Friday, September 5, 2014

වික්ටර් නැතිව වික්ටර් දකිමු (සිව්වන කොටස)







උඩු හිත සහ යටි හිත.....

හැඟීම් සමග හාද වෙලා ඉන්නේ උඩු හිත. බුද්ධිය සමග ගනුදෙණු කරන්නේ යටි හිත. ඉතින් දැන් වෙලාව උඩු හිතේ ගීතය සහ යටි හිතේ ගීතය අහන්න. ඉස්සරලා උඩු හිත ලිවූ ගීතය කියවා බලමු.

මාලිනියේ
මා මනසේ
මා දෑස සොයනා රුව ඇඳුණා
මාලිනියේ..... 
මංගල පෝරුව මස්ථකයේ
මම ඔබෙ අත ගනිමී...... 
පතිවත රකිනා කුලකුමරී
මම ඔබ රැක ගනිමී......

මේ උඩු හිත ගයන ගීතය ලියා ඇත්තේ මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින්. උඩු හිත කියනවා තම දෑස සෙවූ රුව - මාලිනිය - තම මනසේ ඇඳුණු බව. ඉතින් ඔහු උද්දාමයෙන්. ඒත් මේ මනස සෙවූ රුව නොවෙයි. දෑස සෙවූ රුවයි. දෑස සෙවූ රුව මනසට කොතෙක් ගෝචර වේද? දෑස සෙවූ රුව අත්පත් කරගැනීම ඇය තේරුම් ගෙන ජීවිතය ඇරඹීමක් නොවෙයි. එහෙත් ඇගේ රුවින් මන්මත් වූ උඩු හිතට එය නොවැටහෙයි. එබැවින් මංගල පෝරුව මස්ථකයේ ඇය අත ගැනීමට සැරසෙයි. පතිවත රකිනා කුලකුමරිය දෑස සේ රැකගැනීමට වෙහෙසෙයි. එහෙත් යටි හිත හෙවත් බුද්ධිය මෙය ප්‍රශ්න කරනවා. බලන්න උඩු හිතේ ගීතය යටි හිත විවේචනය කරණ ආකාරය.

මාලිනියේ
ඉන්ද්‍රජාලය
මා මනසේ
අන්ධකාරය
මා දෑස සොයනා
ඔබ දෑස නැත  
රුව ඇඳුනා
මාලිනියේ
නොරැවටෙන්......... 
මංගල පෝරුව මස්ථකයේ
අමන තරුණය
මම ඔබෙ අත ගනිමී
සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද......
පතිවත රකිනා කුලකුමරී
අරුම පුදුමය
මම ඔබ රැක ගනිමී
වරදෙ නොබැඳෙන ළඳුන් ළොව නැත......

මේ උඩු හිත ගයන ගීතය යටි හිත විසින් ප්‍රශ්න කරන අයුරු ලියන්නේද මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින්මය. සුනිලුන් විවාපත්ව නැත. ඔහු විවාපත් නොවූයේ මන්දැයි හමුවූ බොහෝ අවස්තා ඇතත් මා විමසා නැත. මේ ගීය ඇසූ කෙනෙක් ඔහු විවා දිවිය ගැන මනා අවබෝධයෙන් සිටි නිසා එසේ තනිකඩකම කොච්චරද අගේ කියා සිතුවායැයි සිතනු ඇතැයි මට සිතේ. එහෙත් මම එසේ නොකියමි. හිතළුවක් විදිහට මතුවු දෙයක් කීවා පමණි. එය එකිනෙකාගේ නැණ සහ අත්දැකීම් මත තීරණය කරන්නට ඉඩ හරිමු. එහෙත් සුවිශේෂ වූ ගී ආකෘතිය නිසා මම මේ ගීතය මෙහිදී වැයිය යුතුයැයි සිතුවෙමි. 

බුද්ධිය සහ හැඟීම්...... 
ආදරය සහ අනුරාගය....... 
මිත්‍යාව සහ යථාර්ථය.... 
ආලය අන්ධයි යන කියමනට අළුත් අර්ථකථනයක්ද?  
පද පෙලහරක අපූරුව. 
අපි අසා බලමු. 
සත්‍යද ? අසත්‍යද ?  

ගීතයේ අන්තර්ගතය ඔබට මට කොතරම් පොදු දැයි මම ප්‍රශ්න කරන්නේ නෑ. එහෙත් මෙම ගීතයට පක්ෂපාතී පිරිස් ඕනෑතරම් මෙතනම ඇති. 




