2023 / 02 / 19 දින දිවයින ඉරිදා සංග්‍රහයේ අකුර දිගේ විශේෂාංගයේ පළවූ මවිසින් ලියන ලද සටහන.
2023 / 02 / 18 දිනට යෙදුන වික්ටර් රත්නායකයාණන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ලියූවකි.
පින්තූරයට පහළින් එම සටහන ඇත.
වසර 7ක් වැයසැති කුඩා පාසැල් දරුවෙකු වූ මා 1977 දවසක කුරුණෑගල පුරහලට ඇදුනේ මගේ පුංචි අම්මාගේ අතේ එල්ලීගෙනය.
කුඩා දරුවකු වූ බැවින් මේ ගමන ගැන මට එතරම් ලොකු හැඟීමක් නොතිබුණ ද එය යම්කිසි ගායකයෙකුගේ සංගීත ප්‍රසංගයක් බැලීමට බව ඇය මා හට කියා තිබුණි.
එහි පළමු අදියරයේ අත්දැකීම අතිශය වෙහෙසකර එකක් වූයේ රැස් කමින් සිටි මහා ජනකායක් මැද්දෙන් ශාලාවට ඇතුළු වීමේ දුෂ්කර ව්‍යායාමයේ යෙද්නනට වීම හේතුවෙනි.
දහදියෙන් පීඩිත අඩ හෝරාවකින් පමණ අනතුරුව මිනිත්තු පහේ අන්තරවලින් සීනු තුන නාද වී ප්‍රසංගය ඇරඹීමත් සමගම කුඩා මගේ වෙහෙස දුරු වූයේ මෙන්න මේ ගීත ඛණ්ඩය නිසාවෙනි.
සම්බුද්ධ සද්ධර්ම අනුහසින්
ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන්
කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන්
රසික ඔබ මිලනයෙන්
ආනන්ද ජනක වූ මේ සොඳුරු රාත්‍රී යාමයේබ බය
සුවහසක් සවන් යුග
ප්‍රීතියෙන් උදම් වේවා....
ප්‍රීතියෙන් උදම් වේවා.......!
එහි අවසන් දෙපේලිය වූ ප්‍රීතියෙන් උදම් වේවා යන්න ශාලාව ගිගුම් දෙවා හදවතට ඇතුළු වී එය ද ගිගුම් දෙවන්නා සේ එදින මට දනුනි. එදින වචන වල අරුත නොදැනම හිතට ඇතුළු වුණු එම ගිගුම අදටත් මගේ මතකයේ නොමැකෙන තැනක වෙයි. අනතුරුව ඒ මට්ටමේ කම්පනයක් ඒ ශාලාව තුළදී මට අසන්නට ලැබුණේ කපුගේ ශූරීන්
මාරියාවේ
මාරියාවේ
මාරියාවේ
යනුවෙන් තුන් වරක් ගයා මාරියාවේ ගීතය අරඹද්දී පමණි.
වික්ටර් රත්නායකයාණන් සිය ස ප්‍රසංගය නිසා රසික සමාජය මත ඇති කළ බලපෑම තුළින් ඇති වුණු සිංහල සුභාවිත ගීතයේ පිබිදීම එවන් ප්‍රසංග කලාවක නැගිටීම සහ පැවැත්මට කොතරම් හේතු වූයේද යන්නට යම් ලකුණක් දෙන්නේ නම් එහි ඉහළින්ම සිටින්නට එය සුදුසු කමක් විය. එම ඉහළ ලකුණු සංඛ්‍යාවන් ලැබූවන් අතුරින් අද දක්වාත් ඉහළින්ම සිටින්නේ ඔහුමය යන්නය මගේ හැඟීම.
එදා 1974 දී ඇරඹි ස ප්‍රසංගයත් සමග අපි ලොකු ගමණක් ගොස් අවසානයේ අපි එහි ඇරඹුමට පෙර තිබුණු කාලවලටත් වඩා බොහෝ දුර ආපසු ගමනක යෙදී ඇති බවද මේ සමගම ලියා තැබිය යුතුය.
