Wednesday, December 26, 2012

සුනාමි කවියක් නොවේ.......

(දළ රළ පෙළ රුදුරු වී අදට වසර අටක් සපිරේ)


ගොර රකුසු අණ වින 
සුනාමී නම් වෙස් ගෙන
වෙරළ තීරය බිළි ගෙන
මසක් ගතවෙන දින
ලියමි මේ කවි පෙළ
කලෙක සිට බොහොම මුව ගොළු
අයයණ්ඩියේ නුඹ ගැන.........

නාවාට සුනාමී
යුගෙන් පසු වෙහෙර දේවී
නම නැතිවාට සුනාමී
සුනාමී වන් විපත් බෝවී
මෙසිරිලක ගනුරට යාවී............

දුටුවිට දසුන බියකරු
ගාළු නගරයෙ මුහුද ගොඩගැලු
අන් හැම නමට පළමුව
නැගුණු නම මතකයට
නුඹෙ නම........

අයයණ්ඩියේ කවි සිත
කවි පෙළකටත් වඩා මුදු වූ
රැකුණිදැයි මේ විපතින්
සෙවී තොරතුරු
නිතැතින්......

දැන සිටින වග යහතින්
බේරී සුනාමී විපතින්
නුඹද දරු කැළ නිදුකින්
විරාමයකට මසිත සතුටින්.......

එහෙත් සත්තයි මට නම්
පෑරී ඇතැයි කවිකම්
පෑව සිත්මල බෙහෙවින්
සිදුවූ දුකින් මේ වන්
සිරි බර රටට මනරම්......

මේ විපතටත් පෙර සිට
වන් විපතකින් කරපිට
පොඩි වී තැලී කවි සිත
අහෝ ගොළුවුණු කවිපද.......

දේශපාලන උදම් රළ
කළඹා රැකියා සිුකුස
අනේ අවතැන් කළ
අය්යණ්ඩිගේ කවි සිත......

කවියෙකුට මනරම්
මොන දුකද - තම සිතට නොතරම්
මිනිසුන් නොමැති මනු දම්
හට මෙහෙය කිසියම්.......

ගිනිදු අවැසි තැන
අතැතිව මියුරු කවි පද
පෙළහර පානු රිසියෙන
සටනට එළඹි සකි ස......

මහතුනේ පින්බර
ආධාර බෙදන පිරිවර
කවි සිතකට දුක් බර
මොනවාද දුන් සහන පොදිකර.......

ආධාර නම් බෝ මැයි....
ආණ්ඩුවත් අපේමැයි......
නිල් රතු පාට මුහුවී
මනුසත් පෙනුම බෝමැයි......

ඉතින් නිල් රතු මහතුනි
කවි පදට ලොබ මිතුරනි
දනට බර යතියනි
නිදුකින් සිටින කවියනි....

අද අවතැන්ව කවි නැති
ඒත් බෝ කවි කලල සිත ඇති
කවි සිතගනු රිසියෙනි
කියව් කරනා මෙහෙය සකියනි......

  - යසනාත් ධම්මික බණ්ඩාර -

(මෙම කවිය ලියැවුණේ පශ්චාත් සුනාමි වකවානුවේදීය. සුනාමිය එනවිට රත්න ශ්‍රී විජේසිංහයන් පදිංචි වී සිටියේ ගාල්ල කොටුවෙහි ලේන් බාන් වීදියෙහිය. මේ වනවිට රජයේ ඇමතිවරයෙකු හා ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහුගේ රැකියාව අහිමිව තිබුණි. මෙම කවිය ලියැවුණේ ඒ සියළු කරුණු වල මතකයත් සමගිනි. කෙසේ වෙතත් පුවත් පත් කවිපිටුවලට මෙම කව යොමු කළද එය පළ නොවිනි. සමහරවිට අසාර්ථක කවියක් නිසා වන්නට පුළුවන. එහෙත් මම මෙයට මහත් ඇළුම් කරන බැවින් මෙහි පළ කිරීමට සිතුවෙමි.)

Monday, December 17, 2012

බිළිඳෙකු නොවේ ඔහු කවියෙකි......