වික්ටර්ගේ මේ ප්‍රේමය විෂයපථය වන ගීත වල බහුලව ඇත්තේ ප්‍රේමයේ හුදු සුන්දරත්වය හෝ විරහව පමණක් නොවේ. බොහෝ දෙනෙක් ස්පර්ෂ නොකරන විෂය පථයන් ඔස්සේ ඒවා දිවයනු දැකගත හැකිය. මේ ගී සමහරක් මිනිස් මනස විනිවිද දකින මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් වැනිය. උඩු හිත සහ යටි හිත අතර ඇති විසංවාදය වික්ටර් තම හඬම තල දෙකක ගායනා කරමින් මාලිනියේ ගීතය තුළ ඉදිරිපත් කරද්දී උඩු හිත සහ යටි හිත අතර ඇතිවන තවත් එවැනි විසංවාදයක් අමරදේව සහ වික්ටර් සුසංයෝගයෙන් නිරූපනය කරණ ගීතයක් ලෙස අපට හමු වෙනවා. සමහරුන්ට හිතන්න පුළුවන් මෙම ගීතය තුළ අමරදේවයන් කිසියම් පැසුණු වැඩිහිටි පුද්ගලයෙකු නිරූපනය කරන අයුරිනුත් වික්ටර් රත්නායකයන් නොමේරූ තරුණයෙකු නිරූපනය කරන අයුරුනුත් ලෙස. ඒත් මට නම් හිතන්නේ මේත් උඩුහිත සහ යටි හිත අතර ඇතිවන විසංවාදයක් කියලයි. එහෙම නොවුනත් ඒ විදිහට අර්ථදැක්වීමේ වරදක්ද නැහැ කියලා හිතෙනවා. හැම රසිකයාම එකම විදිහට හිතන්න ඕනෑ නැති නිසා. මගේ අර්ථකථනයේ හැටිහට යටි හිත උඩු හිතට මෙහෙම කියනවා.

ඇයගේ ඇකයේ ඔබ හිස රඳවා
සැනහුණු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ......

ඇයගෙන් සිය ආශාවන් සතපවා ගත් අප යෞවනයාගේ උඩු සිත තුළ ඇය කෙරේ මහත් ඇල්මක් ඇති වෙනවා. ඔහු ඇයට දහසක් ප්‍රේමණීය වදන් දොඩමින් ප්‍රේමණීය රැඟුම් සහ හැඟුම් පාමින් ඇයව කුල්මත් කරනවා. මක් නිසාද? මොහොතකට පෙර ඇය තමන් වෙත අපමණ කායික සතුටක් ලබා දී ඇති නිසා . ඒ ඊනියා සෙනෙහස විනිවිද දකිමින් ප්‍රශ්න කරන්නේ ඔහුගේම යටි හිතයි. යටි හිත දකිනවා එම රාගී දෑසේ ලියවී ඇති සත්‍ය කතාව. එනම් ඇත්තටම ඔහු ආදරේ ඇයට නොව ඔහුටම පමණක් බව. ඒත් ඒ ප්‍රශ්න කිරීමට උඩුහිත පිළිතුරක් සපයනවා.

වසන්ත දෙකොපුල - නිදිවැරු තොල් මල්
දසැඟිලි තුඩු අග - පිබිදුණු රණ හස
ඇයට ආදරේ ආදරේ මම....

ඇය කෙරෙහි ඔහුතුළ උපන් මේ සෙනෙහසට හේතු සාධක එහි මනාව කියවෙනවා. ඇයගේ සුසිනිදු රෝස දෙකම්මුල්, තමන් වෙනුවෙන් නිදි නොලැබ රැය පහන් කළ ඇයගේ රත් දෙතොල්, රැය පුරා තම සුරතෙහි ඇඟිලි තුඩු තුළ සුරතල් වූ ඇගේ පිරුණු පියයුරු....... මේවා තමයි ඔහුට ඇය කෙරෙහි ආදරය ඇල්ම ඇතිවීමට හේතූන්... ඉතින් යටි හිත මේ හේතු සාධක මත ඇතිකරගත් සෙනෙහස සැබෑ සෙනෙහසක් ලෙස දකින්නේ නෑ. ඒ නිසා නැවත මෙහෙම කියනවා.

ඇගේ සුරත ගෙන - පිණිවිල්ලුද මත
ඇයට ඇළුම් බව - ඔබ පැවසූ පසු
පෙරලා ඔබහට පෙම් කරණා බව
ඇය මුමුණන සඳ ඔබ සිත සුවපත් වේ....