ඒ ආපසු ගමනට පෙර යුගයේ ගීත පෙළහරෙහි උපරිම මිහිර විඳි වාසනාවන්තයින් අතරේ අප සිටියද, අපගේම දරුවන්ට අද එය හිමි නොවීම පිළිබඳව සිතින් වැළපෙන අය අතරේ මම ද සිටිමි.
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ශ්‍රවණ රමණී, නන්දා මාලිනියගේ ශ්‍රවණ ආරාධනා, සනත් නන්දසිරි ගේ ස්වර්ණ කුණ්ඩල වැනි ගී ප්‍රසංග වල වේගවත් ගමන සිදුවූයේද මේ පිබිදීම හා සමගිමීව වුව, ඒ කිසිදු ප්‍රසංගයක් රටේ පැවැති සාමාන්‍ය සාමකාමී වාතාවරණය යටතේ ස ප්‍රසංගය තරම් දුරක් ගියේ නැත. ස ප්‍රසංගය තරම් දැනුනේ නැත. ඊට වඩා සරලව කියනවා නම් ස ප්‍රසංගය තරම් වැදුනේ නැත.
රටේ පැවැති වෙනත් වටපිටාවන් යටතේ නන්දා මාලිනියගේ සත්‍යයේ ගීතය, නන්දා මාලිනියගේම පවන, කපුගේ ගේ කාලයේ රාවය, කම්පන, මාලනී බුලත්සිංහල ගේ මා ද ඔබම විය වැනි ප්‍රසංග සමාජය තුළ සුවිශේෂ කම්පනයක් ඇති කළද, සමස්ථ කාල පරාසය පුරාම එකම තරමේ උසකින් බැබලුනු ප්‍රසංගයක් වේ නම් ඒ ස ප්‍රසංගය ම ය. එනයින් වික්ටර් ය. එයට ඇති එකම හේතුව නම් ඒ ගීතාවලිය තුළ කැටි වුණු අප්‍රමාණ වූ සෞන්ධර්යය.
හතලිස් දෙකේ පෙබරවාරි 18 වෙනි දා කන්ද උඩරට කඩුගන්නාවේ පුංචි ගමක විසූ රත්නායක වෙද මහතා සහ යුවලට උපන් පුතණුවන් පසු කලෙක කවරෙකු වනු ඇති දැයි සිතූවෙක් ඒ කාලයේ නොසිටින්නට ඇත. එහෙත් ඇටෙන් පොත්තෙන් බේරෙන කාලයේ සිටම විවිධ සංගීත භාණ්ඩ අතපත ගාමින් යමක් කරන්නට උත්සාහ කරණ මේ දරුවා දෙස බලන අයෙක් ඔහු සිය පියාගෙ අඩි පාරේ යමින් සිය උපන් ගමට සංගීත රසය දෙනු ඇතැයි නම් සිතන්නට ඇතිය.
එහෙත්, හැත්තෑව දශකයේ සිංහල සුභාවිත ගීතයේ පිබිදීමට මේ තරම් දායකත්වයක් දක්වන්නට ඒ දරුවාට හැකි වේ යැයි සිතූ කිසිවෙනකු හෝ සිටින්නට ඇතිද? එවන් කිසිවෙකු හෝ නොසිටින්නට ඇති බවට සහතිකය.
හතලිස් ගණන්වල මතු නොව හැට ගණන්වලදීවත් ඔහු ඊට මේ තරම් බලපෑමක් කළ හැකි පුද්ගලයෙකැයි කිසිවෙකු නොසිතන්නට ඇත. හේ අන් කිසිවෙකු හෝ නොව අප මේ කතා කරණ වික්ටර් රත්නායකයන් ම ය.
ඔහු තනි
පුද්ගලයෙකු නොවුණි.
ඔහු තනි පුද්ගලයෙකු වුණි නම් මේ තරම් ප්‍රබලව නොනැගෙනු ඇත.
