම

ගි ගැයූ යාය දැන් මුව ගොළුය

කොළ හැළුනු නීල මහ යෝධයන්

මුළු ගමම කිරෙන් දෝවා වැඩුන...



පතුරු ගැසුවත් නැතුව විරෝධය

කිරි එරී දැයකටම පන පෙවුව

දැන් ඉතින් නම් පුතේ බෑ කියා

යාය නොගයන ගීය නුඹ වැනිම....



මේ තවත් එවැන්නකි.



ගීයකට නොහැරුණු

============

මව් ගුණ ගීයක්.......

=============

නුඹ නැතත් ගං තුළානේ

මල් පිපෙන සඳ සිහිනයේ

සුවඳ ගෙන එන මාරුතේ

ඔව්... නුඹේ සුවදම තියේ.....



නුඹ නැතත් අද

කහ ගැහුණු දළුපොතේ ගොයමට

අප්පච්චිගේ අත්ගුණේ ලැබ

කිරි වැදෙන සඳ

නුඹේ සුවඳම දැනේ...



නුඹ නැතත් නුඹෙ

කෙසඟ අතැඟිලි තුඩු නමා

වියූ පොල් අතු හෙවිල්ලා ඇති

මේ පියසි යට

නුඹේ සිහිලම දැනේ......

- යසනාත් ධම්මික බණ්ඩාර -

( උයන්පල්ලා සහ සඳවතිය - යසනාත් ධම්මික බණ්ඩාර - සඳ සිහිනය - පිටු 09 )‍

මවක් පිළිබඳව මාතින් ලියැවුණු මේ ගීය මේ දක්වා කිසිවෙකු විසින් සංගීතවත් කොට ගයා නැත. එහෙත් මූනු පොතෙන් මට හමුවූ රොෂාන් ජයකොඩි නම් වන සොහොයුරෙක් එය සංගීතවත් කොට ගැයීම සඳහා මගෙන් ඉල්ලාගෙන ඇත. යථා කාලයේදී ඒ ගීය ඇසෙතැයි බලාපොරොත්තුවෙන් සිටිමි.

මේ මගේ මව ගැන නොවේ. එහෙත් මවක් ගැනය. මේ ගීය තුළ මගේ මව නැතිවාම නොවේ. එහෙත් එහි ඉන්නේ ඇයමද නොවේ. කොයි මව ගැන ගුණ ගැයුවත් ඒ තුල තමන්ගේ මවගේ ගුණයත් දැකිය හැකියි ඕනෑම කෙනෙකුට.

ඒ නිසායි මේ ගීතය මගේ මවටම නොලීවත් ඇයද මෙහි සැරිසරන බව කිව්වේ...



මේ අතර සෘජුව මවු ගුණ ගීයක් නොවන, එහෙත් මවක විසින් ගයන ගියක් මගේ පළමු ගීත එකතුව වූ කිඳුරු ගීතය සඳහා ප්‍රදීපා ධර්මදාස විසින් ගයනු ලැබින. එහි සිටින මවට, දරුවාට දෙන්නට කිරි නැත. කවුරුන් හෝ කිරි හොරෙන් රැගෙන ගොසිනි.

ඈ ගීයකින් නඩුවක් කියයි. එය අවනඩුවකි.



යහ බොජුන් වැරී - කිරි ශිරා මැරී

කළ හතක් - කොහිද නෑ කිරට පෙරී

පපු පෙදෙස දැවී - කිරි ශිරා මැරී

උල්පත්ද වියලී....

මේ නඩුව මවකගේ පපු පෙදෙස වියලී කිරි ශිරා මැරී කිරි නොමැති වීමක් පිළිබඳවය. යහ බොජුන් වැරීම ඊට හේතුවයි. ඇය යහ බොජුන් වරන්නේ කිසියම් භාවනාවක් හෝ වෘතයක් පිරීමට නම් නොවේ....



දුටුවාද කියන් නුඹ

කවුද සොරුන්

කිරි බඳුන අරන්

වන වැදුනු සොරෙන්

පුතු සිඟිති මුවින්

නඩු කියනු අසන්

සුදු කෙකින්නියේ

දුටුවාද කියන්.....



කිරි සුදු ඇඳුමට

සුදු පාට කොහෙන්

සුදු කෙකින්නියේ

ගෙන ආද සොරෙන්

පුතු කිරි බඳුනේ

කිරි බිඳු සිඳුනේ

සුදු කෙකින්නියේ

ගෙන ආද සොරෙන්....

පද - යසනාත් ධම්මික බණ්ඩාර

ස්වර -නවරත්න ගමගේ

හඬ - ප්‍රදීපා ධර්මදාස

( නවරත්න ගමගේ මගේ ගීතයකට තනුව සහ සංගීතය නිර්මාණය කළ පළමු අවස්ථාව )
ගීතය මෙතනින් අසන්න..


මා මෙම නිර්මාණ කිහිපය ඉදිරිපත් කළේ මගේම මව වෙනුවෙන් ඈ අපෙන් වෙන්ව යාමට ප්‍රථම යමක් ලියන්නට බැරි වූ හෙයිනි. එහෙයින්ද සමහර විට මා හට ඈව සතුටු කළ හැකිව තිබූ අවස්ථාවක් මග හැරුනි.

අප සෑම විටම මේ දිගු ගමනේදී කළේ හරි ගිය දේවල්ම නොවේ. වැරදුනු දේද විය. හොඳ අසන්නට වෙන දේම නොවේ. නරක අසන්නට වූ අවස්ථාද ඇත. පැසසුම් සහගත දේම නොවේ. ගැරහුමට ලක් වූ  අවස්ථාද විය. මේ කුමන ප්‍රතිචාරයකදී වුවද ඇයට අප ඇගේ පුතුන්ම විය. ඈ තුළ සමහර විට ප්‍රකට වූ තරහව, නුරුස්නාගතිය, දුක වේදනාව තුළ සැඟවී තිබුණේ දරුවන් කෙරෙහි වූ අපමණ සෙනෙහසමය. ඒ සෙනෙහස පසු කලක ප්‍රකාශ කිරීමට තරම් අවස්ථාවක් ඈට නොලැබුනේ අප ඈ අසල නොසිටි බැවිනි. 