මේ අර මතු හිතේ උපන් ඊනියා සෙනෙහසට තවත් හේතු සාධක වන්නට ඇති කරුණු නොවේද? ලස්සන උයන් තෙරක - විල්ලුද තණ පලසක ඇය හා දොඩමළුව ඇවිද යන අතර ආලයට වඩා අනුරාගයෙන් මත්ව ඔහු ඇයට ආදරේයැයි පවසනවා. එවිට ඇයද එම හැඟීමෙන්ම පෙරලා ඔහුටද ආදරය කරන බව පවසනවා. එම පිලිතුරෙන් ඔහු මහත් සේ සැනසෙනවා. යටි හිත උඩු හිතෙන් අහනවා මේකද සැබෑ ආදරය කියලා. එලෙසම ඇත්තටම ඔබ ආදරේ ඔබටම මිස ඇයට නොවන බවට තර්ක කරනවා. 
ඇයට පමණි මම ආදරේ 
ඔබට පමණි ඔබ ආදරේ 
ඇයට පමණි මම ආදරේ 
ඔබට පමණි ඔබ ආදරේ 
ඇයට පමණි මම ආදරේ 
ඔබට පමණි ඔබ ආදරේ 




සඳකැන් වැසිලා ගීතයද එවන් තවත් වෙසෙස් ගීතයකි. එහෙත් පොදු සාධකය ගතහොත් මෙහිද ඇත්තේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමයමය. ඒ හා බැඳුනු ඈඳුනු සිද්ධීන්ය. ගැටීම්ය. පැටලීම්ය. මේ ලොව තමන් සතුයැයි සිතූ තම ප්‍රියාවියගේ නෙතු යුග අසල්වැසි රුවක් සොයන අන්දමයි මේ ගීතයේ සඳහන් වෙන්නේ. එහෙත් අපේ කථානායකයා අන් සතු සිත් බින්ද අයෙකු නොවේ. ඔහු කල්පනා කරන්නේ එහෙව් තමන්ට මෙහෙම වුණේ ඇයි කියන එකයි. ඒත් ඒ ප්‍රශ්නයට කාටනම් උත්තර කිවහැකිද?

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු පෙනේ 
මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස්තලයක සඟවා........

මේ ගීතය ලියා ඇත්තේ ප්‍රේමකීර්ති ද අල්විස් විසිනි. දන්නා හැටියට ජීවිත අත්දැකීම් මත ලියුවකි. සමහර ගීත ජීවිත අත්දැකීම් මත ලියවෙන විට ඒවාගේ හෘදයංගම බව වැඩිවෙයි. එය ගීතයට සුවිශේෂ බරකි.



මේ ඔස්සේම ඉව අල්ලමින් ගියොත් ප්‍රේමකීර්ති ද අල්විසුන් ලියූ තවත් ගීතයක්ද මෙහි නොකියා බැරිවෙයි. ඒ අනෙකක් නොව

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට නමා බිඳ
මල් උයනක මල් අවුල් කර දමා
මගේ පැල්පතෙන් ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී....

මේ ගීතයද ගේහසිත දිවියේ අනවරත හැලහැප්පීම් පිළිඉඳව අත්දැකීමක් හෝ අත්විඳීමක් මත ලියූවකැයි මා අසා ඇත. එහි ඇත්තේ ජීවිතයේ යම් ව්‍යාකූල සිදුවීමක් නිසා වන කලබැගෑනියක් ගී පද ඔස්සේ ලියවුණකි. එහි අරුත වටහා ගන්නා අප සංගීතඥ ගායකයා ඒ ව්‍යාකූල තත්වය මනාව කුළුගන්වන අයුරින් සංගීතවත්කොට ගයයි. එය කතාවෙන් වටහාගත නොහැක. ඇසීමෙන් ඊට වඩා වටහා ගත හැකිය. එබැවින් ගීතය අසමු. 


මොහොතකට අපි අපේ හැඟුම් වලට ඉඩදුන්නොත්...... 
හිතල බලන්න අපිට කොහේ කොහේ නවතින්න වෙයිද කියලා.... 
හැඟුම් වලට ඉඩ දීලම බලමු. 
ඔව්! 
එහෙම වු‍ණොත්
මෙන්න මෙහෙම තැනක නවතීවි. 