ඔහු තුළ විසූ පුද්ගල ත්‍රිත්ත්වය ය ඒ් වෙනුවෙන් ඔහුට මේ තරම් බලපෑම් කරන්නට ඇත්තේ.
ඒ් පුද්ගල ත්‍රිත්ත්වයෙන් එක් පුද්ගලයෙකුගේ හෝ සිතුවිලි දාමය වෙනස්වී නම් වුව ඒවැනි බැබලීමක් ඔහුගෙන් ප්‍රකට නොවනු ඇත. එහෙත් අපගේ වාසනාවට ඒ් පුද්ගලභාවයන් ත්‍රිත්ත්වයම මේ වික්ටර් තුළ මනාව නිසි ලෙසින් ක්‍රියාත්මක වුණි.
වික්ටර් රත්නායක නම් ගායකයා, වික්ටර් රත්නායක නම් සංගීතඥයා මේ ක්ෂේත්‍රයෙන් එකළු කරලූයේ ඔහු තුළ විසූ ප්‍රබලතම පුද්ගලභාවය දැරූ වික්ටර් රත්නායක නම් රසවතා විසිනැයි මම සිතමි.
මීට අමතරව වික්ටර් ගේ නිර්මාණාවලියට බලපෑ තවත් ප්‍රශස්ත පාරිසරක සාධක රැසකි.
ඔහු දිවිය ඇරඹූ සරල සුන්දර ගැමි පරිසරය, ඔහුගේ දස්කම් හඳුනාගත් නිසි ගුරු පරපුර, නිසි කල සිය ගම් පෙදෙසින් වෙන්ව තම ගමන් මගේ දියුණුව වෙත පිය නැගිය යුතු යැයි ගත් එඩිතර තීරණ ඒ් බොහෝමයක් අතර ප්‍රමුඛව දිස්වෙයි.
එමෙන්ම, ඈත කඳුරට කඩුගන්නාවේද අතුරු ගම් පියසක සිට කොළඹ අග නගරයට සැපත් වූ ඔහු ඒ් දිවියට අනුගත වෙන්නට පෑ සමත් බවද එම ජයග්‍රහණයේ ප්‍රබල හේතුවකි.
මේ කිසිවක වන කිසියම් වෙනසක් ඔහුට මේ සා දුර එන්නට ඉඩ නොදෙන බාධකයක් විය හැකිව තිබුණි. එහෙත් එය එසේ වූයේ නැත. අපගේ වාසනාවට ය.
මේ කිසිවක් නොවුණත්,
ඔහු පද රචනයකට තනුවක් යොදා සංගීතය සපයන්නට අවැසි බුහුටිකම ඔහු උකහාගනු ඇත.
එය මනාව ගයන්නටද සමත්වනු ඇත. .
නමුත් ඔහු යම් නිර්මාණයක් කිරීමේදී ඒ් තුළට ගැබ් කරණ මහත් වූ රසභාවයන්ගේ රහස නම් ඔහු තුළ සිටි රසවතාගේ තරමම ය.
සංගීතය මනාව උගත්, මනා ගායන හැකියාවෙන් යුතු බොහෝ අය තුළ මේ රසවතා ජීවත් නොවූ හෙයිනි ඔවුන්ට වික්ටර් වාගේ වෙන්නට බැරි වන්නේ. එබැවින් වික්ටර් තුළින් වික්ටර් නම් සංගීතඥයා, වික්ටර් නම් ගායකයා හොයනවාට වඩා අපි සෙවිය යුතු වන්නේ වික්ටර් නම් රසවතා ය.
ඔහුගේ නිර්මාණයන්ට සවන් දෙන එයින් රසවත්වන ඔබගේ රසාංකුර කුල්මත් කරවීමේ රහස ගැබ්ව තිබුණේ ඒ රසවතා තුළය.