අවසන් මොහොතේ හෝ ඇය සිහියෙන් සිටන විටක සිය පුතුන් තිදෙනාගෙන් එක් අයෙකු හෝ දකින්නට ඈට ඉඩක් නොලැබුනි. අවසන් මොහොතේ හෝ ඈ සිහියෙන් සිටින විට ඇගේ හිස අත ගා අම්මේ යැයි කීමට ඇගේ පුතුන් තිදෙනාගෙන් එක් අයෙකුටවත් ඉඩක් නොලැබුනි. රාජකාරිය ඉටුකරණු වස් අප සිටියේ බොහෝ දුර ඈතය. අප එන විට ඈ සිටියේ දැඩි සත්කාර ඒකකයේ කෘතිම ස්වසනය සහ දිවිය පවත්වාගෙන යාම සඳහා අවැසි අනෙකුත් පහසුකම් යන්ත්‍ර මගින් ලබමිනි.

ලොකු පුතා වෛද්‍යවරයෙකු වූ බැවින්ද, දෙවැන්නා ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බල ඇනියේ ප්‍රවීන ගුවන් නියමුවකු වූ බැවින්ද ඈට සිදුවූයේ මරණය කරා යාමට ඇය ගත් තීරණයට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක එදිරිවාදී කම් වලට මුහුණ දීමට සිදුවීම පමණි. ඒ මරුවා සමග යාමට ඈ ගත් උත්සාහයට ඔවුන් ඉඩ නොදුන් බැවිනි. ඈ මිය යාමට සිතා සිටි දිනට වඩා දින දෙකකට පසුවය ඇගේ මරණය පිලිබඳව ඔවුන්ගේ සහතිකය ලියා දුන්නේ. එතෙක් ඒ සහතිකය ලියා දීමට එම වෛද්‍ය කණ්ඩායමේ කිසිවෙක් ඉදිරිපත්වූයේ නැත. දැන දැනම මිය යන බව ඔවුන් අපගේ මෑණියන්ට හුස්ම පිම්බේ අප නිසාය යන අදහස පමණක් ඒ මොහොතේ යම් අස්වැසිල්ලකට හේතුවිය. මේ අතර මා බලා සිටියදීම ඇයට සම්බන්ධකොට තිබූ යන්ත්‍ර ඉවත් කරණ ලදි. ඔවුන් මට මුහුණ නොදී එය කරණ විට මේ තත්වය තේරුම්ගත හැකි බව පමණක් මා ඔවුනට කීවේ ඔවුනට පහසුවක් වනු පිණිසය. ඈ සිටි හෘද රෝග දැඩි සත්කාර ඒකකයේ ඇඳ තමන්ට වඩා වයසින් අඩු ඉදිරි ජීවිත කාලය වැඩි කෙනෙකුට හිස් කර දිය යුතු බවට අම්මා දැඩිව තීරණය කළ හැඩයකි එදින දිස්වුණේ. එබැවිනි එදා උදේ නම් වෛද්‍යවරුන්ගේ කෘතිම ස්වසන මැෂිමට හෝ ඈ අවනත නොවුනේ. ඈ ඒ සැමට අවනත නොවී මරුට අවනත විය. එතැන් සිට අම්මා යනු අතීතයක් විය.




අම්මාට වැඩියෙන් ආදරය කළේ කවුදැයි හොයන්නට බැරිය. එහෙත් අම්මාට සාපේක්ෂව සමීපව කටයුතු කළේ දුර සිටියත් අනුරුද්ධ මල්ලීය. නිවසට කලාතුරකින් පැමිණි අවස්ථාවල ඉහත ඡායාරූපයක දිස්වෙන ලෙස ඔහු අම්මාව සිප ගනී. එහෙත් අම්මා වැඩි පුරම සිපගත් දරුවා මා වනු නොඅනුමානය. එහෙත් එක් වරක්වත් මවිසින් ඉහත ඡායාරූපයේ මලනුවන් සේ ඇයව සිපගත් බවක් මතක නැත. මා ඇයව සිපගත්තානම් ඒ සිතින් පමණි. ඉන්ද ඇයව සතුටු කළ හැකිව තිබූ අවස්ථාවක් මගහැරුණාදැයි මට සැකය.
මුණුපුරු මිණිපිරියන්ගෙන් මගේ මව වැඩිපුරම ආදරය කළේ පොඩි මල්ලීගේ ලොකු පුත් කාවින්දට වග නොඅනුමානය. ඊළඟට ඈ වැඩිපුරම වෙහෙසුනේ මගේ සිඟිති දියණිය වූ සරසිසිනි සිසිකිරණි දැක බලා ගැනීමටය. මසකට දෙකකට වරක් සඳු දිනක අප නිල නිවසට පැමිනෙන ඇය සති අන්තයේ සෙනසුරාදා තෙක් ඈ සමග ගත කර සෙනසුරාදා සවසට යළි නිවසට යයි. එසේ යන්නේ ඈ අැළුම් කළ තවත් දරුකැළක් වෙනුවෙනි.
සෑම ඉරිදාවකම නොවරදවාම දහම් පාසැලේ ඉගැන්වීමට යාමට ඈ අමතක නොකළාය. ධර්ම කරුණු වලට අමතරම කුඩාම පන්තියේ දරුවනට කවි ගීත නාට්‍ය ආදියද කුඩා ක්‍රීඩාවන්ද කියාදෙන බැවින් ඈ ඒ දරුවන් අතර කිරි අම්මා ටීචර් ලෙසින් ජනප්‍රියව සිටියාය. 
මළගම සඳහා නිවස සූදානම් කරන විට සාමාන්‍යයෙන් අප නිවසට ආ විට නවතින කාමරය තුළ තිබූ යම් යම් දේවල් වගයක් දැක අප සිත් මහත් වේදනාබරවිය. එහි සිඟිති ඇඳුම් ආයිත්තම් කොණ්ඩ කටු.... සිඟිති දරුවනට කෑම කවන විට අන්දන ඒප්‍රන් ආදිය විය. ඉදිරි සතියකදී අප දියණිය බැලීම පිණිස පැමිණීමේ අපේක්ෂාවෙන් ඇය සිටි බවට සාක්ෂිය ඒ.
අප අධ්‍යාත්මිකවද, භෞතිකවද ලබන දියුණුව ජීවත්ව සිටියදී ඈ තුළ සතුට ජනිත කළාය. ආසන්නම මා ලැබූ එක් භෞතික ජයග්‍රහනයක් මගේ සිත තවමත් පාරයි. ජයග්‍රහනයක් නම් එය මා සිත පාරන්නේ ඇයි දැයි ඔබ සිතනු ඇත. ඒ සිදුවීම මට නිතැතින් සිහිපත් කරවන්නේ මේ ගීත ඛණ්ඩයයි.