 - යසනාත් ධම්මික බණ්ඩාර -


වික්ටර් නැතිව වික්ටර් දකිමු (පස්වන කොටස)





පෙර ඇසූ අපෙ හැඟුම් වලට ඉඩ දී මොහොතක් ගීතයට අරුතින් සෘජුව සම්බන්ධ නොවුණත් හැඟුම් බර බව අතින් බොහෝ සමාන ගීතයක් මතකයේ වෙසෙස් තැනක වෙයි. ඒ ගීතය මතක් නොකොට වෙනත් ගීතයකට යාමට සිත ඉඩ නොදෙයි. ඒ නිසා ඒ ගීතය ගැනත් යමක් කතාකළ යුතුම වෙයි.


පාවෙලා හෙමින් ඇවිත් ඉන්න මා ළඟින්

සීත රෑ වළා කුළේ ඉන්න මා ළඟින්

මා පියන් සෝයුරන් දුරු කතර ගිහින්

ප්‍රේමයේ පැතුම් මලත් පරවෙලා ගිහින්

විරහ ගීතයක් ගයන්න තනුව මට කියන්

මා පැතූ ඔබේ නුවන් සිහිළ පා කරන්

පාවෙලා හෙමින් ඇවිත් ඉන්න මා ළඟින්

සීත රෑ වළාකුළේ ඉන්න මා ළඟින්......

විරහ ගීතයක් ගයන්න තනුව මට කියන්

මා දමා මගේ ළඟින් හැංගිලා නොයන්

පාවෙලා හෙමින් ඇවිත් ඉන්න මා ළඟින්


ගීතයේ ඇත්තේ ප්‍රේමයේ නාමයෙන් තනි වූ සිතක දුක් අඳුරයි. මේ දුකඳුර මනාව මතුවන ලෙස එහි තනුව සහ සංගීතය යෙදී ඇත. ඉතා අඩු ළයෙන් සංගීතය වැයෙද්දී එහි සංයෝජය වී ඇත්තේ සංගීත භාණ්ඩ දෙක තුනක නාදය පමණි. එම සංගීත භාණ්ඩයන්ද හුදකලාව, දුක, වේදනාව මතු කිරීමටම උචිත ලෙස වැයෙයි. එයය අපට ගෙනහැරපාන්නේ වියෝ දුකින් සුසුම්ලන හදේ වේදනාව කොතෙක්ද යන්න. අනතුරුව අප ගායකයා එය ඒ අරුත තවත් උද්දී පනය වන ලෙස ගයයි. මෙම ගීතයේ පද බුද්ධදාස ගලප්පත්තිගෙනි.





මීළඟ ගීතය ලිව්වෙ බණ්ඩාර කේ විජේතුංග. කවුරුන් ගැන හිතාගෙනද ලිව්වේ කියලා සමහරුන් කියන කථා මම අසා තිබෙනවා. ඒත් ඒ නම් ගම් මෙතනට වැඩක් නෑ. හිතන්නකෝ මෙහෙම.... කෙනෙක් කාලයක් තිස්සේ කෙනෙකුගේ ආදරය අනුරාගය පතා ඉන්නවා. නමුත් ඇයගේ කැමැත්ත කිසි දිනක ඔහුට ලබන්න බැරියැයි හිතෙන තරමට ඇය දුරස්. එහෙත් එක්තරා දවසක, බලාපොරෙත්තු නොවන මොහොතක, ඇයගෙන් ඔහුට ඇරියුමක් ලැබෙනවා. ඔවුන් රහසිගතතැනකදී ලොවින් සැඟව තනිවෙනවා. දෙවඟනක්යැයි සිතෙන ඈ රුවට ඔහු වශීකෘත වෙනවා. ඒ හා සමගම ඊර්ෂ්‍යා සහගත හැඟුමක් මෝදුවෙනවා. එදින තමා වශීකෘත කළ ඒ ප්‍රිය දසුන අන් නෙතක ගැටෙතැයි ඔහු බියවෙනවා. ඒ මහත්වූ ඊර්ෂ්‍යාව කැටිකොටගෙන ලියවුණු ගීතය තමයි මේ. මේක ප්‍රේම ගීයක්ම කියලා කියන්න අමාරුයි. නමුත් ප්‍රේමය කියන විෂයපථයෙන් බැහැරකරන්නත් බෑ.





දැන් තවත් ප්‍රේම ගීතයකට යොමු වෙන්න කාලය. මේකෙත් පද පෙළ හරිම සුන්දරයි. හෘදයංගමයි. දිග කතාවක් කියාගෙන යන්නේ අවසානයේ එක බැගෑපත් ඉල්ලීමක් කරන්න. ඒ ඉල්ලීම තමයි .....

කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඞ දෙන්න
නෙළුම් විගේ මල්පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණිකවලට දිස්නෙ දෙන්න ඇසේකැළුම් දෙන්න
නා දල්ලට පාට එන්න ඔබේ තොල්පෙති දෙන්න
ඒත්
එපා මැණිකෙ හිත පමණක් කිසිවෙකුටත් දෙන්න..........

මේ ගීතයේ විශිෂ්ඨත්වයක් තිබෙනවා. ඒ තමයි සාමාන්‍යෙයන් ගීත රචකයින් ස්ත්‍රිය වර්ණනා කිරීමේ දී යොදා ගනු ලබන්නේ පරිසරයේ ඇති සුන්දර වස්තූන්ගේ සුවිශේෂතා ස්ත්‍රියගේ යම් සොඳුරු ලක්ෂණයක් මෙනැයි කීමෙන්. එහෙත් මෙහි ඊට වෙනස්. මෙහි දී ස්ත්‍රිය වර්ණනා වෙන්නේ ඊට වැඩි උසස් අයුරකට. එනම් පරිසරයේ ඇති බොහෝ සුන්දර දේට එම සුන්දරත්වය දේන්නේ ඈ බව පැවසීමෙන්. එසේ නම් කාලය එම මියුරු ගීතය ඇසීමට.





මේ ගීතය මතක්වන විට අහම්බෙන් මාතින් ලියැවුණු ගීතයකුත් මතක්වෙනවා මෙවැනිම. මම දන්නේ නෑ මේ කුරුල්ලන්ට ගී ගයන්න ගීතයෙන් දැනුනු මිහිරියාව ඔබට ඉන් ලැබේද කියා. ඒත් මේ ගීතයේත් පරිසරයට පළඳවා ඇත්තේ ඇගේ සුන්දරත්වයයි. එම ගීතය ගයන්නේ වික්ටර් නම් නොවෙයි. මා එම ගීතය ලිව්වේ දයාන් විතාරණ ගේ ගීත සංග්‍රහයක් වෙනුවෙන්. කෙසේ වෙතත් එය ඊට ගොනු වුණේ නෑ. නමුත් ගීය නිමවුණා. එහි සංගීතය සුරේෂ් මාලියැද්දේ ගෙන්.

ප්‍රේමයේ පුර පස - තුටු ගීතයට මුදු වදන් දුන් නුඹ
ප්‍රේමයේ අවපස - දුක් ගිතයට දුක් වදන් දෙනු කෙලෙසද......
තරු කැකුළකට - යුග නෙතේ කැන් පළඳා
මල් කැකුළකට - මුදු වතේ සිරි දවටා
තුටු ගීතයට - රස තෙපුල් වැල් අමුණා
සුව සිහිනයම - මගෙ දෙනෙත් ළඟ මවලා...
තුඟු ගඟුලකට - නිල් වරල රුව දවටා
සුදු මුතු පොටට - මුතු දසන් කැන් පළඳා
පිනි කඳුළකට - මුදු හදේ තෙත තවරා
හරි මිහිරිතම - පෙම් සිසිල සිත ගවසා.....
ප්‍රේමයේ පුර පස - තුටු ගීතයට මුදු වදන් දුන් නුඹ
ප්‍රේමයේ අවපස - දුක් ගිතයට දුක් වදන් දෙනු කෙලෙසද......





ඕනෑම මිනිහෙකුට පෞද්ගලික අරමුණු තියෙනවා. ඒ හා බැඳුණු ආශාවල් තියෙනවා. ඉතින් මටත් එහෙමයි. ඒ ආශාවට පුංචි ඉඩක් තියේවි කියලා හිතනවා මේ සභාව තුළ. මගේ ගීතයක් පළමු වරට සංගීතවත් කරලා පටිගතවුණේ වික්ටර්ගේ සංගීතයට. ඒ මතු වාදනය වන ගීතය. ගයන්නේ ආධුනිකයෙක්. ගීතය හදල ඉවරවුණාට පස්සේ වික්ටර් තමන්ට ගැයීම සඳහා ඒ ගීතය ඉල්ලුවා. ඒත් අර ආධුනික ගායකයා ඊට ඉඩදෙන්න නිර්ලෝභී වුණේ නෑ. ඒ නිසා එදා ඒ වාසනාව මගෙන් ගිලිහුණා. ඒත් පටිගතවූ මගේ මුල්ම ගීතය වික්ටර්ගේ සංගීතයෙන් හැඩවී පටිගතවීම ගැන මම අදත් ආඩම්බර වෙනවා.