සේවය කළ බණ්ඩාරවෙල සිට කඩුගන්නාවට හෝ කොළඹට එහෙමත් නැති නම් ජීවත් වූ කඩුගන්නාවේ සිට බණ්ඩාරවෙලට හෝ කොළඹට හෝ දුම්රියෙන් යන එන ගමන් ගමන් බිමන් වලදී දුටු විඳි සොඳුරු පරිසර වර්ණනාව සිහිල් සුළ රැල්ලේ වැනි ගීතයක් වෙනුවෙන් තනුවක් සඳහා සිත මුමුණන්නට බලපෑම් කරන්නේ ඒ් රසවතාය.
පරමේශ් සහ කොනේශ් ගේ සොඳුරු තනුවක්
ආකාසෙ සිඹින නීල වර්ණ කඳු වැටී
සුදු මීදුමේ සිහිල් සළුව ඔතාගෙන හිඳී
ලෙසින් ගැයෙන්නේ අසන්නාට ගීතයක් සේ දැනෙනායුරින් නොවේ.
සොඳුරු පරිසරයක මැවෙන පෙම් ජවනිකාවක් පෙනෙන්නට සලස්වන්නා වැනි ගීතයක් බවට පෙරලෙන්නේ ඒ් රසවතාගේ බලපෑම හේතුවෙනි.
අඹගස් යට මල් හැලිලා සුවඳේ බැරුවා හිඳින්න
ඒ අඹ මල් සුවඳ දිගෙ - වන බමරෝ රොණට එන්න
වැනි ගීතයක් ඇසෙන විට අසන්නාගේ නැහැයට අඹමල් සුවඳ දැනෙන්නා සේ රසයක් ඒ් තුළ ගැබ් කරන්නේ ඒ් රසවතාගේ බලපෑම නිසාවෙනි. ඒ රසවතා ඔහු තුළම නොසිටියා නම් වෙනත් වෙසෙස් බාහිර රසවතෙනක් ඔහුට බලපෑම් කළා නම් මිස ඒවැනි ගීතාවලියක් ඔහු අතින් බිහි නොවන්නට ඇති ඉඩකඩ ය වඩාත් වැඩිවන්නට තිබුණේ.
වික්ටර් උපන් දින සමරුව වෙනුවෙන් කෙටි ලිපියක් ලියද්දී ඔහු ගැන කෙටියෙන් ලියන්නේ මොනවාද යන්න ලියන්නාට ලැබෙන මහත්ම අභියෝගයකි. මා මේ ගෙවන්නේ ඒවන් අසරණ වුණු ලියන්නෙකුගේ ව්‍යායාම කාලයක් ය.
වික්ටර් ට සම තැන තැබිය හැකි හෝ යම් කෙනෙකු යෝජනා කරන්නේ නම් ඊටත් වැඩි ඉහළින් තැබිය හැකි යම් ගායකයෙකුගේ නිර්මාණාවලිය තුළට වික්ටර් ගේ තරම් සොඳුරු රසවත් නිර්මාණ තමන්ගේම බලපෑමෙන් ගැබ්ව නැති බව මා ප්‍රකාශ කළහොත් එය සාහසික ප්‍රකාශයක් නොවනු ඇත.
රස වෑහෙන වික්ටර් නිර්මාණ සිය ගණනකි. දහසකට වුව ආසන්න විය හැකිය. මේ නිර්මාණ අතුරින් බොහෝමයකට ඔහුගේ සෘජු ඇල්ම බැල්ම ලැබී ඇත.
අප අතින්
වෙසෙස්කොට මෙහි කතා කෙරෙන්නේ ඔහු මුවින් ගැයුණු හෝ ඔහු විසින් ඔහුටම නිර්මාණය
කෙරුණු ගී හෝ ගැන වෙතත්, ඔහු විසින්
අන් අය වෙනුවෙන් තනු සහ සංගීතය නිර්මාණය කළ ගීත ගැන කතා කෙරෙනවා අඩුය. ඊට හේතුවක් නම් වික්ටර් රත්නායක නම් ගායකයාගේ
පෞරුෂ්‍ය විකටර් රත්නායක නම් සංගීතඥයාගේ පෞරුෂය වසාගෙන නැගී සිටින බැවිනි.