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ

ළතැවුල් නිවනා අරුත කියා දි

ඒ දිරියෙන් ලොව ජය ලබනා විට

මා සිප ගන්නට ඔබ මා ළඟ නැත

අම්මා ..අම්මා...අම්මා...අම්මා....

ඒ ගීතය අසා සිටිමු.



මා අළුත් වාහනයක් ගන්නට යන බව දැන ඒ වාහනය කුමන වර්ගයේද මොන විදිහේද තිබෙන එකට වඩා හොඳ එකක්ද ආදිය පිළිබඳව ඇය උනන්දු විය. එය අතැති වාහනයට වඩා උසස් එකක් බව දැන ඈ තුටු විය. ඒ වාහනයේ අම්මලා අප්පච්චිලා රැගෙන කතරගම යන බව කී විට ඒ දිනය ගැන ඇය බලාපොරොත්තු තැබීය. එය ලංකාවට පැමිණි බව අසා ඈ සතුටු විය. ඈ කිව්වේ එය ගෙනෙන විට ගෙදරට ගොඩ වී පෙන්වා යන ලෙසය. එවිට මා විහිළුවක් කළෙමි.

අම්මෝ.. මේ පාර දෙපැත්තේ මාන ගස් වැවිලා. මාන කොල වලට වාහනය සීරෙනවා. එහෙනම් පාර සුද්ද කරලා තියන්න වෙයි.......

එවිට ඈද විහිළුවක් කළාය.

මට පුළුවන්ද යකෝ පාරවල් සුද්ද කරන්න......

වාහනය අතට ලැබෙන්න දින දෙක තුනක් තිබියදී අම්මා මෙලොව හැර ගියාය. අම්මාට ඒ වාහනය දකින්නටවත් එහි නැගී කතරගම යන්නටවත් නොහැකි වුණි. 
හත් දොහේ පිංකම අහවර වී, අප කොළඹ ගොස් වාහනය රැගෙන එන අතරතුර ගෙදරට ගොඩ වන්නට හැරවීමු. පාරට මානා කොළ නැවී නැත. හොඳට සුද්ද පවිත්‍රය.

අම්මා නික්ම ගියේ අවසන් වරටත් අපට යාමට ඒමට පාර සුද්ද පවිත්‍ර කොට තබා නේදැයි මට සිතුනි. තාමත් මේ ගැන සිහිවන සැම විටම මගේ උගුර හිරවෙනු දැනෙයි. එය කෙදින නිමවනු ඇතිද....

තව දුරටත් කතා කළද..... ඇය දැන් නැත.

අම්මා ගෙදර ඉන්නා සමහර දිනවල අප එක වචනයක් වත් ඈ සමග කතා නොකළ බව මම කීවෙමි. එසේ නම් ඈ නැති වූවා කියා අපට ලොකු වෙනසක් නොදැනේද? එය කිව හැක්කේ අම්මා නැති නිවසක ඉන්නා අයටය. 
අද අපේ ගෙදර වෙනත් ගෙයක් ලෙස දැනෙන්නේ ඇයි. අම්මා නැති නිසා නොවේද?

අම්මා නැති මහ ගෙදර දිනක් ගෙවීම මොන තරම් අපහසුද... අම්මා නැති මහ ගෙදර මොන තරම් හිස්ද.... අම්මා නැති මහ ගෙදර මොන තරම් අඳුරුද.... අම්මා නැති මහගෙදර මොනතරම් පාළුද....  අම්මා නැති තැන සිට මහගෙදරක් තිබේද.....

- යසනාත් ධම්මික බණ්ඩාර -






Thursday, May 29, 2014

කඳුළක් තරම් සීතල දෙයක් නැති බව කියා දී නුඹ ගියා........








මගේ බ්ලොග් අඩවියට මා ලිවිය යුතු මී ළඟ දිගු සටහන වන්නේ සමන් ජයනාත් පිළිබඳව ලියන්නට පටන් ගත් ලිපියේ දෙවන කොටසයි. ඒ අනුව එය ලියමින් සිටින විට සමන් ගැන ලියන එම සටහන ලිවීම පසෙක ලා වෙනත් සොඳුරු මිනිසෙක් ගැන සටහනක් ලියන්නට මට මගේ හදවත බල කරන්නට විය. ඒ සමන් සොඳුරු මිනිසෙකු නොවන නිසා නොවේ. එහෙත් ඊට පෙර නැවත අප හමුවන්නට නොඑන මිතුරකු පිළිබඳව කෙටිසහ කටු සටහනක් තැබීමට සිදුවන්නේ මින් මතු ඔහු නැවත අප හමුවීමට නොඑන නිසාමය. එසේ නොවුයේ නම් ඔහු ගැන යමක් ලියන්නට සිටියේ තවත් කලක් ඇවෑමෙනි. 
කෙදිනකවත් අපට නැවත ඔහු හමු නොවනු ඇතැයි මම නොකියමි. ඔහු බැලීමට හැකි තැනකට අපටත් යායුතු දිනයක් උදාවන බැවිනි. 
ඒ දිනය කෙදිනක උදාවේවිද යන්න පමණි ගැටළුව. 
හදිසියේ, නොකියාම, සමුනොගෙනම මේ දුර ගමන ඔහු ගියේ රහසේ යායුතු ගමනක් ගිය නිසා නොවේ. 
හිතුවක්කාර ගමනක යෙදුනු නිසාත් නොවේ. 
අප සමග උරණව ද්වේශයෙන් තරහින් පුපුරමින් ගිය නිසාත් නොවේ. 
සෑම ගමනක්ම ගෙදරට කියා ගිය.... කියා ගිය වේලාවට පැමිණිය නොහැකිනම් ප්‍රමාදයට හේතු කියා පමාවී පැමිණෙන බව වරින් වර ගෙදරට දැන්විමට පුරුදුව සිටි ඔහු, එදින ගෙදරටවත් යන බව කීවේ නැත. 
මරුගේ හදිසි කැඳවීමට ඔහුට හදිසියේ එකඟවීමට සිදුවුණි. කාටවත් කියා යාමට වේලාවක් නොදීම මරුවා ඔහුව කැදවා තිබුණි. ජීවිතයේ බොහෝ දේ ඉදිරියේ මෙන්ම මෙවර මරුවා ඉදිරියේදී ද ඔහු පෙරැත්ත කිරීමට ඉදිරිපත් නොවීම ගොස් තිබුණි.