නැතිවූ යමක් හමු වී

තුටු සිත් දරණු බැරිවී

බිළිඳෙකු සේ හඬන

මිනිසෙකි.......

බිළිඳෙකු නොවේ ඔහු

කවියෙකි........



හුරුය ඔහු මුහුණුවර.....

ය එය

පුතු මුහුණට......

නොමැතිනම්

මා පියාණන් මුහුණට.....

මගේ මුහුණට......



බොහෝ කලකට පසුව

ලියැවුණු

කවියක්ද අතැතිව

මහතුණි,

ඔහු

ඔබ සොයා ඒවි........

කියා දී අඩු ලුහුු කම්

දී ඔපලන්ට කවිකම්

මහතුණි,

පිළිගන්ට ඔහු.......



බොහෝ කව් මුතු

පබැි පන්හි

බොහෝ කලකට ගොළුවුණේ කිම

සෙවූ බෝ කාරණ

මෙසේ ලියැවී ඇත

එහෙත් ඉන්කවරද

වඩා නිවැරදි

කරුණ

මේ ගොළුවතට.......



“ සිඳී ගොස් කවි සිත

වරා අස්වනු - වචන සිත්කෙත

නොහී උපමා - රූපකාලංකෘත.......”



“ ගිලිහී ගැඹුරු කවි සිත

පසිදු ගී රැල්ලට

හසුවිණ

අනේ කවි සිත වියැලින......”



“ නිදහස් ආර්ථික ජඩ කම්

අන වින - අපල  වස් දොස්

කළු රකුසු වෙස් ගත්

උදුරා ඔහුගෙ කවි සිත්......”



මෙසේ කී - නොකී තව තව

බොහෝ කාරණ.....

බොහෝ කාරණ.....



බොහෝ කලකට පසුව ලියැවුණු

කවියක්ද අතැතිව

මහතුණි,

ඔහු ඔබ සොයා ඒවි.......
-         
  - යසනාත් ධම්මික බණ්ඩාර -

Wednesday, December 12, 2012

ධම්මික දුටු ධම්මික


අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියාම

අතු අගට වෙලා හිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පර වුණාම


හඬනවද සඳත් තනියම
තැවෙනවද මලුත් රහසෙම
ඔබ දන්නවා ද
ඇයි මට විතරක් මේ..
ඔබ හැරගියාම

සිහිනයක පිපී සුන්දර
රැදේවි ද සොඳුරු යාමෙක
මගෙ හද යහනත...
ඇයි මට විතරක් මේ..
ඔබ හැරගියාම

----------------------------------
පද - යසනාත් ධම්මික බණ්ඩාර
තනු - නවරත්න ගමගේ
හඬ - කරුණාරත්න දිවුල්ගනේ


ඔහුගේ නම යසනාත් ධම්මික බණ්ඩාර ය. ඔහුගේ පදිංචිය කුරුණෑගල පොතුහැර ය. ඔහු ඉඳ හිට ගීතයක් ලියයි. අපි අසල්වැසියෝ ය. මිත්‍රයෝ ය.

එහෙත් මේ සටහන මිත්‍රකම වෙනුවෙන් ලියා තබන්නක් නොවේ. මීට වසර හත අටකට පෙර හදවත් සසල කළ අද නිතර නෑසෙන, යසනාත් ගේ ගී පදමාලාවකින් මත් වී තබන්නාවූ සටහනක් ලෙස මම මෙය හඳුන්වමි. ඔහු විසින් රචනා කරන ලද, ‘නොනිදා ඉන්න එපා දේවී” (ජානක වික්‍රමසිංහ) , 
  
ගීතය මෙතැනින් රස විඳිමු





 
“ගාන තෙල් සඳුන් වරළස” (සමන් ජයනාත්)

ගීතය මෙතැනින් රස විඳිමු



වැනි ගීත තරම් මෙය ජනපි‍්‍රය වූ බවක් මට මතක නැත. ඒත් මේ ගීයේ කුමක් දෝ ගුප්ත රසයක් රැඳී ඇති බවක් මට හැඟේ.