ඔහුගේ ගැයුම් කොයි තරම් රසික සිත් පැහැරගත්තේද යත්, ඔහුගේ ගැයුම් තුළම ඇති ඔහුගේ
ප්‍රබලම තනු සහ සංගීත නිර්මාණ ගැන එතරම් කතා කිරීමට රසිකයාට අවශ්‍ය නොවන්නේ ඔහුගේ
ගැයුමින් වශීකෘත වන බැවිනි.
ඔවුන් විඳින්නේ ඒ සංගීතයද සමගම වුව ඒ ගැන කතා බහ අඩුය.
වික්ටර් අනෙකුන්ට කළ සංගීත නිර්මාණ ගැන කතා
කරන්නේ නැතිම තරම්ය. නමුත් ඒ්වා තුළටද ඔහු කැටි කළ රසභාවයන් අපට කියා පාන්නේ
ඔහුගේම නිර්මාණ ගැන කියූ කතා ම ය.
මිල්ටන් මල්ලවාරච්චිගේ දෙඅදර විළිකුන් සුරත් පලේ
එවැනි නිර්මාණ රැසකින් එකක් පමණි. එම නිර්මාණය ගැන වෙසෙසින් කතා කරන්නට ගත්තේ එකල ජනප්‍රිය ගායකයෙකුය යනුවෙන් යම් ප්‍රබුද්ධ යැයි කියා ගත් පිරිස් තරමක් පහළ තලයක තබා තිබූ මිල්ටන්ට පවා සංගීත නිර්මාණය කර ඇති බව පෙන්වීමට සහ ඒවා තුළ කැටිකොට ඇති රසය මේ යැයි කීමටය.
ආවා ආදරෙන් රන් කැළුම් දිදී ගීතය ඔබ අනන්ත වාරයක් අසා ඇතිවා විය හැකිය. ඒහෙත් එහි සංගීත නිර්මාණය වික්ටර් රත්නායකයන් ගේ බව අසන්නේ පළමු වරට විය විය හැකිය.
එසේම මිල්ටන් ගේ සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ ගීතයේ සංගීතයද ඔහුගේ බව ඔබ දැන සිටියාද?
මිල්ටන් ගේ උපුල් කොපුල් වෙහෙසී ඇත්තේ
දිනෙක රන් සළු පළඳා වැනි ගීතද වික්ටර් ගේ ම ය.
මා නෙත් කැදැල්ලේ ගීතයද එවන් තවත් සොඳුරුතම එකකි.
වික්ටර්, අමරදේවයන් ගේ නන්දා මාලිනිය ගේ, නීලා වික්‍රමසිංහ ගේ, නිරංජලා ගේ නිර්මලා ගේ, ශ්‍රීමතී ගේ ඈ සිට එම්. එස්. ප්‍රනාන්දු, ප්‍රෙඩී සිල්වා දක්වාම සිය සංගීත නිර්මාණ දායකත්වය දැක්වූ සංගීතඥයෙකි.
ප්‍රෙඩී ගේ කුණ්ඩුමනී, හඳ මාමා උඩින් ඇතේ වැනි ගීත ඔහුගේ බව ඔබ සිහිනෙකින් වත් නොසිතන්නට ඇත.
අමරදේවයන්ට බමර පැටික්කී, කුමරියක පා සළඹ සැළුනා ගීත නිර්මාණය කළ වික්ටර් රත්නායකයන් ම ප්‍රෙඩී සිල්වා ට මේ ගීත නිර්මාණය කර දෙද්දී ඔහු තුළ සිටින රසවතා කොතෙක් පුළුල් රසභාවයන් විඳින්නෙක්ද නිදහස් නිර්මාණාවේශයකින් ක්‍රියාත්මක වන්නෙක්ද යන්න ඔබට පැහැදිලි විය යුතුය.
මිල්ටන් පෙරේරා ට දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි ගීතය සාදා දෙන්නේද ඔහුමය.