රත්න ශ්‍රී විජේසිංහයන් මාලනී බුලත්සිංහලට ලියූ ගීතයක කොටසක් මට මතක් වෙයි. ඒ ගීය ඔහු ලිවුවේ ඇගේම දියණියගේ අකල් වියෝව නිසා ඈ තැවෙමින් සිටියදීය. මතකයේ හැටියට එය කවකින් ගීයකට පෙරලා ගත් එකකි. නැති නම් ගීතය නිම වීමට පෙර නැවත සංස්කරණයට ලක් වූ එකකි. එබැවින් මුල් කවේ හෝ මුල් සංස්කරණයේ  එක් තැනක මෙසේ වෙයි. 

අකීකරු වුවා නොවේ - යා යුතු නිසා නුඹ ගියා.......

අපගේ මේ මිතුරාද ගියේ එලෙසිනි. අකීකරු වුවා නොවේ - යා යුතු නිසා නුඹ ගියා....... ඒ ගීතය මේ මිතුරාට අදාල වන්නේ එලෙසින් පමණි. එහෙත් ඒ ගීතය ඇසුවොත් හොඳයයි හිතන්නේ මේ ශෝකාකූල මොහොතට එය මනාව ගැලපෙන නිසාවෙන්ය. 

බැස ගියා - නුඹ බැස ගියා
තාරකාවියේ නිල් තාරකාවියේ
නුඹ බැස ගියා

මේ පාලු අහසේ තොටිල්ලේ
නුඹ නැළැවුණා මතකයි එදා‍
ඇල් පවන් තාමත් හමන්නේ
මා ගැයූ නැළැවිලි ගී කියා


මේ ජීවිතේ සිහිනයක් දෝ
සද තරු වලින් සරසා ගෙනා
පුර හඳ පවා කඳුළැල් වෙලා
වැගිරේවි හිමිහිට ඉකිගසා

කඳුළක් කඳුළක් කඳුළක් තරම්
සීතල සීතල සීතල දෙයක්
නැති බව කියාදී නුඹ ගියා....

ගී පද: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
ගැයුම : මාලනි බුලත් සිංහල


අපි ඒ ගිතය අසා සිටිමු.


ඔහු හිටියානම් මේ ගීතයට ඔහුත් හෘදයංගම වනු නොඅනුමානය. 

ඔහු මගේ පාසැල් මිතුරකු නොවේ. එහෙත් ඔහු ඉගෙන ගත්තේ මා හොඳින් දන්නා පාසැලකය. ඔහු මගේ ගමේ මිතුරකු නොවේ. අපේ ගම් පිහිටා තිබුණේ එකිනෙකින් සැතපුම් 50-60 ක් ඈතිනි. ඔහු මගේ රාජකාරි ස්ථානයේ මිතුරකු නොවේ. ඔහු රාජකාරි කළේ මට වඩා වෙනස් රාජකාරි ස්ථානයකය. එහෙත් පළමු හමුවිමෙන්ම ඔහු මගේ මිතුරකු විය. අනතුරුව නිතර නොවුණත් හෘදයන්ගමව හමුවිය යුතු බොහෝ තැන් වලදී අපි හමුවීමු. ළබැඳියන් ලෙස කටයුතු කළෙමු. 
ඔහු මට හමු වූ දිනය හරියටම මතක නැත. ඔහු මට හමු වූයේ මගේ යම් නිර්මාණ කාර්යයක් අසබඩදීය. ඔහු මවෙත ඇරියුමක් කළේ ඔහු මෙහෙයවන වැඩ සටහනකදී මගේ නිර්මාණ ඉදිරිපත් කරණ ලෙසය. මෙසේ කියන විට ඔහු රූපවාහිනියක හෝ ගුවන් විදුලියක මාධ්‍යවේදියෙකු වග ඔබට පැහැදිලි වනු ඇත. 



ඔහු එකල ගුවන් විදුලි සංස්ථාවේ ක්‍රීඩා සේවයට අනුයුක්තව සේවය කළේය. ඔහු සේවය කළේ ගුවන් විදුලියට පමණක් නොවේ. ඔහු එවකට සිටි බොහෝ නවක එහෙත් ප්‍රතිභාවක් පෙන්වූ නිර්මාණ කරුවන් හට මහත් සේවයක් ඉටුකළේය. එමෙන්ම සුභාවිත නිර්මාන රසවිඳින රසිකයාගේ රසිකත්වය වෙනුවෙන් ඔහු සේවය කළේය. එමෙන්ම තම නාලිකාවේ විවිධ රසවින්දන පරාසයන් තුළ ගැවසෙන්නන් හට එම රසවින්දන පරාසය පුළුල් කරගන්නට ඔහු මහත් මෙහෙයක් ඉටු කළේය. මට ඔහු මුණගැසුනේ හා හා පුරා ගීත පොකුරක් නෙළාගෙන එය රසිකයන් වෙත පුද දෙන්නට යම් යම් කටයුතු ඉටුකරණා සමයේය. ඒ මීට වසර 25ටත් එපිටදීය. එහෙත් ඔහු මගේ හදවතට ඇතුළුවන්නේ ඊටත් බොහෝ කලකට පෙරය. එකල මම එකදු ගීතයක් වත් ලියා නැත. 
ගායක ශාලිත අබේවික්‍රම මහත් ජනප්‍රියත්වයක් ඉසිලූ යුගයක් විය. ඒ ශාලිත අබේවික්‍රම ගැයූ මේ ගීය මා වශීකල බව මට මතකය. ඒ පළමු මතකය තුළින් මගේ සිතේ ලැගුම් ගත් ඒ ගීතයේ රචකයා මට මුණ ගැසුනේ මමද ගීත රචකයෙකැයි ඔහු විසින් හඳුනාගැනීමෙන් අනතුරුවය. මුණ ගැසෙන විට ඔහු මාධ්‍යවේදියෙක්ද විය.

පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කළා
මගතොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කළා.....

මේ ගීතය මට මතක හැටියට පාසැලේ උසස් පෙළ කරණ සමයේ අප වැළඳගත් ගීතයකි. තාරුණ්‍යෙය් මුළ සිටි අප සැමට එය ඉතා නැවුම් සිතුවිලි එක් කළ ගීතයක් විය. එකල මේ ගීතයට අති මහත් රසික ප්‍රසාදයක් ලැබූ බව මට මතකය. මේ ගීතයේ රචකයා ලෙස හැඳින් වූයේ විපුල් ධර්මප්‍රිය ජයසේකර නම් අයෙකි.

කවුරුද ඔබ මා - ඉන්නේ කොතැනා
නොම විමසා පෙම ඉඟිමැරුවා
සොඳුරු වසන්තෙක මොහොතක සුව පා
වෙන් වූවා අප සුසුම් දරා....