මහාචාර්ය ගම්ලත් වියතාණෝ “ශෝකයත් රසයක් ද?” යනුවෙන් ග්‍රන්ථයක් සම්පාදනය කළෝ ය. වාස්තවික ලෝකයේ දී ශෝකය රසයක් ගෙන නොදේ. එහෙත් කලාකරුවාගේ කල්පනා ලෝකයේ දී ශෝකය රසයක් බවට පත්වේ. ප්‍රේමවන්තයන් ගේ විප්‍රයෝගය වූ කලී වාස්තවික ලෝකයේ දී හද කකියවන්නකි. එහෙත් සාහිත්‍ය ලෝකයේ දී ඒ ශෝකය රසයක් බවට පරිවර්තනය වේ. මෙය ද එබඳු වූ අවස්ථාවකි.

ඉර බැසයන විට සඳ නැඟ එයි. ඉරේ එළියෙන් සඳ බැබළෙයි. එහෙත් හිරු බැසයාම පිළිබඳ ව සඳවතිය දුක් නොවෙයි.

එක ම මල්යායක පිපී වැනෙන මල් පරවී යයි. එහෙත් මල් යාය දුක්වන බවක් නොපෙනේ. එසේ දුක් නොවන හේතුව අසා බලන ලෙසට රචකයා ආයාචනය කරයි.

අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඬලින් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියන
හිරු කුමරුන් බැස ගියාම

අතු අගට වෙලා හිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පර වුණාම

ස්වභාව ධර්මය පුරාම මෙබඳු වෙන්වීම් රැඳී පවතී. එහෙත් මේ කිසිතැනක ශෝකය නොමැති බව රචකයා වටහා ගනී.

හිරු කුමරුන් සමුගැනීම ගැන සඳ තනියම හෝ හඹා වැටෙනු බවක් නොපෙනේ. තමා ළඟ සිටි මල් පරවීයාම පිළිබඳ කිසිදු මලක් තනිවී හඬන බවක් ද නොපෙනේ. එහෙත් තනි වී හඬන කෙනෙකු සිටී. ඔහු කවුද?

හඬනවද සඳත් තනියම
තැවෙනවද මලුත් රහසෙම
ඔබ දන්නවා ද
ඇයි මට විතරක් මේ..
ඔබ හැරගියාම

දැන් අප ඉදිරියේ සිටින්නේ ප්‍රේමයෙන් පරාජිත වූවෙකි. කවුරුන් හඬා නොවැටුණත් ඔහු ඇය වෙනුවෙන් හඬා වැටේ. ඔහු තුළ එක් පැනයක් ඉතිරිව ඇත. සඳට මල් වලට නැති වියෝ දුකක් ඔහුට විතරක් කොයින් ද?

"ඇයි මට විතරක් මේ
ඔබ හැර ගියාම”

මේ නිර්මාණය කූටාප්‍රාප්තියට පත්කරන ප්‍රබලතම යෙදුම මෙයයි. ආලයේ විරහව භුක්ති විඳින්නට සිදුවන්නේ තනියම ය. එය ඇට මිදුළු සිසාරා ගලායන නොනිමි වේදනාවකි. මට මහගම සේකරයන්ගේ කවි පදයක් සිහිවේ.

ඔබ හිනැහෙනවිට
මුළු ලොව
ඔබ සමඟින් සිනාසෙයි
ඔබ හඬනා විට
මුළු ලොව
ඔබ අත හැර සිනාසෙයි
(මහගම සේකර)

දැන් ඔහුට ඇය ව දැකගන්නට හැකිවන්නේ සීනයකින් පමණි. ඒ සිහිනය පවා ඔහුට සුන්දර ය. ඒ සිහිනයට ඔහු ගේ හද යහනේ කුමන වේලාවක හෝ සැතපිය හැකි ය. ඔහු බලා සිටින්නේ ඒ සිහිනය හද යහනේ සැතපෙන තුරු ය.

සිහිනයක පිපී සුන්දර
රැඳේවිද සොඳුරු යාමෙක
මගෙ හද යහනත...