ඔහු ගේ චිත්‍රපට
සංගීතය ගැන අප කතා කර ඇත්තේ කොයි තරම් අල්ප වශයෙන්ද?
සතිශ්චන්ද්‍රයන් ගේ මාතර
ආච්චි චිත්‍රපටයට ඔහු සංගීත නිර්මාණය නොකරන්නට, එහි සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතය සුනිල් එදිරිසිංහයන් ට ගායනා කරන්නට නොලැබෙන්නට, සමහර විට සුනිල් එදිරිසිංහයන් ගේ නැගීම තවත් කල් යන්නට වුව ඉඩ
තිබුණි.
සරුංගලේ චිත්‍රපටයේ
ඔහුගේ සංගීතය එහි සමස්ථ කතාව තුළ ඇති කම්පනය වැඩි කර දෙන්නට කොතෙක් නම් ඉවහල් වීද?
එහි ඉසුරු දෙවිඳු උමයංගන ගීතය මොන තරම්
විශිෂ්ඨ නිර්මාණයක්ද?
හුලවාලි චිත්‍රපටයේ ඔහුගේ සංගීතය මොන තරම් ප්‍රබලද?
කුඩාගමේ මද්දහනේ ගීතයෙන් අදාල ජවනිකාවට සහ
සමස්ථ කතාවේ යටින් දුවන කම්පනයට අවශ්‍ය ප්‍රකම්පනය ලබා දෙද්දී එහිම වැයෙන කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ ගීතයට ඔහු කැටි කරන්නේ
වෙනස්ම හැඩයකි. රිද්මයකි.
මේ සියළු රස පිළිබඳව කතා කරන්නට පොතක් ලිවිය යුතුය. පුවත් පතකින් ලැබෙන ඉඩෙන් කළ හැක්කේ රස කලතා ඔබට සොයන්නට විඳින්නට ඉඩ හැර නවතින එක පමණි.
18 වෙනි දාට යෙදෙන වික්ටර් උපන් දිනය වෙනුවෙන් ඔහුට නිදුක් නිරෝගී තිර ජීවනය පතන්නේ අද ද ප්‍රසංගයනට සහභාගී වන, ගීත නිර්මාණය කරණ, ගායනා කරණ අපගේ ජීවිත කාලය තුළ ගීතය ඔස්සේ අපව රසවත් කළ උත්තුංග මිනිසා අපට මහාර්ඝ වස්තුවක් වන හෙයිනි.
ඔහු මෑත කාලයේ කළ යම් නිර්මාණයක්, මෑත කාලයේදී ඔහු පිළිබඳව ඇති වූ යම් ආන්දෝලනාත්මක ස්වභාවයට ලබා දුන් මහඟු පිලිතුරක් වැනිය.
අසා බලන්න. එහි තවමත් වික්ටර් රත්නායකයාණන් අපට හමු වේ.
හිතේ හැංගී හැංගි
ඔබ තවම ඉන්නවා
නෙතේ කඳුළැලි තියන්
හිත හුස්ම වැටෙනවා
සිතේ රිද්මය මගේ
ඔබෙ රුවම සොයනවා
ආදරේ ගුලි කරන්
මම තවම ඉන්නවා
මගේ හිත සියුම් තැන්
හිමින් පිරිමදිනවා
හඬ හඬා නොකී කවි
හෙමි හෙමින් කියනවා
ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නිති විඳිනවා
ආදරේ ගුලි කරන්
මම තවම ඉන්නවා
මවකගෙන් ලද සෙනේ
ඇය මවෙත පුදනවා
හිරු සඳුත් තාරුකා
අප දෙපස නැගෙනවා
සඳ කිරණ පරදවා
ඔබෙ වතම පේනවා
ආදරේ ගුලි කරන්
මම තවම ඉන්නවා
Artist : Dr. Victor Rathnayake
Lyrics : Tharinda Gunawardena
Music : Darshana Wickramatunga
- යසනාත් ධම්මික බණ්ඩාර -