ඒ වගේම මගේ ගීතයක් වික්ටර් ගායනා කරල තියෙනවා කියන ආඩම්බරය වැඩි කල් යන්නට මත්තෙන් මට ලැබුණා . ඒ ගීතය ඉසුරුමුණි පෙම්යුවල ගැන කියැවෙන එකක්. නවරත්න ගමගේගේ සංගීතයට ගයන්නේ වික්ටර් සමග නිර්මලා රණතුංග. මේකෙ නිමිත්ත කියන්න ඕනෑ. ඉසුරුමුණි පෙම් යුවල දැන් ඉන්නේ ඉසුරුමුණි වෙහෙර අසලම කෞතුකාගාර ගොඩනැගිල්ලක. විදුලි එළි මැද්දෙ. ඒත් ඉස්සර මට මතකකාලයේ හිටියේ රන්මසු උයන් අසල නිසල තුරුලිය හෙවනේ. ඉර හඳ තරු එළිය යට. හිතන්න සිර මැදිරියක් වන් කෞතුකාගාර ගොඩනැගිල්ලක, විදුලි එළි මැද, දෙනෝදාහක් සෙනග අතරේ සිටින පෙම් යුවලකට මොන ආදර රැඟුම්ද? පෙම්වතිය ඉන්නේ හිත නොහොඳින්.....මා ගීතය ලිව්වේ මේ දෙන්නා අතර මේ සිද්ධිය ගැන ඇතිවන දෙබසක ආකාරයටයි. සොඳුරුවත මිලින කිම අද කියන් කාරණා පෙම්බරිය මමයි නුඹෙ හද දිනූ පෙම්බරා ඉසුරුමුණි ගලම කඳළින් තෙමී නැහැවෙනා කාරණා කියන් නුඹෙ හද දවා පාරනා... පෙම්වතා අහනවා , නුඹ ඉන්නේ වෙනදා නැති කණස්සල්ලකින්. ඉසුරුමුණි ගල පවා තෙත්වන තරමට හැඞූ කඳුළින්. එයට කාරණාව මොකක්ද? ඔහු තුළ විශ්වාසයක් තියෙනවා පෙම්වතිය කණස්සල්ලට පත්කළ කරුණට පිලිතුරක් ලබාදී ඇය අස්වසාලීමට හැකිවෙතැයි. ඉතින් ඇය ඔහුට කාරණාව කියනවා.

පෙම්බරාණනේ කොයිවෙද වින්ද සිසිලස
දුටුවෙ නෑ වසර ගණන් උදා හිරුත් පිපෙනු අහසින

ඇය එසේ කියන විට අප පෙම්වතා අසරණය.

එපා පෙළන්නට මා හද - මා ප්‍රියේ කිසිත්නොදනිම්
උයන් තුරු පහස උදුරා - මේ සිපිරිගෙයට ලූ පව....

පෙම්වතිය අහනවා පෙම්වතාගෙන් කෝ එදා අප විඳි තුරුලිය පහස.... සිසිලස..... කෝ එදා අප දුටු හිරු සඳු... මේ පිළිතුර පෙම්වතාගේ හද පාරවන සුළුය. ඔහු නිරුත්තර කරවන දෙයකි.

කියන්නේ කෙසේ පිලිතුරු කඳුළු කාරණා
රන්මසු උයන් වැවු තෙර උපන් 
ප්‍රේමය මුදා දෙන්නේ කෙදිනදෝ.................. 
සුපෙම්බරාණනි කෙදිනද විඳින්නේ වනේ අසිරිය
පුර දනෝ සරණ මේ ඉම පෙම් දෙලෙන් බැඳෙනු කෙලෙසින...

දෙනෝදාහක් සෙනග අතරේ අප ප්‍රේමයෙන් බැඳෙන්නේ කෙලෙසකද කියලයි ඇය මේ අහන්නේ... ඒත් අප පෙම්වතා කෙසේනම් ඊට පිලිතුරු සපයන්නද, රන්මසු උයන, තිසාවැව අසබඩ බැඳි ප්‍රේමය කවදානම් මේ සිරමැදුරෙන් මුදගන්නද? කෞතුකාගාර ගොඩනැගිල්ලක් තුළ සිරකළ ආදරයක ගීතය. 