මේ ගීතයට අපි ඇළුම් කළේ ඇයිද යන්න තේරුනේ පසුව ඒ ගැන සිතද්දීය. එහි ඇත්තේ ඒ වයසට ගැලපෙන අදහසකි. කවුරු කවුරුන්දැයි නොදැන, එන්නේ කොයිබින්දැයි නොදැන, දෑසේ ඇරියුමට වසඟව, හදිසියේ ගත් තීරණ මත පෙමින් වෙලෙමින් දින ගණනක සුවයකුත් මාස ගණනක් වියෝ දුකකුත් නොවේද ඒ කාලයේ සමහර ප්‍රේම කතාවල අරුත වුණේ... ඔහු ලියා ඇත්තේ එයය.

මතකේ මැවෙනා - පෙර රූ ඡායා
හමු වේදෝ යළි සිත සනසා
ඔබ නමටයි මා - පාරමි පුරණා
ඇසේවිදෝ මේ - ගී මාලා...... 



විපුල් ගීත රචකයෙකි. එමෙන්ම මාධ්‍යවේදියෙකි. එමෙන්ම මේ චරිතයන් පණපොවන්නට පෙර හේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රෙය් විශාල මෙහෙයක් ඉටු කළ බව දැනගත්තේ මිතුරන්ගෙනි. ඔහු හොඳ වේශනිරූපන ශිල්පියෙකු වූ බව ඉන්ද්‍රනාත තේනුවර සොයුරා විසින් සඳහන් කොට තිබුණි. එය පසුව තවත් අයගෙන් දැන ගතිමි. මේ අනුව ඔහු අතින් වෙස් ගැන්වූවන් බොහෝමයකි. එහෙත් අනුන් වෙස් ගැන්වූවද තමන් වෙස්වළා නොගත් අයෙකි විපුල්
තමන් ගීත රචකයෙක් වන විට අනෙකුන්ගේ නිර්මාණ කෙරෙහි ඊර්ෂ්‍යාපරවශව බැලීමේ සාමාන්‍ය පුරුද්ද ඔහුගේ ජීවිතය තුල මා නොදුටු දෙයකි. එහෙත් සමහර ඔහුට වඩා ළඟින් ඇසුරු කරන ගීත රචක මිතුරන් තුළ ( නැවතත් කියනවා සමහර කියන වචනය ) මේ ගුණය හමු නොවන බව මම අත්දැකීමෙන් දනිමි. එයට හේතුව වන්නේ සම යුගයේ සහෝදරයින් දක්ෂතාව අතින් හෝ ජනප්‍රියතාව අතින් තමනට යම් අභියෝගයක් වෙතැයි සිතන අයත් කලා කෙත උතුම්ය කිව්වත් සිටින බැවිනි. සම්මාන සිහිනයෙන් උමතු වුවහොත් මේ රෝගය වඩාත් දරුණු වේ. විපුල් විෂයයෙහි ගත් විට මේ රෝග කාරක විෂ බීජයට ඔහු ගොදුරුවීම නැතැයි කටපුරාම කිවහැක.

1999 දී පමණි, මා ගීත කිහිපයක් රචනාකර පටිගත කර ඇති බව දැනගත්විට මට බොහෝ මාධ්‍ය ආයතනවල සිටි සමකාලීන සිතුම් පැතුම් ඇති සගයන් එහි යම් අවස්ථා දෙන්නට උත්සුක වූහ. සමහර ආයතන එවිට අතහැරුනි. නැතිනම් අවශ්‍ය සංයුක්ත තැටි ඒ ආයතන වෙත ලබාදීමට ප්‍රමාදවුණි. විපුල් එවකට සිය හඬ අවදිකළ ක්‍රීඩා සේවයද එවැන්නකි. එහෙත් ඔහු සිටි අවස්ථාවල මගේ ගී එහි වාදනය වනු මම අසා තිබුණි. ඒ කෙසේද යන්න දැන ගත්තේ පසුවය. ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වූ සහෝදර මාධ්‍ය ආයතනවලින් එම තැටි ඉල්ලාගෙන විත් වාදනය කිරීමට තරම් ඔහු නිහතමානී අයෙකු විය. ඒ වන විටත් මා ඔහු හමුවී තබා දුරකතනයෙන්වත් කතා කර නොතිබුණු අයෙකු විය. ඔහු මට මතක හැටියට ප්‍රථමයෙන් හමුවූයේ ගී තැටිය එළි දැක්වීමේ කටයුතු ආසන්නයේ එහෙ මෙහෙ දුවන අතර ලක් හඬට ගොඩවූ විටදීය. විපුල් මටද තමන්ගේ වැඩ සටහනකට එන ලෙස ආරාධනා කළේය. ඉන් නොනැවතී ගුවන් විදුලියේ අනෙකුත් සමහර වැඩ සටහන් වලද අවස්ථාව සලසාදුනි. විපුල් මගේ මුල්ම නිර්මාණ කිහිපය එළි දැක්වීමේදී, නම් කිව යුතුම මාධ්‍ය සගයන් අතරේ ඉදිරියෙන්ම සිටි කෙනෙකි. මගේ මුල් නිර්මාණ මතු නොව මා අවසානයට කළ නිර්මාණ ගත්තද විපුල්ගේ නම ඊට ඈඳෙන්නේ ඒ ගි පළමු වතාවට මාධ්‍ය ආයතනයකින් ප්‍රචාරය කොට ඉන් නොනැවතී මාගේ අදහස්ද විමසා එහි එකතු කළ හිතහොඳ මිනිසා ලෙසය. මේ ගී මා කිසිදු මාධ්‍ය ආයතනයකට ලබා නොදුනි. දැන් ඔබ සිතනු ඇත්තේ මා කළ ඒ ප්‍රකාශය විපුල්ට හැර අන් අයට ලබා නොදුනි යනුවෙන් නිවැරදි විය යුතුයි කියාය. නැත. විපුල්ටවත් එය ලබා නොදුනි. ඔහු එම ගීත මුළින්ම අසා තිබුණේ අන්තරජාලය හරහාය. අනතුරුව ඉන් බා ගත් ගීත දෙක සිය වැඩ සටහන්වල කිහිප විටක්ම ප්‍රචාරයකර තිබුණි. පසුව ඒ හා බැඳුනු වටපිටාව පිළිබඳ ගීත ඉදිරිපත් කරමින් කතාබහකට යොමුවුනි. අනතුරුව වරක් දෙවරක් ඒ ගි තැටිය ගෙනැවිත් දෙන ලෙස ඇරියුම්ද කළේය. එහෙත්...... ඒ ගීතැටිය ඔහු අත පත්කිරීමට ඉඩ නොතබා ඔහු අප හැර ගොස් ඇත. මේ ගී දෙක මෙහි අමුණන්නේ ඔහු ඒ ගී දෙකට ඇළුම් කළ බැවිනි. ඒ හා සම්බන්ධව තව යමක් කියන්නේ ඔහු සමහර අය මෙන් කුහක නොවූ බව කීම පිණිසය. මේ ගී දෙකේ මහා සමාජ දර්ශනයක් ගැබ් නොවේ. ප්‍රේමයේ විප්පයෝගය පිළිබඳ තැවෙන සිතක සිතුම් සමුදායක් පමණක් මෙහි ඇත. ඒ හැඟුම් වලට සංවේදී බොහෝ දෙනෙක් මේ ගීත වැළඳගත් බව මම දනිමි. සමහර අයට ඒවා නොදැනුනු නිසාත්, තමන්ගේ විග්‍රහයන් අනුව තමන්ට ගෝචර නොවන නිසාත් ඒවා පෙර නිර්මාණ තරමින් ඇළුම් නොකළ අය සිටින්නට ඇත. එහෙත් ඒ අතරේ වෙනත් අරුත් ඇතිව ඒවා තලා පෙලා ඉවත ලෑමට ගත් උත්සාහයන්ද තිබුණියැයි මට සිතුනි. ඔවුනගේ අදහස වූයේ පුම්බා කොතෙක් උඩ ගැසුවත් මේ නිර්මාණ දෙක නම් ඉල්ලුම අවප්‍රමාණ වී අස්ථාන ගතවන බවයි. 