රචකයා භාවිතා කරන “ඇයි මට විතරක් මේ” යෙදුම තුළ පාළු අනාථ ශෝකී භාවයක් අන්තර්ගත ය. මුළු ගීතය පුරාවට ම ඒ පාළු ශෝකී භාවය රැඳී පවතී.

මට මගේ යොවුන් විය සිහිවෙයි. මා ප්‍රේමය පුදද්දී මා නොසලකා හළ යුවතියක නිසා එකල මම මහත් වේදනාවක් වින්දෙමි. මා දුන් පෙම් හසුන් ඇය බිම දැමුවා ය.

අම්බලන්තොට බැරගම ප්‍රදේශයෙන් පැමිණ ආනන්ද බාලිකා නේවාසිකාගාරයේ සිටි ඒ යුවතිය මට මේ මොහොතේ ද සිහිපත් වේ. ඒ සිදුවීම සිදුවූ දා රාත්‍රිය පුරා මම නිදිවර්ජිත ව සිටියෙමි. මේ සිදුවීම සිදුවී වසර තිහකට පසුව මම ඒ සිද්ධිය සිහිකොට පදමාලාවක් ලීවෙමි.

රාජ්‍ය සංගීත කණ්ඩායමේ නවක ගායකයකු එය මෑත දී ගායනා කර තිබිණි. මේ මොහොතේ හිත නැඟෙන ශෝකමය භාවය නිසා ම ඉන් කොටසක් මෙහි ලියා තබමි.

"මගේ කවිය ඉරා දැමූ කුමරියේ
තව එක කවියක් ලියා එවන්නම්
බිම නොදමා කියවනවා නම්

සඳ ළඟ තරු දෙකක්
වගෙයි ඔය ඇස් දෙක
මගේ දිහාවට
හැරිලාවත් නොබලන
සුළඟ දිගේ පාවී යයි
නිල් වරළස
වැරදීමෙන් වත් මගෙ
සියොළඟ නොහැපෙන

විරහ වේදනාවේ හැටි එහෙම ය. යසනාත් ඒ වේදනාවේ ගැඹුර මනා ලෙස සංස්පර්ශ කර ගැනීමට සමත් වී තිබේ. මේ ගීතයට ඉතිරි ඌන පූර්ණය සපයන්නේ පාඨකයා හා සංගීතඥයා ය. පාළුව, තනිකම, වේදනාව ආයාචනාත්මක බව මුසු ශෝකී තනුවක් නවරත්න ගමගේ නිර්මාණය කර තිබේ. නවරත්න ගමගේ නැමැති ගාන්ධර්වයා ගේ තනු නිර්මාණවල වසන්ත සමයේ මේ සඳහා ද තනුව නිර්මාණය වී තිබේ. දිවුල්ගනේ නම් ගායකයාගේ ශෘංගාරය හා ශෝකය මුසු ගායනා රටාව ගීතයට එළියක් ගෙනදී තිබේ. ඒ නිසාම ශෝකය රසයක් බවට පත්වී තිබේ.

මේ මොහොතේ විරහ වේදනාවෙන් තැවෙන හදවත් කොතෙක් නම් තිබේ ද? ඒ සෑම හදවතකට ම මේ ශෝකය රසයක් බවට පත්වෙයි. මේ ලියන මොහොතේ පවා මම ඒ රසය අත් විඳින්නෙමි.

මම දැන් යසනාත් ව අමතන්නෙමි. තඹුත්තේගම මහ රෝහලේ බෙහෙත් පුසුඹ අතරේ සිටින ඔබගේ පන්හිඳ යළි අවදි කරන්න. ඔබ වැනි නිර්මාණකරුවන්ට යළිත් පතිරූප දේශයක් බිහිවන ලකුණු පහළ වෙමින් පවතී. මේ හේමන්ත නිද්‍රාවෙන් අත්මිදෙන්න.

”ඇයි මට විතරක් මේ
ඔබ හැර ගියා ම”

(උපුටා ගැනීම - සිළුමිණ පුන්කලස - ධම්මික බණ්ඩාර)

ගීතය මෙතැනින් රස විඳිමු