වික්ටර්ගේ සංගීත හා ගීත මෙහෙවර හරිම පොහොසත්. ඒ බව මේ වනවිට ඔබට වැටහෙනවා ඇති. ඔහුගේ කිසියම්ම හෝ ගීතයක් තවත් ගීතයකට සමානද කියලා බලන්න. එහෙම උදාහරණයක් මටනම් හමු වෙලා නෑ. හරිම විවිධයි. මේ විවිධත්වයම තමයි ඔහුගේ ගිතවල රසය වැඩිවන්නට හේතුව. අනෙක ඒ ගී පරණ නොවීම. කාලාන්තරයක් ගත වී තිබුණත් නැවුම් බවක් තිබීම. වික්ටර්ගේ පරණම ගීත පවා අළුත් වගේ දැනෙනවා. දැන් යන්නේ රී මික්ස් එකක් අහන්න. වික්ටර් තම ගීත රී මික්ස් කරලා ඇති කියලා ඔබ හිතන්න නැතිව ඇති. ඒත් ඇත්තනම් වික්ටර් පවා තම ගීත රී මික්ස් කළ බවයි. රී මික්ස් කළ වික්ටර්ගේ නොවෙන ගීතයක් අහමු.

සැඳෑ කරුවල කුරගගා විත් රී මික්ස්

 


සැඳෑ කරුවල කුරගගාවිත් ඔරිජිනල්

 


ඉතින් දැන් වෙලාව වික්ටර් රී මික්ස්කළ ගීතයක් අහන්න. ඉස්සරලා පරණ ගීතය අහල ඉමු. ඉතා සංයමයෙන් අහන්න. පුංචි පුංචි වෙනස්කම් තෝරාගන්න බැරි වෙයි නැතිනම්.





දැන් බලමු වික්ටර් කොහොමද මේ ගීය රී මික්ස් කලේ කියලා.





ඉතා සුළු වෙනසක් පමණයි. එයින් ලොකු නැවුම් බවක් ලැබිලා තියෙනවා. මුල් ගීතයට කිසිම හානියක් වෙලා නෑ. ඉතින් සොඳුරු මිනිසුන් අතින් සොඳුරු ගී එලෙස බැබලෙනවා. අනෙකුන් අතින් සොඳුරු ගී අඳුරුවෙනවා. රජෙක් ඉන්නවා ලොවම දිනූ. ඔහු එක් ළඳකට මෙලෙස දොඩනවා. ප්‍රියාවිය මම ලොවක් දිනූ රජෙකු වෙමි. එහෙත් නොදිනූ එක්දෙයක් නිසා මගේ සිත නොසන්සුන්. ඒ අන්කිසිවක් නොවෙයි නුඹේ හදවත...... එවිට ඇය කියන්නේ කුමක්ද? කම් නැත රජුනි, මා හැර ඒ ලොව කිරුළ දරණු මැනවි... හිසට බරක් විය කිරුළ පැලැන්දූ එයින් අහිමිවිය ඔබ මට ළන්දූ





වික්ටර්ගේ ගී පෙලහරේ මෙවන් ගී නිමක් නෑ. ඒත් කාලයට නිමක් තිබෙනවා. මගේ කාලයේ සීමාව නම් තවම ඇවිත් නෑ. හෙට එළිවෙනතුරු වුණත‍් මම ඉන්නවා ඔබ ඉන්නවනම්. ඒත් හැමෝටම එහෙම ඉන්න බැරිබව මම දන්නවා. නමුත් ඇසිය යුතුම ගීත දෙකක් තුනක් තව තිබෙනවා.ඒ අතරේ ඔබ හිතන්න අපි මේ සැන්දෑවට සමු දෙන්නේ කොතනකදිද කියලා. මේ ප්‍රේම කතාව සුන්දර සේම කොතරම් අහිංසකද කියල බලන්න. මේකෙ පද පෙළ ගැන ලොකු විග්‍රහ ඕනැ නෑ. සරලයි. කාටත් තේරෙනවා. කෙනෙකුගෙන් අහිංසක ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒත් එකවරම කියන්න බෑ. ඒක කියන්නේ අන්තිම මොහොතේ. බලන්න අන්තිමට ඒ කියන දේ කොයිතරම් අහිංසකද කියලා.

ඒ දණ්ඩෙන් පිය මණිනු එපා - ගඟඅද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා - අද මුළු ගමම විසයි.... 
විපතක් වූවොත් කාට කියන්නද - මං තනිවෙනවාමයි
තාම බහ නොදුන් නුඹ නැතිදා මං - ගම හැර යනවාමයි
අනුකම්පාවෙනි කියන්නේ මිහිරියෙ....