මා විපුල්ට මේ ගැන කී විට විපුල් කිව්වේ මෙසේය... මචං....... රසිකයෙක් කිව්වොත් ඒ ගැන ටිකක් හිතපං...... ක්ෂේත්‍රෙය් එකෙක් කිව්වොත්, ඔහු අපට වඩා ජේෂ්ඨයෙක් නම් ඒ ගැනත් ටිකක් හිතපං...... අපේම එකෙක් කිව්වොත් නම් ඒ ගැන හැකි තාක් අමතක කරපං..... මම නොකිව්වට උඹ දන්නවානේ අපේ වුන්ගේ තරම.....ඔන්න ඔය සී. ඩී. එක ඉක්මනට ගෙනත් දියං....... කියාය. ඔහු ක්ෂේත්‍රය පිළිබඳව සිටි අවබෝධය මේ අනුව පැහැදිලිය. එහෙත් එලෙස කිව්වේ අපේම එකෙකුත් නොවේ යැයි මට සිතේ. ඒ නිසා අපේම වුන්ට මේ කියමන අදාල නොවේ. විපුල් ඇසුරු කළ අපේ මිතුරන්ගෙන් බොහෝ දෙනෙකුත් එසේ නැත. එහෙත් සමහර අය එසේ වන්නට බැරි නැත. ඒ ගිතදෙකත් මෙහි අසන්නට දෙන්නම්. විපුල් මට කියන්නට ඇති දේ පමණක් කියවන්නට කැමති අය, උරණ නොවී ඒ ගී දෙක මගහැර යනු මැනවි.

1.රාත්‍රිය.....
උවමණා කර තිබේ - නිදන්නට නොව
ලොවින් සැඟවෙන්න....



2. නුඹ ළඟින් සිටි දා - කියන්නට බැරිවුණු....



විපුල් නිහඬ මිනිසෙකි. ඔහුගේ හඬ මතුවන්නේ සිය රාජකාරි කාලය තුලදී පමණි. ඒද මනාව පාලනය කරගත් හඬකි. ඒ හඬ ඉවක් බවක් නැති තිරිංග රහිත හඬක් නොවේ. එය මනාව හික්මුණු හඬකි. ඒ හඬ නිසා රිදුනු කෙනෙක් නැතැයි මම සිතමි. ඒ හඬ නිසා නිවුනු අය වන බව මම දනිමි. ඔහු ඔහුගේ හඬ මිනිසුන් වෙනුවෙන් මිස වෙනත් අරමුණු සඳහා යෙදවූයේ නැත. ඔහු හඬ නැගූ තවත් විදිහක් පෙර උදාහරණයකින් දැක්වුණි. එහෙත් හොඳින් කතාබහේ හුරු හොඳ කටහඬක් ඇති ඔහු තමන්ට කියන්නට ඇති සමහර දේ කියන්නට වෙනත් හඬවල් සෙවීය. ඒ අත ඊසොප්ගේ හඩ ජාකොබ්ගේ ලෙසින් නොවේ. කථනයට දක්ෂ වුව, ලිවීමේ දක්ෂවුව, ගැයීමේ දක්ෂනොවන බව වටහා ගත් ඔහු තමන් ලියනා දේ කියවිය හැකි හඬවල් සෙවීය. එඩ්වඩ් ජයකොඩි ඉන් එක් අයෙකි. නොකීරහසක් කියන්නට වෙනත් සෑම හඩකටම වඩා ජයකොඩි අයියාගේ හඬ හොඳයයි සිතෙන්නේ මේ ගීතය ඇසෙන විටය. ඒ නොකීරහස අනෙකෙකුගේ නොව විපුල්ගේය. තමන්ට කියාගතනොහැකි වූඒ රහස කියන්නට සුදුසු හඬ තමන්ගේ නොව ජයකොඩි අයියාගේ බව ඔහු ඇදහූ දේ විය. නැති නම් තමන්ම එය ගයනු ඇත. 

නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා 
ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා 
රැයේ ගනඳුර නැගෙන තනියට 
සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා 
මං ආදරෙයි....... මං ආදරෙයි 
උමතුවෙන් ඔබේ සිත මා සොයනවා..... සොයනවා........ 

විපුල්ගේ ගීත රචනාවන් තුළ බැරෑරුම් උපමා උපමේයයන් සහ රූපකාලංකෘත අඩුය. එහි බස් වහර සරලය. වක්‍රෝක්ති අවමය. එහෙත් ගැබ්වෙන හැඟීමෙහි අඩුවක් නැත. මේ හේතුව නිසා සුභාවිත ගීතාවලියේ එක් ඉමක සිටින රසිකයන්ටත් මේ ගී විඳීමේ හැකියාව ලැබීඇත. එය ඔවුන්ගේ රසිකත්වය ඔසවා තැබීමේ පාලමක්ද වන්නේය. මේ කාලයේ මෙවැනි පාලම් පාරු නැත. ඇත්තේ දෙගම්බඩය.