ඔහු ඈ පිළිබඳ සිතැත්තෙකි. සිය ඔරුවෙන් ගඟදිය මැඩ ඈ එගොඩ කරගැනීම ඔහුගේ සතුටයි. දිනක ඈ ඔහු සිතැඟි හඳුනනු ඇත. ඔහුගේ ඔරුවේ නගිනු ඇත. ගඟ හරහා ඒ දණ්ඩකි. ඒ දණ්ඩේ යන ගමන අනතුරු බහුලය. ඔහු ඈ පිළිබදව නොඉවසිලිමත්ය. ඒ දණ්ඩෙන් යන ගමන මතු නොව ඈ යන මග අවට වනේ වන ඵල අතරේ පලා විෂ ඵල වේදැයි ඔහු සිත තැවේ. මේ සියල්ලෙන් ඇඟවෙන්නේ ඈ යම් ලෙසකින් හෝ වෙනතක බැඳේදැයි ඔහු සිතවන කුකුස නොවේද? ඇය තනි මග යනු දකින්නට ඔහු නොරිසිය. එය ඔහුට ඉහිළුම් නොදෙන කරුණකි. එහෙත් ඒ ගැන ඔහු කියන්නේ ව්‍යංගයෙනි. දෙදෙනා ඉන්නේ දෙගම්මානයේ ගඟ ඒ මැදින් ඇදේ පාලම හදලා ඉවරවෙන තුරා දෙදෙනා බැඳෙනු නැතේ ඔරුවක් මට ඇත ඔබ ගෙන යන්නට.......





සංගීතයෙන් පොහොසත් හොඳ ගීතයකට සංගීතය සපයන්න වාද්‍ය භාණ්ඩ කොපමණ අවශ්‍යද කියලා ඔබ දැක්කා. ඉතින් මේත් සංගීතයෙන් ඉතා පොහොසත් තවත් ගීතයක්. සංගීත භාණ්ඩ කීයක් තියෙනවද කියලා ගණන්කරගන්න.





මම හිතන්නේ දැන්නම් සමුගන්න වෙලාව හොඳටම ළංවෙලා. ඒ පුංචි සතුටකුත් දුකකුත් සමග. සතුට වික්ටර් නැතිව වික්ටර් දකින්නට ඔබ සැම මා හා මෙතරම් කාලයක් සිටි එකට. දුක මේ සැන්දෑව තව ටිකක් දිගු නොවීම පිළබඳව. මේ සංකල්පය මගේ කියලා මා මිතුරු තුසිත කිවුවට මුළින්ම මේ සංකල්ප චිත්‍රය මගේ ඔළුවෙ ඇන්දේ තුසිත හෙවත් තුසිත කුමාර. වික්ටර් ස ප්‍රසංගයෙන් සමුගන්නා දා ඔහු සංවිධානය කළ ගමට ස පෙන්වීමේ සැන්දෑව සඳහා ආරාධිත දෙසුම මට පැවරූ නිසා. එය පැවැත්වුණේ රාජාංගනය අංගමුව විදුහල් ශාලාවේදී. ඔහු එම විදුහගේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ ගුරුවරයා. කලක්පුරා මගේ හිතේත් තිබුණ දේකට එතනින් මුළ පිරුවා. ඔහු මට තාක්ෂණික සහය නොමදව ලබා දුන්නා. ඉතින් මම ඔහුටත් ස්තුතිවන්ත වෙනවා ලබා දුන් සකලවිධ සහයට. රත්න ශ්‍රී විජේසිංහයන් දිනක් පැවසූ කතාවකි තවත් ටිකක් දික්කරලා මම මෙහෙම කියන්නම්. ශ්‍රී ලාංකික අපට සිරිපතුළ, ශ්‍රී මහ බෝධිය, දළදා මාලිගාව නොතිබුණා නම් අපි කොච්චර දුප්පත්ද? ශ්‍රී ලාංකික අපට අමරදේවයන්, නන්දා මාලිනිය, ලෙස්ටර් ජේම්ස් පීරිස්, ප්‍රේමසිරි කේමදාස, වික්ටර් රත්නායක....වැන්නවුන් නොසිටියානම් අපි කොච්චර දුප්පත්ද? ඉතින් අපව සංස්කෘතික දුගී බවින් මුදවාගත් වික්ටර්ට සහ එවන් සියළු කලා කරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ. ස්තුතියි. ඒත් යන්න පෙර මේ ගීතය අහලම යමු. ආදරය ඇත්තනම්, සුන්දරිය, නුඹ වෙනුවෙන් කළ නොහැකි මොනවාද? සැනසේනම් නුඹ එයින්, කඩු තුඩු මත වුව සැතපෙන්නෙමි. 







- වික්ටර් නැතිව වික්ටර් දකිමු සැඳෑව මෙතෙකින් නිමයි -


- යසනාත් ධම්මික බණ්ඩාර -