පැතුම් වෙරලට සිතුම් රළ පෙළ ඇදෙනවා
සිතැඟි කැළඹිලි නගනවා හැඟෙනවා
නිදන නින්දද මුදා හරිමින් අවදිකොට මා තබනවා තබනවා.....
මං ආදරෙයි....... මං ආදරෙයි
උමතුවෙන් ඔබේ සිත මා සොයනවා..... සොයනවා........

දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා
නෙතග ඒ මල් ළෙලෙනවා පෙනෙනවා
දකිනු රිසි ඔබෙ තාරකා ඇස් මසිත මිහිරක් මවනවා මවනවා
මං ආදරෙයි....... මං ආදරෙයි
උමතුවෙන් ඔබේ සිත මා සොයනවා..... සොයනවා........ 



මේ ගීය සංගීතවත් කළේ ද එසේ කොට ගායනා කලේද විශාරද එඩ්වඩ් ජයකොඩි විසිනි. නොකීරහස හඬින් සැමටම කිව්වේ ඔහු විසිනි. 
ප්‍රථම හමු වීමෙන්ම අපි මිතුරන් වීමු. අනතුරුව විවිධ කලාත්මක කටයුතු අවසන පුරුදු තැනකට එක්වන කණ්ඩායමට ඔහුද ඇතුළත්වුණි. එසේ විශේෂයෙන් එක්වූ තැන්ක වූයේ එකල සමන් ජයනාත් නවාතැන්ගෙන සිටි සේනාරත්න පීරිස් (සෙනා) ට අයත්ව තිබූ කළුබෝවිල රෝහල අසල නිවසයි. ඊට නිතර එකතුවූවන් වූයේ, සමන් සහ සෙනාත්, රෝහණ ධර්මකීර්ති, වසන්තරෝහණ, නවරත්න ගමගේ( නවා) සහ මමත්, බුලිත ප්‍රදීප් කුමාර, කමලසිරි බණ්ඩාර, කුමාර ලියනගේ, දයානන්ද රත්නායක, රොහාන් ශාන්ත බුලේගොඩ, සුදත් සාගර, ජනක නවරත්න වැනි පිරිසකි. මේ එකතුවට අනිවාර්යයෙන්ම විපුල්ද පැමිණෙයි. එහි අවශ්‍ය අයට අවශ්‍ය්‍ය නම් අවශ්‍ය දේද තිබුණත් විපුල්ට ඒ දේවල් අවශ්‍ය නොවෙයි. කතා බස්, ගී ගැයුම්, අදහස් දැක්වීම් ඈ සියල්ල මදක් මත් වුණු අයද මත් නොවුණු අයද එකසේ කරයි. එහෙත් බොහෝ දුරට ඒ සියල්ල මැද විපුල් නිහඬව අසා බලා සිටී. විපුල්ගෙන්ම යමක් ඇසුවොත් හෝ විපුල්ටම අදහස්දැක්විය යුතු දෙයක් නොවුන හොත් ඔහු බොහෝ විට නිහඬව සිටී. එමෙන්ම එලෙස එම හමුවීම් වල සෑහෙන වෙලාවක් සතුටු වෙමින් සිටීමද ඔහුගේ පුරුද්දකි. 
අපි එක්ව කතා බස් කළේ එවකට අපි සියල්ල නියැලී සිටි ගීත ක්ෂේත්‍රයේ අනාගත තත්වයන් තුළ අළුතින් යමක් කරන්නට සැරසුනු අපේ පිරිසට සහායක් වෙමින් අපගේ ගමන යන ආකාරය පිළිබඳවය. ඒ ගමන සඳහා විපුල් මාධ්‍යයනගෙන් ඔවුන් වෙත ලබා දිය හැකි හැම උපතාරයක්ම කළේය. සිය ගීත සඳහා වැඩි ඉඩක් ලබනු වෙනුවට සමකාලීන අන් අයට එම අවස්ථාවන් බෙදා දීම ඔහුගේ මහත්මා ගුණයක් විය. ඔහු අමුතු මිනිසෙකු වූයේ ඒ ගුණයන් දැරූ නිසාවෙනි. 



විපුල් ලියූ ගීත සිය ගණනින් ජනප්‍රිය වීනැත. විපුල් එසේ ගී ලියාත් නැත. එහෙත් ලියූ ගී කිහිපයෙන් ඔහු රසිකයින් අතර මහත් ප්‍රසාදයක් දිනාගන්නට සමත් වුණි. මේ තවත් එවන් ශාලිත ගැයූ ගීයකි.

සුළඟේ ළෙළෙනා - මල් සේ දඟපා
අප පාසැල් ගිය කාලයේ
යාළුවො අද නැත- වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ.....

සමහර විට විපුල් මේ ගීය ලියන්නේ නිතර නිතර ඔහු සිය පාසැලට ආදි සිසුවකු ලෙස ආ ගිය අතරතුර විය හැක. විපුල් කොළඹ තර්ස්ටන් විදුහලේ දීප්තිමත් ආදි සිසුවෙකු බව මෙහි ලියා තබණු වටී. සරල වදන් අතරේ ඊ ළඟට ඔහු ගැඹුරු කතාවක් කියයි.
ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
සැම දෙන එක පන්තියෙ විලසේ
අප පොත් වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ........

පාසැලේ, පන්තියේ එකට උගෙනිද්දී පංති බේදයකින් තොරව සියල්ල එක පංතියක සිටී. ඒ සියල්ලගේම පැතුම වන්නේ අධ්‍යාපනයේ ඉහළ කඩුළු තරණය කර උසස් තැනකට ඒමටය. ඒ අනුව ගත්විට නැවතත් සියළු දෙනාම එකම පංතියකය.

සාමල අමරල පොත් තුළ තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසැල - අපේම මවගේ එදවස් අපහට නැත ආයේ...... 

එම ගීතය අසමු.



විපුල් ලියූ ගී වඩාත්ම හැඳින්විය හැක්කේ ආදරයට බර ගී ලෙසය. එහෙත් ඔහු එවන් ගී ලියා ඇත්තේ කිහිපයකි. ඒ ලියූ ගී කිහිපය තුළ ඇති ආදරයේ තරම අහස් ගැබේ තරු කැට ගණනට පොලෝ තලේ වැලි කැට ගණනට සමානය. විපුල් මේ විදිහට ඒ ආදරයේ තරම පත් ඉරුවක ලියද්දී ඒ කතාව සැමට ඇහෙන්න ගැයුවේ චරිතා ප්‍රියදර්ශනී පිරිස් විසිනි.

වදුලු සිරස පිපි මල්ගානේ - විහඟ තුඩක කිචි බිචි ගානේ
සිහින සිඹින මද නල ගානේ ආදරෙයි - මං ආදරෙයි....

එම ගීතය අසමු. 



මෙවන් කිහිපයකින් වුව ඔහු ගීත රචතයෙකු ලෙස ඇති කරගත් අනන්‍යතාව මහත්ය. ඔහු ලියූ ජනප්‍රිය වූ තවත් ගී කිහිපයකි. එහෙත් ඒ ගැන වැඩි කතා නොකර ගීත වලට යොමුවන්නට සිතමි. ආත්මා ලියනගේ ගේ සුරිඳුනේ ගීතය අති මහත් ජනප්‍රියත්වයක් ලැබූවකි. 
සුරිඳුනේ ගීතය අසමු.

https://www.youtube.com/watch?v=uVD1HaiUuX0&feature=em-upload_owner#action=share


එවන්ම ජනප්‍රියත්වයක් ලැබූ ගීයකි ලක්ෂ්මන් හිල්මිගේ බොල් පිනි වැටෙනා ගීතය. 
බොල් පිනි වැටෙනා ගීතය අසමු.
කරුණාරත්න දිවුල්ගනේ ගයන සඟවන්න එපා හසරැල් ගීතය ඔහු අතින් ලියැවුනු ගීත අතර බොහෝ අය වඩාත් ප්‍රියතාවක් දැක්වූ ගීතයකි.
සඟවන්න එපා හසරැල් - අවුලන්න එපා ගිනි දැල් කීවත් හසරැල් සැඟවීඇත. ගිනි දැල් ඇවිලී ඇත. ඒ එසේ ලියූ විපුල්, ඔබ අප හැර ගිය බැවිනි. අපව හැර යාම අදහා ගත හැක. එහෙත් සදාදරනීය දරු දෙදෙනාත්, ප්‍රිය බිරිඳත් හැර මරු හා යාමට එකඟවීම අදහා ගත නොහැක. එහෙත් උපන්නොත් යමෙක් මරණයත් අත මිට මොලවා පැමිණෙන බව අපි කවුරුත් දන්නා දෙයයි. අපි නොදන්නේ ඔහු කුමන කාලයක් අපි අතර සිටීද කෙදින යාවිද යන්න පමණි. විපුල් කොතෙක් කිව්වත්, ඔබ ගිය පසු ඔබට හිතැත්තන්ගේ මුහුණු තුළ හසරැල් සැඟව ඇත. හදවත් තුළගිනි දැල් ඇවිල ඇත. 
සඟවන්න එපා හසරැල් ගීතය අසමු. 






ේ අතර මාලනී බුලත්සිංහල ගයන ගීය විපුල් ොන තරම් නම් ජනප්‍රිය වුණු ගීයක් දැයි මට මතක් වූේ පසුව ය. සුව මතක් වුවද, එය, මා ඔහුේ ගී වලින් වඩාත්ම ප්‍රිය කරණ ගීයක් බව කිවිය යුතුම ය. එහි සංගීතය එච්. එම්. ජයවර්ගෙනි.



පෙළින් පෙළට රිය
පෙරහැර මග නැත
දොරින් දොරට සැරසිලි
හැඩවැඩ නැත..
හැඩට රුවට තැළි පිළිද
නැතේ මට ...
එනමුදු අද ඔබෙ මනමාලිය මම ...

තුඩින් තුඩට ආසිරි ගී පද නැත
ඇතෙක් බරට දායදය මට නැත
බුලත් හුරුළු දී අවසර ගෙන නැත
එනමුදු අද ඔබෙ මනමාලිය මම ...

නිමල සිතින් හද නොමල පැතුම් ගෙන
රන් රස සිතුවිලි ඇත සිත සතුටට
නෙත් සිත් දහසක් නැතුවට වටකොට
ඔබෙ අත ගෙන එමි සසර පුරුද්දට ...


 
අතමිට සරු නැති, දායාදද හිමි නැති, එහෙත් ආදරය හදෙහි ඇති දෙපළකේ එක්වීමක් ගැනය ේ සුන්දර ගීය.
ේ විවාහය සිරිතට විරිතට, උත්සවශ්‍රිෙයන් ොවූ බව එහි පද පෙළ ොවලහා කියයි. එහෙත් සැබෑ බැදීමකට ේ උත්සව අත්‍යවශ්‍යද? උත්සව ොමැති වූ කල සැබෑ බැඳීමක් වියැකී යයිද? එොවන බව ේද ේ ගීඇත්ේ.
ේ බලන්න ඔහු එය ලියා ඇති සුන්දර අයුර.
 
නිමල සිතින් හද නොමල පැතුම් ගෙන
රන් රස සිතුවිලි ඇත සිත සතුටට
නෙත් සිත් දහසක් නැතුවට වටකොට
ඔබෙ අත ගෙන එමි සසර පුරුද්දට ...
 
අපි වැඩි පුර කතා නොකර එම ගීය අසමු.
 
 
 
ඉතින් මිතුර...... දැන් ඔබ නික්ම ගොස් ඇත. අප කොතෙක් අකමැති වුවත් ඔබ අපෙන් නික්ම ගොස් ඇත. ඔබ නැවත කෙදිනකවත් අප අතරට නොඑනු ඇත. එහෙත් අප ඔබ අතරට නොඑනු ඇතැයි ඉන් අදහස් කල නොහැක. අප නොදන්නේ අප ඔබ අතරට එන දිනය කෙදිනද යන්න පමණි. එහෙත් කෙදින හෝ අප ඔබ අතරට එනු ඇත. එබැවින් මින් නිහඬවන්නට තීරණය කළෙමි. 


රත්න ශ්‍රී බැස ගියා නුඹ බැස ගියා ගීතය අවසන් කරන්නේ, කඳුළක් තරම් සීතල දෙයක් නැති බව කියා දී - නුඹ ගියා ලෙසය.... එයම මෙහිදීද යොදා ගතහැක, විපුල්,  
කඳුළක් 
කඳුළක් 
කඳුළක් තරම් 
සීතල 
සීතල 
සීතල දෙයක් 
නැති බව කියා දී 
නුඹ ගියා........ 

- යසනාත් ධම්මික බණ්ඩාර -